හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ආණ්ඩුව කෙරවලපිටිය බලාගාරය විකුණනවා..!

අපේ රටේ විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් අනාවරණය කරනු ලැබීය. ජනතා විමුක්ති…
අපේ රටේ විශාලතම ජාතික සම්පතක් වූ කෙරවලපිටිය විදුලි බලාගාරය විකුණා දැමීමේ ගිවිසුමකට ආණ්ඩුව විසින් අත්සන් තබා තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් අනාවරණය කරනු ලැබීය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් ඒ බව අනාවරණය කරනු ලැබුවේ ඉරිදා(19) කොළඹ බත්තරමුල්ල පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද පැවසීය.
අප විශාල බලශක්ති පරිභෝජනයක් ඇති රටක් නෙවෙයි. ජාතික ආරක්‍ෂාවේදී බලශක්ති ක්‍ෂේත්‍රය අතිශය වැදගත් වෙනවා. ඒ නිසා එය රජය සතුවීම අතිශය වැදගත් කරුණක්. බැසිල් රාජපක්‍ෂ නම් ඇමරිකානු ද්විත්ව පුරවැසියා, ගෝඨාභය රාජපක්‍ෂ ද්විත්ව පුරවැසියා අපේ රටේ මේ වැගත්ම සම්පත ඇමරිකානු සමාගමකට පැවරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
දැන්වීම
කෙරවලපිටිය විදුලි බලාගාරය දැනට මෙගාවොට් 300ක් නිපදවනවා. එය තවත් මෙගවොට් 300ක් එකතු කිරීමට නියමිතයි. 2025 දී එය මෙගාවොට් 1,000ක් කිරීමේ සැලසුමක් තිබෙනවා. එය විශාලතම බලශක්ති බලාගාරය වීමට නියමිතයි. එය රාජ්‍ය සමාගම් වෙත අයිතිය තිබෙන බලාගාරයක්.
දැනට එය ඩීසල්වලින් විදුලිය උත්පාදනය කළත් එයට ඩීසල්වල සිට ගෑස් දක්වා හැරවිය හැකි තාක්‍ෂණයක් තිබෙනවා. නමුත් අපට තවමත් ගෑස් ගබඩාවක්, නළ පද්ධතියක්, ද්‍රව ගෑස් වායු බවට හරවන යාන්ත්‍රණයක් නොමැති නිසා ඩීසල්වලින් විදුලිය නිපදවනවා.
එම නිසා ගෑස්වලින් විදුලිය නිපදවීමට අවශ්‍යවන යටිතල පහසුකම් සඳහා අප ජාත්‍යන්තර ලංසු කැඳවීමක් කළා ඛණිජ තෙල් සංස්ථාව භාර අමාත්‍යාංශය විසින්. පසුගිය පෙබරවාරි 18වැනිදා මේ පිළිබඳව ජනමාධ්‍යවල දැන්වීම් පළකළා. මේ අනුව පාවෙන ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය වෙන්වෙන්ව ටෙන්ඩර් කැඳවලා තිබුණා.
එහි ඉල්ලුම්පත්‍ර ලබාගැනීමට රු. ලක්‍ෂ 2ක තැන්පතුවක් ලබාගත්තා. ජූලි 18 වැනි දිනට පෙර ලංසු ඉදිරිපත් කළ යුතුව තිබුණා. එහෙත් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා මෙම ටෙන්ඩරයට ලංසු ඉදිරිපත් නොකළ නිව් පෝට්‍රට් එනර්ජි නම් ඇමරිකානු සමාගමට කෙරවලපිටිය බලාගාරයෙන් 40%ක්, ගෑස් ගබඩා පද්ධතිය සහ නළ පද්ධතිය ලබාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අනුමත කර ගත්තා.
මෙය කිසිසේත්ම පිරිසිදු ගනුදෙනුවක් නෙවෙයි. එම ඇමරිකානු සමාගමට අවශ්‍ය නම් ටෙන්ඩරයට ඉදිරිපත් විය හැකිව තිබුණා. නමුත් එයට ඉල්ලුම් නොකළ සමාගමකට ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්‍ෂ විසින් ලබාදී තිබෙනවා. බැසිල්ට තිබෙන්නේ කළු ඉතිහාසයක්. ඔහු මුදල් ඇමති වෙන විටම සමාජය තුළ මේ සාකච්ඡාව මතුවුණා.
එම සමාගමටම වසර 5ක් යන තෙක් ගෑස් මිලදී ගැනීමද ටෙන්ඩරයකින් තොරවම ලබාදී තිබෙනවා. එසේම කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකරන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් ලබාදීමේ බලයත් මෙම සමාගමට ලබාදී තිබෙනවා. ජනතාව ජීවන බරින් මිරිකී සිටිනවා. ඊට රට මත පැටවී ඇති දැවැන්ත ණය බරත් වගකිව යුතු වෙනවා.
ණය අපරාධයක් නොවුණත් ලංකාව ලබාගත් ණයවලින් රට තුළ අවශ්‍ය වත්කම් ගොඩනැගුණේ නැහැ. එහි තේරුම වංචා-දූෂණ ලෙස විශාල පංගුවක් දේශපාලකයින් අතට පත්වූ නිසයි. සැබවින්ම ආණ්ඩුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙම සමාගමට කෙරවලපිටිය පවා දෙන්නේ ඇයිද යන්න රටට පැහැදිලි කළ යුතුව තිබෙනවා.
කෙරවලපිටිය බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාව 2021.09.06වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් රැස්වීමට දවස් තුනකට පෙර ඇමතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කළේ නැහැ. අතිරේක පත්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම ඉදිරිපත් වුණා.
ඒ මොහොතේම ඊට අනුමැතියත් ලබාගත්තා, ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධතා මධ්‍යයේ. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එයි කිසිම තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු අත්සන් තැබීමයි.
නමුත් මෙහිදී සිදුවුණේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා සමාගමෙන් සහභාගී වූ විදේශිකයා පාන්දර 2 පමණ තිබූ ගුවන් යානයෙන් ඇමරිකාවට ආපසු ගියා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇමරිකාවට ගියේ ඉන් පසුවයි.
මේ පාලකයන් බලයට ආවේ විකිණූ හම්බන්තොට වරාය ආපසු ගන්නා බව කියමිනුයි. ඔවුන් එවැනි පිරිසක් නොවන බව අපිනම් දැන සිටියා. හම්බන්තොට වරායට බදු සහන ලබාදෙන පනතට විරුද්ධව ඡන්දය දෙන්න රාජපක්‍ෂවරුන් සහ ඔවුන්ගේ හිතවතුන් පාර්ලිමේන්තුවට ආවේ නැහැ. ඔවුන් ඡන්දයට පෙර ජනතාවට කී කිසිවක් කළේ නැහැ.
ඔවුන් හක්කේ බුදුරැස්- බොක්කේ දඩමස් තිබෙන අය. අද අපේ රටේ බලශක්ති ක්‍ෂේත්‍රයේ අයිතිය ඇත්තේ කාටද යන්න මත රටේ අනාගතය තීරණය වෙනවා. ගෝඨාභය, මහින්ද, බැසිල් චමල්, නාමල් පවුල් කැබිනෙට්ටුව විසින් බලශක්ති ක්‍ෂේත්‍රය ඇමරිකාවට පවරා තිබෙනවා. වැදගත්ම කරුණ වන්නේ කොවිඞ් තත්වය තුළ ජනතාවට ඊට විරෝධය පළකළ නොහැකි වාතාවරණයක් තුළ මෙම ගනුදෙනුව සිදුවීමයි.
කෘෂිකර්මය රටේ ආර්ථිකයේ වැදගත් අංශයක් මෙන්ම උරුමයක්ද වෙනවා. ලංකාවේ ශිෂ්ඨාචාරයේ මුල් බිම් පදනම් වන්නේ කෘෂිකර්මය ආශ්‍රිතවයි. එහි ප්‍රතිඵලයක් ලෙස අපිට දියුණු වාරි ශිෂ්ඨාචාරයක් උරුම වුණා. ශ්‍රම බලකායෙන් 27%ක් කෘෂිකර්මයේ නියැලී සිටිනවා. ජාතික නිෂ්පාදනයෙන් 7%ක් කෘෂිකර්මය නියෝජනය කරනවා.
අපනයනයන්ගෙන් 25%ක් කෘෂිකර්මය මත පදනම් වූ කර්මාන්තයි. මේ තත්වය තුළ කෘෂිකර්මය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ගැඹුරින් සිතා බැලීමෙන් අනතුරුවයි. නමුත් ආණ්ඩුව සහ ඇමතිවරුන් මොළයෙන් කල්පනා කිරීමෙන් නොව ඇඟේ හයියෙන් තීරණ ගන්නේ. ඔවුන් වරෙක වී මෝල් මාෆියාව බිඳින බව කීවා.
නමුත් වැටලීමකින් පසු ඔවුන් රැගෙන ආවේ හාල් කිලෝ ලක්‍ෂ 08ක් පමණයි. රටේ දෛනික සහල් පරිභෝජනය හාල් කිලෝ ලක්‍ෂ 60ක් පමණ වන තත්වයකදී මෙය විහිළුවක්. එසේම ඔවුන් වී මිලදී ගැනීමේදී සහතික මිලක් වෙනුවට පාලන මිලක් දැම්මා. සහතික මිලක් දැම්මා නම් එය අවම මිල ලෙස පවත්වා ගනිමින් ගොවින්ට වැඩි මිලකට වී විකිණිය හැකිව තිබුණා.
නමුත් මෙයින් කියන්නේ රු. 50ට වැඩියෙන් මිලදී ගැනීමට නොහැකි වීමයි. දැන් ගොවීන්ගේ වී වෙළෙඳුන්ට විකුණා අවසන් වූවාට පසුව වී මිල කිලෝවකට රු. 55ක් කර තිබෙනවා. ගොවියාට ලැබිය යුතු මිල අහිමි වෙනවා.
වී වගාවේදී බීජ සමග වල් පැලෑටිවලට අදාල බීජත් ඇතුල් වෙනවා. ඒවා මර්දනය කිරීම සඳහා වල් නාශක භාවිතා කෙරුණා. සාම්ප්‍රදායික වගාවේදී කුඹුරට මාසයක් පමණ වතුර ලබා දෙනවා. වතුර බැඳ තැබුවාම වල් කුණු වෙනවා. නමුත් මහවැලියේ වතුර දෙන්නේ සති දෙකයි.
ඒ නිසා සාම්ප්‍රදායික වල් නාශක ක්‍රම ඔවුන්ට භාවිත කරන්න බැහැ. ඔවුනට මෙවර වල් ගැලවීම සඳහා අමතර වියදම් දරන්න සිදුවුණා. බොහෝ දෙනෙකුට වගාව සඳහා යටකළ මුදලවත් අස්වැන්නෙන් ලබාගත නොහැකි වුණා.
රසායනික යෙදවුම් නොමැතිවීම තුළ තේ කර්මාන්තයද බිඳ වට්ටලා තිබෙනවා. කුඩා තේ වතු හිමියන් බොහෝ දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ තේ වගාවයි. රසායනික පොහොර භාවිතය නතර කර කාබනික පොහොරවලට යොමුවිය යුතු බව කීවේ තේ වගාව වැනි බෑවුම් පොළොවක කාබනික පොහොර යෙදවීම පිළිබඳව සොයා බැලීමකින් තොරවයි.
එසේම බඩඉරිඟු වගාව අභියෝගයකට මුහුණපා තිබෙනවා. එම බීජවලට රසායනික යෙදවුම් අවශ්‍යයි. සාමාන්‍යයෙන් වසරකට බඩඉරිඟු මෙ.ටොන්. 1500ක් ආනයනය කරනවා. නමුත් වගාව සම්බන්ධ අවිනිශ්චිතකම නිසා මෙවර ගෙන්වා ඇත්තේ බීජ මෙ.ටොන් 600යි.
දැන ගන්නට තිබෙන අන්දමට එයිනුත් විකිණී තිබෙන්නේ මෙ.ටො. 150ක් පමණයි. මෙයින් පෙනී යන්නේ බඩඉරිඟු වගාව සම්බන්ධව ගොවීන් තුළ ඇති අවිනිශ්චිතතාවයි. මෙය ආහාර නිෂ්පාදනයට සෘජු ලෙසම බලපානවා. රට තුළ බඩඉරිඟු නිෂ්පාදනය නතර වුවහොත් ගෙන්වීමට රටට ඩොලර් පවා නැති තත්වයක මෙය අතිශය බරපතළයි. මේ අනුව කෘෂිකර්මාන්තය දැවැන්ත අනතුරක තිබෙනවා.
අවසානයේ ආණ්ඩුව කාබනික පොහොර නිෂ්පාදනය ගොවීන් ලක්‍ෂ 2ක් ගොඩනගන බව කීවා. ගොවියෙකුට රු. 210,000ක් ලබාදෙන බව කීවා. ජනමාධ්‍යවල දැන්වීම් පළ කළා. ඉන් පසුව ගොවීන් සංඛ්‍යාව ලක්‍ෂයකට අඩු කරන බව කීවා. ඔවුන්ට රු. 150,000 බැගින් ලබාදෙන බව කීවා.
පසුව ගෝවීන් ලක්‍ෂය 10,000ට අඩුවුණා. එම ගොවින්ට රු. 110,000 ගානේ ලබා දෙන බව කීවා. අවසානයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට එක ගොවියෙකුට දෙන බව කීවා. රටේ ගොවිජන සේවා මධ්‍යස්ථාන තියෙන්නේ 560ක් විතර. ගොවීන් ලක්‍ෂ දෙකෙන් පටන් ගෙන 560 දක්වා අඩුවුණේ මෙහෙමයි.
දැන් කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්න බැරි නිසා ආනයනය කරන්නට සිද්ධ වෙන බව කීවා. අපේ රටේ ශාක නිරෝධායන පනත අනුව කාබනික පොහොර ආනයනය කරන්න බැහැ. ඒ සඳහා පර්යේෂණවලට වසර දෙකක පමණ කාලයක් ගතවෙනවා.
ඒ නිසා ආණ්ඩුව ආනයනය කිරීම සඳහා වෙනම ප්‍රතිපත්තියක් හදන්න කීවා. ඇත්තටම ආණ්ඩුව ඡන්ද කාලෙදි කීවේ රසායනික පොහොර නොමිලේ දෙන බවයි. පසුගිය අප්‍රේල් මුල රසායනික පොහොර ආනයනය නතර කළා. ඒ, මේ බලපෑම පිළිබඳව කිසිදු ගණන් බැලීමක් කළේ නැහැ.
එය පසුගිය යළ කන්නයට බලෑවේ නැත්තේ ඒ වනවිටත් බොහෝ වගා කටයුතු ආරම්භ වී තිබුණු නිසයි. නමුත් දැන් මහ කන්නය ආරම්භ වෙමින් තිබෙනවා. තමන්ගේ ගොවිතැන් පිළිබඳව ගොවීන් අසරණ වී තිබෙනවා.
ඔවුන්ගේ අස්වැන්න සම්බන්ධයෙන් ඔවුන්ට තිබෙන්නේ අවිනිශ්චිතතාවයක්. ගොවීන්ට ගොවිතැන එපා කරවා එම ගොවි බිම් ආණ්ඩුවේ හිතවතුන්ට ලබාගැනීමේ අදහසකුත් මේ පිටුපස තිබිය හැකියි. 2021.08.05වැනි දින මහින්දානන්ද කෘෂිකර්ම ඇමතිවරයා කාබනික පොහොර ආනයනය සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා.
කාබනික පොහොර ආනයනය මගින් වෙනත් රටවල ක්‍ෂුද්‍ර ජීවීන් මෙරටට ඇතුල්විය හැකි බව පර්යේෂකයන් අනතුරු ඇඟවූවා. නමුත් ආණ්ඩුව චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීමට අනුමැතිය ලබාගත්තා.
ආක්‍රමනික ශාඛ, ක්‍ෂුද්‍ර ජීවීන් ඇතුල්වීම වැළැක්වීමට ශාක නිරෝධානයන පනත ක්‍රියා කරනවා. ආණ්ඩුව විසින් ආනයනය කිරීමට නියමිත පොහොර සාම්පල්වල ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව වාර්තා කර තිබෙනවා. මේ සාම්පලය ජීවානුහරණය කර නොමැති බව එම වාර්තාවේ සඳහන් වෙනවා. දැන් ඇමතිවරයා එම සාම්පලය අවිධිමත් යැයි සී.අයි.ඩී.යට යන බවට තර්ජනය කරනවා.
හානිකර ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බව සොයාගත් ආයතනය වංචා කළ බවට චෝදනා කරනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ කෙසේ හෝ චීන සමාගමට මෙම ටෙන්ඩරය ලබාදීමටයි. ජනාධිපතිවරයා මෙම තීන්දුව ගනිද්දී බරපතළ ලෙස සලකා බැලිය යුතුව තිබුණා. නමුත් ආණ්ඩුව තීන්දුව අරන් තිබෙන්නේ මොළෙන් නොව ඇඟෙනුයි. මුළු කෘෂි කර්මාන්තය අනතුරට පත්වී තිබෙන්නේ මේ තත්වය තුළයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ ද පැවසීය.
බාර් අරින්න තීරණය කළේ කවුද කියන එක ගැටලුවක්. ඉස්කාගාර අයිති ඇමතිවරුන්ට. බාර් අයිති මන්ත්‍රීවරුන්ට. ඔවුන්ගේ ආදායම් ගැන ආණ්ඩුව හිතනවා ඇති. කෝටි 1500ක සුරාබදු අහිමි වූ බව ආණ්ඩුව කියා තිබුණා.
මෑත කාලයේ රටක් ලෙස බරපතළම ආර්ථික අර්බුදයක අප මුහුණ දී තිබෙනවා. ආදායම බිලියන 482යි. ගෙවිය යුතුව තිබෙන වියදම් බිලියන 1678යි. මේ වසර අවසන් වන විට බිලියන 8.5ක පමණ වෙළඳ හිඟයකට මුහුණ දීමට සිදුවෙනවා. චීනයට වරායේ අක්කර 13ක් ලබාදීමට යන්නේ මෙම තත්වය තුළයි. ආණ්ඩුවට ණය ගන්න නම් ජනතා දේපළ විකුණන්න වෙලා. මේක මස්පිඩු පෙනන්ලා විසඳන්න පුලුවන් ගැටලුවක් නෙවෙයි.
මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරිය ඉවත් කිරීම බලාපොරොත්තු විය හැක්කක්. හොරාටයි හොරකම් අල්ලන්න උදව් කරපු කෙනාටයි එකට වාඩි වෙන්න බැරි නිසා අයින් කරන්න ඇති.
රාජ්‍ය යාන්ත්‍රණය තුළ බරපතළ අරාජිකත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා.
රාජ්‍ය නිලධාරීන් ගණනාවක් ඉල්ලා අස්වෙමින් තිබෙනවා. ඒ අතර ආණ්ඩුව තානාපතිවරුන් ගණනාවක් මාරු කරමින් තිබෙනවා. පරිපාලන සේවයේ නිලධාරීන් යම් ප්‍රමාණයක් බරපතළ කළකිරීමකින් සිටිනවා. ඔවුන්ට ජීවනෝපාය නිසා ඉවසා ගෙන සිටින්නට සිදුවෙලා. නමුත් ඉවත් විය හැකි අය ඉවත් වෙමින් සිටිනවා.
තෙල් පිරිපහදුව වැඩිදියුණු කළා නම් අමතර නිෂ්පාදන රැසක් රටට ලබාගත හැකිව තිබුණා. එය යම් ප්‍රමාණයකින් ක්‍රියාත්මකව තිබූ කාලයේ රටට අවශ්‍ය පොහොර, නයිලෝන්, කෘමි නාශක, නිෂ්පාදනය කළා. නැව් තෙල් සැපයීමෙන් විශාල ආදායමක් ලැබුවා. නමුත් ඒවා පෞද්ගලීකරණය කිරීමෙන් රාජ්‍ය ආදායම අහිමිකර ගත්තා. තෙල් සංස්ථාවට සිදුවූ දේ රටට අත්වූ ඉරණම පිළිබඳ හොඳ සාම්පලයක්.
ආණ්ඩුවේ කණ්ඩායම් සහ පුද්ගලයින් තම තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ගැටුම් ඇතිකර ගත්තාට රටට හානිකර දේවලට එරෙහිව ඔවුන් අතර ගැටුමක් නැහැ. ඔවුන් රණ්ඩු කරන්නේ තමන්ගේ ඕ.අයි.සී. මාරුකර වෙනත් ඇමතිවරයෙකුගේ ඕ.අයි.සී. කෙනෙක් පත්කිරීම වගේ දේකටයි. කෙරවලපිටිය විකිණීම වගේ කරුණකදී ඔවුන් සියලු දෙනා සිටින්නේ එකට.