හොරු දෙගොල්ලොම පන්නා ජනතාවාදී ආණ්ඩුවක් හදනවා

මේ ආණ්ඩුව ගරා වැටුණු පරණ වලව්වක් වගේ ඇමතිලා-ලේකම්ලා මාරු කරලා වැටුණු වළෙන් රට ගොඩගන්න බැහැ ණයට කන ජාවාරම්කාර ආර්ථිකය වෙනුවට ලෝකය ඉලක්ක කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා හොරකමට තිත-කොල්ල කෑ මහජන…
මේ ආණ්ඩුව ගරා වැටුණු පරණ වලව්වක් වගේ
ඇමතිලා-ලේකම්ලා මාරු කරලා වැටුණු වළෙන් රට ගොඩගන්න බැහැ
ණයට කන ජාවාරම්කාර ආර්ථිකය වෙනුවට ලෝකය ඉලක්ක කර ගත් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරනවා
හොරකමට තිත-කොල්ල කෑ මහජන දේපොළ යළි පවරා ගන්නවා
ආහාර අර්බුදයට ජනපති වග කිව යුතුයි
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කරයි
(සුජිත් මංගල ද සිල්වා)
හොරු දෙගොල්ලම පන්නා රට ගොඩනැගිය හැකි ජනතාවාදී ආණ්ඩුවක් පිහිටු වීම සඳහා අනාගත දූ දරු පරපුරේ නාමයෙන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ජාතික ජන බලවේගය සමග පෙරට එන්නැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ දී ඉරිදා (02) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ බව පැවැසූ එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.
අපේ රටේ ජනතාව ඉතිහාසයේ කවරදාටත් වඩා විශාල අර්බුද රැසකට මුහුණ දෙමින් ඉන්නවා. භාණ්ඩ මිල වැඩි වෙලා. භාණ්ඩ හිගයක් ඇති වෙලා. පෝලිම් යුගයක් ඇවිල්ලා.පොහොර නොමැතිව කෘෂිකර්මාන්තය බිඳ වැටිලා. උයාගන්න ගෑස් නැහැ. මෙවැනි මහා අර්බුදයක් තියෙද්දී ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ඉතාම බරපතළයි.
දැන්වීම
ජනාධිපති කිසි ප්‍රශ්නයකට වග කියන්නේ නැහැ. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව රටට විහිළු සපයමින් ඉන්නවා. "වියත් මඟ" අය කිව්වේ සුපිරිම ආණ්ඩුව හදනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ තමයි මේ රටේ බිහි වෙන හොඳම නායකයා කියලයි කිව්වේ. විමල් වීරවංශ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ලීක්වාන් යූ... මහින්ද රාජපක්ෂ මහතීර් මොහොඩ් වගේ කියලා. ඒ දෙන්නම එකතු වුණු ආණ්ඩුවක් කොහොම වෙයිද කියලා ඔහු එදා ඇසුව. දැන් අපිට පේනවා දෙන්න එකතු වෙලා රටට කරන විනාශය මොකක්ද කියලා. බොරු කියලා ආණ්ඩුවක් හදපු වියත් මඟට සහ විමල් වීරවංශලා ඇතුළු ආණ්ඩුවට මේ විනාශයේ වගකීමෙන් මිදෙන්න පුළුවන්ද..?
පසු ගිය කාලයේ ජනාධිපතිතුමා කඩේ ගියා. පොලේ ගියා. හමුදාව දැම්මා. ඒ හැම දේම කරලා අන්තිමට මිල පාලනයත් ඉවත් කළා. දැන් මිල හිතුමතේ වැඩි වෙනවා. හාල් මුදලාලිලා සහ එළවළු තොග මුදලාලිලා කිහිප දෙනෙක් රටේ මිල පාලනය කරනවා. ඒ වගේම භාණ්ඩ හිගයක් ඇති වෙලා. ගෑස්, කිරිපිටි, සහල් සහ සිමෙන්ති ඇතුළු සෑම දේම හිගයි. පෝලිම් හැදිලා. ආණ්ඩුවේ වගකීම තමයි ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව ලබාදීම.
ගෑස් නැතුව ජනතාව බරපතළ ගැටලුවකට මුහුණ පාලා. මහා පරිමාණ හෝටල්වල සහ සංචාරක හෝටල්වල ගෑස් නැතුව උයන්න පුළුවන්ද..? තරු පහේ හෝටල්වල දර ලිපේ උයන්න පුළුවන්ද..? සංචාරකයින් පවා ගෑස් පෝලිම්වල. ගෑස් සංයුතිය වෙනස් කරලා ගෑස් ලිප් පිපුරුවා. දේපළ හානි වුණා. ජීවිත හානි වුණා. ජනාධිපතිට තවමත් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න බැරි වෙලා. කොමිසමක් දාලා වාර්තාවක් ගත්තා. සති දෙකක් පසු වෙලා ගත්ත ක්‍රියාමාර්ගයක් නෑ. ගෑස් සංයුතිය වෙනස් කරලා මේ තරම් විනාශයක් කරපු නිලධාරීන්ට ගන්නා පියවර මොකක්ද..? ජනතාවට වෙච්ච හානියට වන්දි ගෙවනවද..? මේ කිසිවකට ආණ්ඩුවට උත්තර නැහැ.
තුනේ දෙකේ ආණ්ඩුවක් දුන්නා. 20 සම්මත කරලා දුන්නා. ඉල්ලපු බලතල සියල්ල දුන්නා. 20 සම්මත කරලා ගත්ත බලයෙන් මොනවද කරල තියෙන්නේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ටික දෙන්න බැහැ. බලය පාවිච්චි කරලා ජනාධිපති කරන්නේ කිරි කඩ වහන එක. ෆේස්බුක් එකේ ලියන අය සීඅයිඩීයට ගෙන්වන එක. ජනතාව වෙනුවෙන් නම් විධායක බලය පාවිච්චි කරලා වැඩක් කරල නැහැ. ජනතාවට වග නොකියන ආණ්ඩුවක් නිසා රට අරාජික වෙලා. 2015 හදපු ආණ්ඩුව කාලේ රට අරාජික වුණු නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනාවේ. නමුත් දැන් ඊට වඩා අරාජික වෙලා. රටේ ආණ්ඩුවක් නැති තරම්. ආණ්ඩුවේ අය නෑදෑ ගමන් යනවා. වන්දනා ගමන් යනවා. රට අයාලේ යනවා.
මේ අර්බුදය ස්වාභාවික අර්බුදයක් කියල පෙන්වන්න ජනාධිපතිවරයා උත්සහ කරමින් ඉන්නවා. මේ අර්බුදය ස්වභාවික නැහැ. වසර 73ක් අනුගමනය කළ ආර්ථික ගමන්මගේ තර්කානුකූල ප්‍රතිඵලය තමයි මේ. ඒ වගේම මේ ආණ්ඩුව භාවිතා කළ මෝඩ මුග්ධ අඥාන ක්‍රියාමාර්ග විසින් තමයි මේ අර්බුදය කැඳවලා තියෙන්නේ. ආහාර ප්‍රශ්නයක් ඇති වෙලා. එළවලළු ගිනි ගණන්. සහල් හිගයක් ඇති වෙලා. ආනයනය කරන්න වෙලා. ඒත් ආනයනය කරන්න ඩොලර් නැහැ. මේ සියල්ල සිදු වුණේ ස්වභාවික ව්‍යවසනයක් නිසාද..? නැහැ. මේ ච්ගොතබය රාජපක්ෂ කළ විනාශයක්. කෘෂිකර්මය ගොඩගන්න බැරි තැනකට වැටිලා. එහෙම වෙලත් ආණ්ඩුව වැරැද්ද හදා ගන්න සූදානම් නැහැ. නිලධාරීන් එළවලා මේ ප්‍රශ්න යට ගහන්න හදනවා. මේ ආහාර හිගයේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා භාර ගත යුතුයි.
ඒ වගේම ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ තමන්ගේ හිතවතුන්ගේ ලාබය වැඩි කරන ක්‍රමයක්. එහෙම නැතුව ආණ්ඩුවට ආදායම් එකතු කර ගන්නා බදු ප්‍රතිපත්තියක් නෙවෙයි. වැට් බදු අඩු කරනවා කිව්වා. ඒ වාසිය ගියේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ට. ජනතාවට වෙච්ච වාසියක් නැහැ. සීනි බදු අඩු කළා. පොල් තෙල් බදු අඩු කළා. ඒ වාසිය ගත්තේ හිතමිතුරු ව්‍යාපාරිකයින් මිස ජනාතාව නෙවෙයි. අල සහ ළුෑණු බදු අඩු කරනවා කිව්වා. මිල පාලනයක් නැතුව බදු අඩු කළාට ඒ වාසිය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. වාසිය ලැබෙන්නේ ආනයනකරුටයි. බදු අඩු කළාට මේ වෙන කොටත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1500ක් පමණ වරායේ හිර වෙලා ඩොලර් නැතුව නිදහස් කර ගන්න බැරිව. ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සියල්ල තිබෙන්නේ රට විනාශ කරන පැත්තටයි.
මේ ආණ්ඩුව ගෙනාවේ රට රකින්න කියලා. රට රකින විරුවා කියලා සිංදුත් කිව්වා. සම්පත් විකුණන්නේ නෑ විකුණපුවත් ගන්නවා කිව්වා. නමුත් දැන් රටට ඉතාම වැදගත් සම්පත් කීපයක් විකුණන්න යනවා. නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව විශාල විරෝධයක් ආවා. ආණ්ඩුව ඒ වෙනුවට බටහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දුන්නා.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටිකත් ඉන්දියානු සමාගමකට දෙන්න හදනවා. විරෝධයන් මැද ප්‍රමාද වුණාට කයිවාරු ගහන පච කෙලින ඊනියා දේශප්‍රේමී උදය ගම්මන්පිල මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න හදනවා. ඉන්දියානු සමාගමට බදු දී ලා තිබුණ තෙල් ටැංකි නැවත ශ්‍රී ලංකාවට ලබා ගන්න පුළුවන්කම තිබියදී තවත් අවුරුදු 50කට ඉන්දියානු සමාගමට බදු දෙන්න යනවා. ඩොලර් ලබා ගන්න පුළුවන් මාර්ග විකුණලා දානවා. අවුරුදු 5ට බලයට ඇවිත් රටේ සම්පත් අවුරුදු 50ට 60ට බදු දෙනවා. "රනිල්-මෛත්‍රී" ආණ්ඩුවත් කළේත් එහෙමයි. ජනතාවට කොලේ වහලා සමාගමක් හදල තෙල් ටැංකි 61ක 49%ක අයිතිය ඉන්දියාවට දෙන්න යනවා. ණයට අරන් කාලා විනාශ කරලා දැන් ණයෙන් බේරෙන්න රට පාවා දෙමින් ඉන්නවා. ඉන්දියාව පාවිච්චි කරන තෙල් ටැංකිවලට අමතරව ඉතිරි තෙල් ටැංකි ටිකත් ඉන්දියාවටම දෙන්න ගහන ගේමක් මෙතන තියෙන්නේ.
ඒ වගේම කෙළවරපිටිය එල්එන්ජී බලාගාරයේ 40%ක අයිතිය ඇමරිකාවට දුන්නා. රටේ ස්වෛරීත්වයට ජාතික ආරක්ෂාවට වැදගත් සම්පත් සියල්ල ආණ්ඩුවේ අයිතිය අහිමි කර ගෙන පිටරටවල්වලට විකුණමින් යනවා. බල ශක්ති ක්ෂේත්‍රය කියන්නේ ජාතික ආරක්ෂාව සමඟ ගැටගැහුණු එකක්. මේ ආණ්ඩුව බල ශක්ති ක්ෂේත්‍රයට අදාළ සියල්ල පිටරට සමාගම්වලට පාලනය කරන්න ඉඩ හදමින් ඉන්නවා. රට රකින්න, මව්බිම ආරක්ෂා කරන්න, මව් බිම වෙනුවෙන් පණ දෙන්න කියලා ආපු ආණ්ඩුව රටේ සම්පත් ටික විකුණමින් ජාතික අපරාධයක් කරනවා. වරාය කියන්නේ රටේ ආර්ථිකයට වැදගත් එකක්. හම්බන්තොට වරාය වසර 99කට චීනෙට දී ලා. කොළඹ වරායේ තියෙන ජැටි කිහිපයක්ම ශ්‍රී ලංකාවට අයිති නැහැ. වරාය සේවා, විදුලි බෙදා හැරීම සහ ඉන්ධන බෙදා හැරීම රට සතුව නොමැති නම් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ගැන විශ්වාසයක් කොහෙන්ද..? අපේ රට විදේශ රටක කොලණියක් බවට පත් වෙනවා.
අපේ රටේ ආහාර සුරක්ෂිතතාවයට මොකද වුණේ. රටක මිනිස්සුන්ට කන්න තියෙනව නම් රටේ ආහාර සුරක්ෂිතතාවය තියෙනව නම් ඒ රට වට්ටන්න බැහැ. නමුත් පහුගිය කාලේ මේ ජනාධිපති සහ ආණ්ඩුව රටේ ආහාර සුරක්ෂිතතාවය නැති කරලා දැම්මා. තමන්ගේ හීනයක් වෙනුවෙන් කෘෂිකර්මාන්තය විනාශ කරල දැම්මා. ආහාර ආනයනය කරන්නත් ඩොලර් නැහැ. රටේ ජනතාවට බඩ ගින්නේ තමයි ඉන්න වෙන්නේ. රටක කෘෂිකර්මාන්තය නැත්නම් ඒ රට යටත් කර ගන්න පහසුයි. රාජපක්ෂලා රටට කරන්න පුළුවන් බරපතළ ම විනාශය කරලා ඉවරයි. විදුලිය කැපෙන තෙල් නැති වෙන කන්න නැති රටක් බවට පත් වෙනවා. එහෙම තත්ත්වයක් තියෙද්දී රටේ ජනතාව අන්දන්න හිතා ගෙන බොරු කියනවා. මහ බැංකු අධිපති ඩොලර් ගැන බොරු කයිවාරු කියනවා.
ලේකම්ලා මාරු කරනවා. කැබිනට් සංශෝධන ගේන්න හදනවා. එකම කුට්ටම ඇණුවට වැඩක් නැහැ. මේ රටට ලොකු වෙනසක් ඕනෑ. මේ අසමත් පාලනයෙන් අපේ රටේ ජනතාව මිදෙන්න ඕනෑ. පසු ගිය ආණ්ඩුව තිත්ත වෙලා තමයි මේ රාජපක්ෂ ආණ්ඩුව ගෙනාවේ. ඉතිං ඒ ආණ්ඩුවත් මෙහෙම නම් තව මොනවද ඉතිරි වෙලා තියෙන්නේ.
මේ හොරු නඩ දෙකම ඉවත් කරලා රට හදන්න පුළුවන් ජනතාවගේ ආණ්ඩුවක් හදන්න ඕනෑ. ඒක තමයි එකම උත්තරය. ජාතික ජන බලවේගය මේ රට හදන්න වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. රට හදන්න පුළුවන් බලවේගයක් අපි සතුව ඉන්නවා. ඒ නිසා ජනතාවට අපි කියනවා රටේ දූ දරුවන්ගේ අනාගතය තවත් ඛේදවාචකයකට යන්න ඉඩ නොදී පෝලිම් යුගය නිමා කරලා සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න රට විනාශ කරපු හොරු කණ්ඩායම් දෙක්ම එළවලා රට ගොඩනගන වැඩ පිළිවෙළක් සමඟ අත්වැල් බැඳ ගන්න කියලා.
මේ පාලක කණ්ඩායම් දෙක රටට කරලා තියෙන විනාශය බැලුවම මේ රට ගොඩගන්නවා කියන එක සරල දෙයක් නෙවෙයි. අමාරු දුෂ්කර වැඩක්. නමුත් දූෂණයෙන් තොර අවංක ජනතාව සමඟ වැඩ කරන පාලනයකට මේ අභියෝගය ජය ගන්න පුළුවන්. අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි වත්කම් උපයන්නේ නැතිකම. ඒ නිසා අපේ පාලනයක් යටතේ ණයට කන සහ හොරකම් කරන ජාවාරම්කාර ආර්ථිකය වෙනුවට ලෝකය ඉලක්ක කර ගත් නිෂ්පාදන ආර්ථිකයකට ගමන් කළ යුතුයි. එහෙම තමයි වත්කම් උපයන්න පුළුවන්.
ඒ වගේම තමයි රටේ සිදු වන මහාපරිමාණ වංචා දූෂණ වැළැක්විය යුතුයි. දෙගොල්ලම එකයි. විපක්ෂයේ ඉන්න කොට කෑ ගැහුවට ආණ්ඩුවට ආවාම පරණ ආණ්ඩුව වගේම හොරකම් කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අපේ බලවේගය වංචාවෙන් දූෂණයෙන් තොර කණ්ඩායමක්. ජවිපෙ කියන්නේ දූෂණයෙන් තොර අවංක, පිරිසදු පක්ෂයක් බව ආණ්ඩුවේ ඉන්න අයටත් පිළි ගන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි වංචාව දූෂණය නතර කරනවා වගේම වංචා කරපු මුදල් නැවත පවරා ගන්න ඕනෑ. ජනතාව සම්බන්ධ කර ගන්නා රට ගොඩනඟන වැඩ පිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. මේ ආණ්ඩුව විශ්වාස නැති නිසා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මුදල් එවන්නේ නැහැ. ආණ්ඩුව විශ්වාස නැති නිසා හොඳ ආයෝජකයෝ රටට එන්නේ නැහැ. දක්ෂ පිරිසක් අපිත් සමඟ ඉන්නවා. ඒ අය සමඟ රට ගොඩනගන්න පුළුවන් කියලා අපිට විශ්වාසයක් තියෙනවා.
මේ නිවට සහ ණයට කාපු ආණ්ඩුව ගත්ත ණයට හිලව් වෙන්න මහා වටිනා සම්පත් කුණුකොල්ලෙට විකුණනවා. මේවා ජාතික අපරාධ. මේ අපරාධය වහාම නතර කරන්න ඕනෑ. තෙල් ගබඩා කරලා විකුණන්න පුළුවන්කම තියා ගෙන ඩොලර් හොයන උල්පත් විකුණලා එදා වේල ගත කරන්න හදනවා. මේ ආණ්ඩුව හරියට ගරා වැටුණ පරණ වලව්වක් වගේ.

