අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

හඳුනා නොගත් කෘමීන්ගෙන් බුලත්සිංහල පොල්වගාවට හානි

( නිමාලි කහවල ) හඳුනාගත නොහැකි කෘමි විශේෂයක් ශීග්‍රයෙන් ව්‍යාප්තවීම නිසා හොරණ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හල්වතුර ප්‍රදේශයේ පොල් වගාකරුවෝ බලවත් ගැටලුවකට මුහුණ දී සිටිති. හල්වතුර…

(නිමාලි කහවල)

හඳුනාගත නොහැකි කෘමි විශේෂයක් ශීග්‍රයෙන් ව්‍යාප්තවීම නිසා හොරණ  බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හල්වතුර ප්‍රදේශයේ පොල් වගාකරුවෝ බලවත් ගැටලුවකට මුහුණ දී සිටිති.

හල්වතුර වතුයායේ කටුපොල් වගාව ආරම්භවීමත් සමඟ මෙම නව කෘමි විශේෂයද ඇති වූ බව ප‍්‍රදේශවාසීහු පවසන අතර, මෙම උවදුර මේ වනවිට එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් එපිටවත්ත, අළුපොත, තිප්පල ආදී ප‍්‍රදේශවලටත් ව්‍යාප්ත වී තිබේ.

දැන්වීම

මෙම කෘමි විශේෂය පොල් අත්ත මැදින් විනාශවන පරිදි කා දැමීම නිසා පොල් අතු මැදින් කඩා වැටෙන බව ප‍්‍රදේශවාසීහු පවසන අතර, එසේම මෙම කෘමීන් විසින් පොල් කොළ සම්පූර්ණයෙන් කා දැමීමත්, පොල් ගසේ කරබඩය විනාශ කිරීමත් නිසා පොල් වගාවේ ඇති පැළ ගස් විනාශවීම, පොල් ඵලදාව අඩුවීම හා පොල් වගාව බාලවීම යනාදී ගැටලු රැසකට වගාකරුවෝ මුහුණපා සිටිති.

මෙම කෘමි විශේෂය කටුපොල් වගාව නිසා ව්‍යාප්ත වන්නේද  මේ සඳහා ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සහ පිළියම් මොනවාද යන්න සෙවීම සඳහා පොල් පර්යේෂණ ආයතනයේ දිස්ත‍්‍රික්  සහ ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරීන් පසුගියදා එපිටවත්ත, අළුපත ප‍්‍රදේශයේ පොල් වගාවන් පරීක්ෂා කිරීමකට ලක් කළ අතර, මේ සම්බන්ධයෙන් තීරණයක් ගෙන කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත්  හල්වතුර ප‍්‍රදේශයේ සියලුම පොල් වගාවන් විනාශවීමට ඉඩ ඇති බව ප‍්‍රදේශවාසීහු පවසති.

හල්වතුර වතුයායේ පවත්වා ගෙන යන කටුපොල් වගාවට එරෙහිව හල්වතුර සහ ඉංගිරියට නුදුරු ඌරුගල ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක්ද නොබෝදා බුලත්සිංහල - හල්වතුර මංසන්ධියේදී පැවැත් වුණු අතර ඒ සඳහා විශාල ජනකායක් සහභාගි විය.

මෙම උද්ඝෝෂණයෙන් තමන්ට සාධාරණ විසඳුමක් නොලැබුණහොත් මීටවඩා දැඩි පියවරකට හෝ යොමුවීමට තමන් පසුබට නොවන බවත්, මෙම කටුපොල් වගාව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් ලැබෙනතෙක්ම තමන්ගේ සටන අත් නොහරින බවත් ඔවුහු පවසති.

හල්වතුර ප‍්‍රදේශය අයත්වන බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කටුපොල් වගාව අත්හිටුවීමට පසුගියදා පැවති බුලත්සිංහල සම්බන්ධීකරණ කමිටුවේදී අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විසින් තීරණය කර ඇති අතර, එසේම කළුතර දිස්ත‍්‍රික්කයේ කටුපොල් වගාව මින් ඉදිරියට අලුතින් වගා කළ නොහැකි බව මතුගම ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී මතුගම එජාප ප‍්‍රධාන සංවිධායක ජගත් විතාන මහතා විසින් තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කළුතර දිස්ත‍්‍රික්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට චක‍්‍රලේඛනයක් මඟින් දැනුවත් කර ඇති බවත්, යමෙක් කටුපොල් වගා කරන්නේ නම් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයාට හෝ ළඟම ඇති පොලිසියට දැනුම් දී වහාම  වගා කටයුතු අත්හිටුවීමට හැකි බවටත් මෙමඟින් බලය ලබා දී තිබේ.

මේ වනවිට කළුතර දිස්ත‍්‍රික්කයේ හෙක්ටයාර 6000ක කටුපොල් වගාකර ඇති නිසා සීමාව ඉක්මවා ඇති බව ජගත් විතාන මහතා තීරණය කර ඇති අතර, ගම්වැසියන් පදිංචි නිවෙස් වලට මීටර් 100ක් හා කුඹුරු ඉඩම් වලට මීටර් 50ක් ඈතින් කටුපොල් වැවීමට නිර්දේශ කර ඇත.

තත්ත්වය මෙසේ තිබියදී හල්වතුර වතුයායේ දැනට වවා ඇති කටුපොල් වගාවට අමතරව අලූතින් නැවත කටුපොල් වැවීමට ඔවුන්ගේ සූදානමක් ඇති බව ප‍්‍රදේශවාසීන් පවසන අතර, මේ සම්බන්ධයෙන් ගම්වැසියන් විසින් බුලත්සිංහල පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.

 තම පොල් වගාවන්ට හඳුනාගත නොහැකි නව කෘමි විශේෂයකින් හානි සිදුවීම සම්බන්ධයෙන් විසඳුමක් ලැබීමටත් පෙර මෙසේ අලූතින් නැවතත් කටුපොල් සිටුවීම ආරම්භ කළහොත් ඊට එරෙහිව දැඩි ක‍්‍රියා මාර්ගයක් ගන්නා බවද හල්වතුර ප‍්‍රදේශවාසීහු පවසා සිටිති.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න