සාධාරණ සමාජය ගොඩනගා මාදුළුවාවේ සෝභිත හිමිට කෘත ගුණ දක්වමු..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

(සුජිත් මංගල ද සිල්වා) මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජාතියට කළ හැකි විශාලම යුතුකම වන්නේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ නිදහස් සාධාරණ යුක්ති ගරුක සමාජය බිහි කිරීම යැයි කතානායක දේශබන්දු…
(සුජිත් මංගල ද සිල්වා)
මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජාතියට කළ හැකි විශාලම යුතුකම වන්නේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ නිදහස් සාධාරණ යුක්ති ගරුක සමාජය බිහි කිරීම යැයි කතානායක දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කළේය.
කතානායක කරු ජයසූරිය මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර ප්‍රදේශයේ කලක සිට දුෂ්කර මායිම් ගම්මානයක් ලෙස සැලකුණු මහ විලච්චිය හැලඹවැව ඇලපත්ගම ප්‍රදේශයේ මාදුළුවාවේ සෝභිත හිමි නමින් ගොඩනැගෙමින් පවතින ගම්මානයේ ඉන්දියානු මූල්‍ය ප්‍රදානයෙන් ඉදිවෙන නව නිවාස 153ක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
ශ්‍රි ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නා හිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසකත්වයෙන් උත්සවය පැවැත්විණි.
මාදුලුවාවේ සෝභිත නාහිමියන් යුද තර්ජනය, දැඩි නියඟය සහ වන අලි තර්ජන හේතුවෙන් ස්වකීය සම්ප්‍රදායික ගම්බිම් අත් හැර දමා යමින් සිටි විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වනාන්තරය මැද හුදකලා වූ ඇලපත්ගම ප්‍රදේශය බලා වැඩම කළේ 1985 වර්ෂයේදීය.
එම ප්‍රදේශයේ ජනතාව දිරිමත් කර තමන්වහන්සේට පුද්ගලිකවම ලැබුණු පරිත්‍යාගයන්ගෙන් එම ජනයාට උපකාර කරමින් එම ගම්මානය යළි ගොඩනැගීම උන්වහන්සේ ආරම්භ කළහ.
එම ප්‍රදේශයේ පැල්පත්වල විසූ පවුල් 153 ක් සඳහා නව නිවාස සාදා දීම මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපේක්ෂාවක් වුවද උන්වහන්සේගේ දෛවය ඊට හරස් විය.
මාදුළුවාවේ සෝභිත හිමියන් වෙනුවෙන් එම වගකීම ඉටු කිරීම උන්වහන්සේට කරන කෘතගුණ දැක්වීමක් ලෙස සැලකූ කරු ජයසූරිය මහතා එම ගම්මානය ගොඩ නැගීම යළි ආරම්භ කළේය.
ඒ 2016 වසරේ උන්වහන්සේගේ උපන් දිනය යෙදුණු මැයි මස 29 වෙනිදාය. රජයට බරක් නොවී නව නිවාස 153 ක් සඳහා යන සම්පූර්ණ වියදම ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට කරු ජයසූරිය මහතා සමත් වූ අතර එම නිවාස සඳහා මුල් ගල තැබීමට සමගාමීව එම ප්‍රදේශයේ ඉඩම් හිමියන් සඳහා සින්නක්කර ඔප්පු ප්රදානය කිරීමටද ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කටයුතු කර තිබිණි.
මාදුළුවාවේ ශ්‍රි සෝභිත හිමි අනුස්මරණ ගම්මානයේ නව නිවාස සංකීර්ණය සඳහා මුල් ගල තැබීමේ උත්සවයට ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක, නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස, සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීම් ඇමති පී. හැරිසන්, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සුභ සාධන ඇමති දයා ගමගේ යන මහත්වරු සහ විශේෂ ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකාවේ වැඩ බලන ඉන්දියානු මහ කොමසාරිස් ආචාර්ය අරුන්දන් බග්චි මහතා ද එක් වූහ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා මෙසේ ද කීය.
“ශ්‍රී ලංකාවේ සමීපතම ශක්තිමත් මිතුරා ලෙස වසර දහස් ගණනක් පුරා අඛණ්ඩව සබඳතා පැවැත්වූ භාරත දේශය අපවත් වී වදාළ කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි නාමයට ගෞරව කරමින් උන්වහන්සේ විසින් ගොඩනගමින් සිටී අනුරාධපුර විලච්චියේ ඇලපත්ගම ග්‍රාමයට නව නිවාස 153 ක් ඉදි කිරීම සඳහා රුපියල් ලක්ෂ තුන්දහසක මුදල් ප්‍රදානයක් සිදු කළා.
මේ පරිත්‍යාගය මාදුළුවාවේ සෝභිත හිමි නාමයට බුදුන්රජාණන් වහන්සේ ජන්ම ලාභය ලැබූ දේශයෙන් ලද මහත් ගෞරවයක් ලෙස සැලකිය හැකියි.
මාදුළුවාවේ සෝභිත නා හිමියන් මහා සමාජ ප්රතිසංස්කාරකයෙකු ලෙසත් බෞද්ධ ලෝකය වසඟ කළ විචිත්‍රවත් ධර්ම කථිකයෙකු ලෙසත් සංඝ සමාජය බැබලවූ මහා තෙර නමක ලෙසත් මුළු සමාජයම හඳුනා ගෙන තිබුණා.
උන්වහන්සේ තුළ තිබූ මානව දයාව පිරිණු චරිතය විද්‍යාමාන වන්නේ අනුරාධපුර ප්‍රදේශයේ කලක සිට දුෂ්කර මායිම් ගම්මානයක් ලෙස සැලකුණු මහ විලච්චිය හැලඹවැව ඇලපත්ගම වැනි හුදකලා ගම්මානයක දුෂ්කර ජීවිත ගෙවූ ජනතාව සොයා ගොස් ඔවුනට පිහිටවීමෙනුයි.
මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමි වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජාතියට කළ හැකි විශාලම යුතුකම වන්නේ උන්වහන්සේ ප්‍රාර්ථනා කළ නිදහස් සාධාරණ යුක්ති ගරුක සමාජය බිහි කිරීමයි.
උන්වහන්සේ තරම් සමාජයේ සෑම තරාතිරමකම මිනිසුන්ට සමීප වූ භික්ෂූ චරිතාපදනයන් මෑත යුගයේ දැකීමට නොහැකි තරම් බව කිව යුතුයි. උන්වහන්සේ ආගමික සමාජීය සේවාවේදී තනතුරු හෝ ප්‍රසිද්ධිය අපේක්ෂා කළේ නැහැ.
දශක තුනකට ආසන්න කාලයක් උන්වහන්සේ මෙවන් ගම්මානයක් ගොඩනගමින් සිටි බව බොහෝ දෙනෙක් දැන සිටියේ නැහැ. කෝට්ටේ නාග විහාරයේ සැප පහසු ලෙසින් වැඩ සිටින්නට හැකි වුවත් තමන්ට ලැබුණු දෙයක් කරපින්නා ගෙන දුර කතර ගෙවා වන දුර්ග මැදින් ඇලපත්ගමට වැඩම කළ උන්වහන්සේ මේ ජනතාව සමග දුෂ්කර ජීවිතය අත්දකිමින් ඔවුන් සමග කාලය ගත කිරීම සැපතක් යැයි සැලකුවා.
උන්වහන්සේ මෙහි ජනතාව සමග එක්ව වන අලි සහ ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දුන්නා. මාදුළුවාවේ සෝභිත හිමි නොවන්නට මේ ගම ජන ශුන්‍ය වී බොහෝ කල් විය හැකියි.
උන්වහන්සේ සමග එකම මාවතක පැමිණි අපට එදා නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා සමාජ ව්‍යාපාර හරහා මේ රට වෙනස් කිරීමට හැකි වුණා.
උන්වහන්සේගේ අහිංසක සිහිනයක් වූ ඇලපත්ගම ගම්මානය යළි ගොඩ නැගීම එම ගමනේ කොටස්කරුවන් වූ අපගේ යුතුකමක් බව අපි කල්පනා කළා.
ඒ සඳහා අපට යෝධ ශක්තියක් ලබා දුන් ඉන්දියානු රජයත් ඉන්දියානු මහ කොමසාරිස්තුමා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ සියලු නිලධාරිනුත් දැක්වූ උනන්දුව පැසසිය යුතුයි”
මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ වැඩබලන ඉන්දියානු මහ කොමසාරිස් අරුන්දන් බග්චි මහතා සඳහන් කලේ ලෝකයේ සෑම රටක් සමගම ඉන්දියාව පවත්වන සබඳතාවය ඉක්මවා ගිය ඓතිහාසික සංස්කෘතික බැඳීමක් ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති බවය.
ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදු දහම කෙරෙහි දක්වන භක්ත්‍යාදරය පිරිසිදු බුදුදහම ස්ථාපිත වූ ශ්‍රී ලංකාව කෙරෙහිද දක්වන බව ද ඔහු සඳහන් කළේය.
බුදු සසුන පෝෂණය කළ මෙරට භික්ෂු සමාජයේ අද්විතීය චරිතයකට ගෞරව දක්වන්නට ලැබීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන බව පැවසූ වැඩ බලන මහ කොමසාරිස්වරයා ඉන්දියානු ආධාරයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසක ජතාවගේ සුබසිද්ධිය උදෙසා ව්‍යාපෘති රැසක් දියත් වන බව ද ශ්‍රී ලංකාව දිනෙන් දින ඉදිරියට යනු දැකීම කල්‍යාණ මිතුරෙකු ලෙස භාරත දේශයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
