අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හික්කඩුව සංචාරක කලාපයේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණයි.

හික්කඩුව සංචාරක කලාපයේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණයි.

හික්කඩුව, සංචාරක කලාපය තුල මුහුදේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණක් බවත් ඒ මහජන වෙරළ තීරය හා කැස්බෑ වෙරළ තීරය පමණක් බවත් හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය කියයි. හික්කඩුවේ සංචාරක හෝටල් වලට…

හික්කඩුව, සංචාරක කලාපය තුල මුහුදේ දිය නෑමට සුදුසු ස්ථාන ඇත්තේ දෙකක් පමණක් බවත් ඒ මහජන වෙරළ තීරය හා කැස්බෑ වෙරළ තීරය පමණක් බවත් හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය කියයි.

හික්කඩුවේ සංචාරක හෝටල් වලට පැමිණෙන විදේශිකයින් මුහුදු තීරයේ සෑම ස්ථානයකම පාහේ දිය නෑමට යන බවත් ඒ නිසාම පසුගිය කාලයේ විදේශිකයින් රැසක් අනතුරට පත් වීම හෝ මිය යෑම සිදුව තිබෙන බවත් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ප්‍රධානී පොලිස් පරීක්ෂක සී එන් ටී හේවගේ මහතා අද (19) ප්‍රකාශ කළේය.

නාරිගම ප්‍රදේශයේදී මුහුදු රළ පෑගීමට ගිය කැනඩා ජාතික තරුණයෙකු රළ පහරට ගසාගෙන ගොස් අතුරුදන් වීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදි හේවගේ මහතා මේ බව සදහන් කළේය. ඒ නිසාම හික්කඩුවට පැමිණෙන විදේශිකයින් දිය නෑමට මහජන වෙරළ තීරය හා කැස්බෑ වෙරළ තීරය පමණක් යොදා ගත යුතු බවද සංචාරක මග පෙන්වන්නන් හා හෝටල් හිමියන් ඒ වෙනුවෙන් සංචාරකයින් උනන්දු කල යුතු බවද හේවගේ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

දැන්වීම

හික්කඩුව මුහුදු තීරය ඉතා සැඩ රළ සහිත මුහුදු තීරයක් බවත් හික්කඩුව වෙරළ තීරය ප්‍රසිද්ධව ඇත්තේ සර්ෆ් (රළ මත ලිස්සා යෑම) ක්‍රීඩාවට බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. හික්කඩුව මුහුදු තීරයේ බොහෝ ප්‍රදේශ වල රළ පෑගීමට යන කුඩා දුරක පවා දිය වැල් තිබෙන බවත් ඒ නිසාම මුහුදට ඇද ගැනීමේ ප්‍රවණතාවය වැඩි බවත් පොලිස් ජීවිතාරක්ෂක ප්‍රධානීයා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

හික්කඩුවේ නාරිගම, තිරාණගම ප්‍රදේශයන් මුහුදේ දිය නෑමට සුදුසුම නැති බවත් එම ප්‍රදේශයේ විදේශිකයින් වැඩි පිරිසක් අනතුරට ලක්ව තිබෙන බවත් ප්‍රකාශ කල පොලිස් පරීක්ෂක හේවගේ මහතා මුහුදේ අනතුරු අගවා ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් විදේශිකයින් වැඩි වශයෙන් අවධානය යොමු කල යුතු බවද ප්‍රකාශ කළේය.

පසුගිය කාලයේ හික්කඩුවේදී සිදු වූ අවාසනාවන්ත සිදු වීම් සම්බන්ධයෙන් සිය ජීවිතාරක්ෂක ඒකකයට දැඩි කණගාටුවක් තිබෙන බවද පොලිස් පරීක්ෂක සී එන් ටී හේවගේ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය. සිය දෙමාපියන් සමග දිය නාමින් සිටි වයස අවුරුදු 3 ½ , 05, 12 යන වයස් කාණ්ඩ වල විදේශීය දරුවන් තිදෙනෙක් ඇතුළු වැඩිහිටියන් රැසක් පසුගිය මාස දෙකක පමණ කාලය තුල සිය ඒකකය මගින් බේරා ගෙන තිබෙන බවත් තවත් කිහිප දෙනෙකුම මියගිය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(ජයකාන්ත ලියනගේ  -  බළපිටිය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න