අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හිටපු ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වග කිව යුතුයි..!

හිටපු ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වග කිව යුතුයි..!

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මඟින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ…

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මඟින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබේ. 

එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇත. පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළි කළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතු බැවින් ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත්, ජනතාව නො රවටන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂයට කියා සිටියි. 

දැන්වීම

අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) බදාදා (24) පස්වරුවේ ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමරු ඵලකය නිරාවරණය කර නව කැලණි පාලම විවෘත කිරීමෙන් අනතුරුව පාලම දෙපස ආලෝකමත් කරන නවීන තාක්ෂණික විදුලි පද්ධතිය ද ක්‍රියාත්මක කළහ.

කොළඹ නගරයට ඇතුළු වන හා පිට වන වාහන හේතුවෙන් කැලණි පාලම ආශ්‍රිතව ඇති වූ අධික රථවාහන තදබදයට පිළියම් වශයෙන් නව ගුවන් පාලම ඉදි කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජයේත්, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේත් දායකත්වයෙන් 2012 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කර 2013 වසරේදී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යනයකින් පසු 2014 වසරේදී  පාලම ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ද එම වසරේදී ම සිදු කෙරිණ.

ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙනුවෙන් වෙනත් ස්ථාන ලබාදීමෙන් අනතුරුව 2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය.  ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55,000ක් වැය වී ඇති අතර ඊට ගත වූ කාලය වසර හතරකි.

කොළඹ, කටුනායක අධිවේගී පිවිසුමේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 6කින් සහ එතැන් සිට ඔරුගොඩවත්ත හා ඉඟුරුකඩේ මංසන්ධිය දක්වා මංතීරු 4කින් නව ගුවන් පාලම සමන්විත ය. මෙමඟින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය දක්වා සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් ඉදි වන අධිවේගී මාර්ගයන්ට ප්‍රවේශ පහසුකම් සැපයේ.

කැලණි ගඟේ ජල බැස්මට කිසිදු අවහිරතාවක් සිදු නො වන අයුරින් පාලම ඉදි කර තිබීම සහ පරිසර සුන්දරත්වය සුරැකෙන පරිදි කොබොනීල, ඇසළ, මැයි මාර, මී, කුඹුක් ඇතුළු ශාක ප්‍රභේද රාශියක් ප්‍රධාන මාර්ගය දෙපස රෝපණය කර තිබීම සුවිශේෂත්වයකි.

2005 – 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් රටේ සිදු කෙරිණ. ඉතිරි සියලු ගැටලු සඳහා ද තිරසර විසඳුම් ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබේ. ඒ සියල්ල අඛණ්ඩව සිදු කරන බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා, ඉදිරියේදී රට වැසීමට සිදු නො වුව හොත් පොරොන්දු වූ සියලු ව්‍යාපෘති අවසන් කරන බව පැවසීය.

බොරුවට ඉඩ නො තියා බුද්ධිමත් ජනතාව අවධියෙන් සිට, කොවිඩ් අභියෝගය හමුවේ ආණ්ඩුව සිදු කරන සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට විපක්ෂයට ඉඩ නො තැබිය යුතු යැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී කියා සිටියේය.

එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කින්නියා පාලම ඉදි කිරීමට සියලු සැලසුම් සකස් කර තිබිණ. එහෙත් පසුගිය ආණ්ඩුව එය නො සලකා හැරීමෙන් සිදු වූ ඛේදවාචකය පිළිබඳ කනගාටු වන බවත්, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූවා නම් වටිනා ජීවිත ආරක්ෂා කරගැනීමට හැකි ව තිබූ බවත් මහාමාර්ග අමාත්‍යවරයා පැවසීය.

“කල්‍යාණි රන් පිවිසුම” ජපාන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ තවත් සංකේතයක් බවත්, ඉදිරියටත් ජපාන සහාය ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා සඳහන් කළේය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු මහජන නියෝජිතයෝ, තානාපතිවරු, විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ රජයේ නිලධාරීහු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
හිටපු ආණ්ඩුව පාස්කු ප්‍රහාරයට වග කිව යුතුයි..! | Lanka Newsweek