අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සියලු දෙනා එක් වෙලා ලක් මව විනාශ කළා

සියලු දෙනා එක් වෙලා ලක් මව විනාශ කළා

ණය ලබා දෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රශ්න කර සිටිති. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර…

ණය ලබා දෙන්නැයි ලොව වටා සිඟමන් යදිමින් සිටින අවස්ථාවක සැමරූ නිදහසේ ඇති අභිමානය කුමක්දැයි අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ප්‍රශ්න කර සිටිති.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් කාදිනල් හිමියන් වැඩි දුරටත් පෙන්වා දුන්නේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නොවීමත් රටේ බිඳ වැටීමට හේතුවී ඇති බවය.

අග රදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ මෙසේ ද පැවසූහ.

දැන්වීම

"අද වන විට ශ්‍රී ලංකාවේ සමාජය හැඳින්වුව හොත් දරුණු ලෙස දුෂණයට ලක් වෙලා. පසුගිය වසර 75ක කාලය තුළ අපි ගමන් කළේ පිටු පසට, මේක තමයි මේ රටේ තත්ත්වය. ශ්‍රී ලංකාව අද වන විට ආර්ථික වශයෙන් කඩා වැටීම පමණක් නොව සම්පූර්ණයෙන්ම හැම අතින්ම කඩා වැටීමකට ලක්වී තිබෙනවා. ජනතාවගේ සදාචාරාත්මක බිඳ වැටීම මේ සියල්ලටම මූලික හේතුවයි.

අපේ ජනතාව නිවැරදි දේ ක්‍රියාත්මක කිරීමට සූදානම් නැහැ. යුක්තිය වගේම නිවැරදි දේ සිදු කිරීම අද ජනතාවට අමතක වෙලා. හැම දෙයක්ම සිදු කරන්නේ තමන්ට මොනවා හරි දෙයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්.

රටේ ඉහළ සිට පහළ මට්ටම දක්වා සියලු දෙනා කාගෙන් හෝ කුමන හෝ දෙයක් ලබා ගැනීමේ අරමුණින් සිටින්නේ. ඒ තුළින් මුදලක් ඉපැයීමේ අපේක්ෂාවෙන්. 

පෙබරවාරි 4 වනදා අපි සමරපු නිදහස කුමක්ද..? ආචාර වෙඩි මුර 21ක්, කොඩි ඔස වමින්, ආචාර පෙළපාලි මහ පාරේ ගමන් කරමින් තානාපතිවරුන්ට සහ සම්භාවනීය අමුත්තන්ට පෙන්වනවා අපි ශ්‍රේෂ්ඨ රටක් කියලා. නමුත් අපි ලෝකේ වටෙන්ම සිඟමන් යදමින් හැමතැනම යනවා. එය අපේ නිදහස ද..?

අපේ නායකයා කියනවා නිදහස අභිමානයෙන් සැමරිය යුතුයි කියලා. කාගේ අභිමානයද අපි මේ සමරන්නේ. ඔහුගේ අභිමානයද..? නැති නම් අපේ අභිමානයද..? අපි මේ දේවල් ඇසිය යුතුයි.

විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග දේශීය ව්‍යවසායන් සම්පූර්ණයෙන්ම කප්පාදුවකට ලක් වුණා. දේශීයව නිෂ්පාදනය කළ හැකි සියල්ලම ආනයනය කිරීමත් සමග අපි යැපුම් ආර්ථිකයක් බවට පත් වුණා.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගත්තොත් වෙළෙඳ හිඟය ඔවුන්ට වාසිදායක ලෙස ක්‍රියාත්මක වන්නේ. එම සබඳතාවල කිසිදු සමානාත්මතාවයක් දකින්නට නැහැ. චීනයත් සමග ඇත්තේත් මේ වගේ දෙයක්.

අපි ධෛර්යවන්ත විය යුතුයි ඔවුන්ට පවසන්න අපි ඔබේ නිෂ්පාදන ගන්නවා නම් ඔබත් අපේ නිෂ්පාදන ගත යුතු බවට.මම මේ හැමදේම කියන්නේ ශ්‍රී ලංකාව අද සවිඥානික බව අහිමිවීමෙන් පීඩාවිදින නිසා.

ඔබට ගෙවීමට ඇති ණයෙන් පැනයන්න බැහැ. ඒ නිසා ඔබ තවත් ණයක් ලබා ගන්න යනවා. මේ වතාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්. මීට පෙර චීනය, ඉන්දියාව හෝ වෙනත් රටවලින්. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්.

මේවායින් ඔබ ණය ගැතිභාවයෙන් මිදෙන්නේ නැහැ, තවත් ණය ගන්න ගිහින් තවත් ණය අර්බුදයක හිරවෙනවා. කෝ අපේ රටේ තිබුණු දේශප්‍රේමීත්වය, අපි මේ රටට කිසිඳු වටිනාකමක් නැති පුරවැසියන්. අපි අපේ ලංකාව නමැති අම්මාව විනාශ කළා."

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
සියලු දෙනා එක් වෙලා ලක් මව විනාශ කළා | Lanka Newsweek