හමුදා සෙබලියක් සියදිවි නසාගෙන..!

(ජයකාන්ත ලියනගේ) ගාල්ල, දක්ෂිණ නාවුක හමුදා කදවුරේ සේවය කරන නාවුක හමුදා සෙබලියක් නිවාඩු ලබා පැමිණ සිය නාවුක හමුදා කදවුරේම සේවය කරන තවත් නාවුක හමුදා සෙබලියකගේ කරදර ඉවසීමට නොහැකි නිසා මෙම තීරණය ගන්නා…
(ජයකාන්ත ලියනගේ)
ගාල්ල, දක්ෂිණ නාවුක හමුදා කදවුරේ සේවය කරන නාවුක හමුදා සෙබලියක් නිවාඩු ලබා පැමිණ සිය නාවුක හමුදා කදවුරේම සේවය කරන තවත් නාවුක හමුදා සෙබලියකගේ කරදර ඉවසීමට නොහැකි නිසා මෙම තීරණය ගන්නා බවට ලිපියක් ලියා තබා (15) සවස සියදිවි හානිකර ගෙන තිබේ.
මෙසේ සියදිවි හානිකර ගෙන ඇත්තේ නො. 175/බී, පන්සල අසල, මහවිල, හඹුරුගල ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ අයේෂා සෞවන්දී (22) නැමැති අයයි. ඇය ගාල්ල, දක්ෂිණ නාවුක හමුදා කදවුරේ කාන්තා නැවි, ඩබ්ලිව් ආර් 115180 යටතේ සේවය කරන ලද අයෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
දැන්වීම
මියගිය අයගේ හදිසි මරණ පරීක්ෂණය හඹුරුගල, ඇතුන්දාගොඩ කොට්ඨාශයේ හදිසි මරණ පරීක්ෂක එම් ඩී සුනිල් ශාන්ත මහතා විසින් (15) දින සිද්ධිය වූ ස්ථානයේදී පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (16) ඇල්පිටිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී පී කේ එස් සිරිවර්ධන මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදි පවත්වන ලදී.
සිද්ධිය වූ දින උදෑසන මියගිය අයගේ මව, බෙන්තොට ඉලස්ටෝ ආයතනයේ රැකියාවට ගොස් ඇති අතර පියා පෙ.ව 10.00 ට පමණ ඇලකාක මහ විද්‍යාලයේ පැවැත්වෙන රැස්වීමකට සහභාගී වීම සදහා පිටත්ව ගොස් ඇත. පියා නැවත නිවසට පැමිණ ඇත්තේ එදින ප.ව 1.30 ට පමණය. එවිට සිය දියණිය ඇයගේ නිදන කාමරයේ සාරියකින් ගෙල වැලලාගෙන තිබෙන අයුරු දැක තිබෙන බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.
සියදිවි හානි කර ගත් අයගේ ඇදමත ඇය විසින් ලියා තබන ලද ලිපියක් ඌරගස්මන්හන්දිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. ගාල්ල, දක්ෂිණ නාවුක හමුදා කදවුරේ සේවය කරන මධුභෂිණී නැමැති අයගේ කරදර, හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව මෙම තීරණය ගත් බව එම ලිපියේ සදහන් වේ. තමා නිවාඩු ලැබ නිවසට පැමිණීමට සූදානම් වෙද්දී “ උඹ නිවාඩු ගිහින් වරෙන්කෝ, ඊට පස්සේ මම හදල ගන්නම්“ යනුවෙන් මධුභාෂිණී පැවසූ බවත් නිවාඩු අවසන් වෙද්දී නැවත කදවුරට යෑමට ඇති බිය නිසා මේ තීරණය ගත් බවත් ඇය විසින් ලියන ලද ලිපියේ වැඩි දුරටත් සදහන් වේ.
මියගිය සෞවන්දී නිවාඩු ලැබ නිවසට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි මස 06 දින පෙ.ව 7.30 ට පමණය. ඇයට 2019.02.16 දින දක්වා නිවාඩු ලබා දි ඇත. ඇය නැවත කදවුරට යා යුතුය තිබි ඇත්තේ (17) දිනය. ඇය 15 දා සවස සියදිවි නසා ගෙන තිබෙන බවද ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වූ වාර්තාවක් (20) දින ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඒ මගින් මධුභාශිණී නැමැති අයගේ දුරකතන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගෙන ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බවත් ඌරගස්මන්හන්දිය පොලීසිය කියයි. සැබෑ ලෙසම සියදිවි නසා ගැනීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන් පැති කීපයක්ම ඔස්සේ පරීක්ෂණ සිදු කරන බවද ඌරගස්මන්හන්දිය පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
ඌරගස්මන්හන්දිය පොලිස් ස්ථානාධිපති හරිත් හල්විට මහතාගේ මෙහෙයවීම මත පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත් ජයන්ත, අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී එම් ඉරාන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.