සල්ල දුන් මන්ත්‍රී ලැයිස්තුව හෙළි කරන්නැයි "කැෆේ" ඉල්ලයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

(ජයකාන්ත ලියනගේ) පර්පචුවල් ටෙසරීස් සමාගම හෝ ඊට අනුබද්ධ සමාගම් විසින් මැතිවරණ සදහා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ආධාර හෝ පරිත්‍යාග ලබා දී ඇති සංවිධාන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ලබා දෙන ලෙස ඉල්ලමින්…
(ජයකාන්ත ලියනගේ)
පර්පචුවල් ටෙසරීස් සමාගම හෝ ඊට අනුබද්ධ සමාගම් විසින් මැතිවරණ සදහා හෝ වෙනත් කාරණා සම්බන්ධයෙන් ආධාර හෝ පරිත්‍යාග ලබා දී ඇති සංවිධාන හෝ පුද්ගලයින්ගේ නාම ලේඛණයක් ලබා දෙන ලෙස ඉල්ලමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) පර්පචුවල් ටෙසරීස් සමාගමේ විධායක අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් හා එහි මූල්‍ය ප්‍රධානි කසුන් පලිසේන යන මහත්වරුන් වෙත ලිපියක් යවා තිබේ.
කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ රංජිත් කීර්ති තෙන්නකෝන් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය වැලිකඩ බන්ධනාගාරයේ කාර්ය භාර නිලධාරිවරයා මගින් අර්ජුන් ඇලෝසියස් මහතා වෙත සහ කසුන් පලිසේන මහතා වෙත යොමු කර තිබේ.
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගෞරවය රැක ගැනීම උදෙසා කරන කාරුණික ඉල්ලීමයි" යන ශිර්ෂය යටතේ යොමු කර ඇති ලිපිය මගින් කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ මෙසේ සත්‍ය ලෙස මුදල් අධාර හෝ පරිත්‍යාග ලබාගත් අය හෙළි කිරීමෙන් එසේ නොගත් අයගේ ගෞරවය ආරක්ෂා වන බවයි.
මුදල් අධාර හා පරිත්‍යාග මෙන්ම මැතිවරණ ප්රචාරක කටයුතු වෙනුවෙන් පරිත්‍යාග ලබාදුන් අයගේ නාම ලේඛනය වෙන් වෙන් වශයෙන් ලබාදෙන ලෙසද කැෆේ සංවිධානය පර්පචුවල් ටෙසරීස් සමාගමේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා තිබේ. 2010 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දක්වා දක්වා කාලය තුල තොරතුරු ලබා දෙන ලෙසද අදාල ලිපිය මගින් ඉල්ලා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙක් පර්පචුවල් ටෙසරීස් සමාගමෙන් මුදල් ලබාගත් බව එක් අවස්ථාවකදීත් 116 දෙනෙක් මුදල් ලබාගත් බව තවත් අවස්ථාවකදීත් කියවෙන බව අදාළ ලිපියෙන් පෙන්වා දෙන කැෆේ සංවිධානය මෙහි සත්‍ය සංඛ්‍යාව දැන ගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ ගෞරවයට හේතු වන බවද අදාළ ලිපියෙන් පෙන්වා දී ඇත.
රටේ නීතියට අනුව අල්ලස් හා කප්පම් ඉල්ලා සිටීමත් ලබා දීමත් වරදක් නමුත් එවන් ඉල්ලීමක් මෙම ලිපියෙන් නොකරන බවත් තමා කැමති ඕනෑම අයෙකුට ආධාර හා පරිත්‍යාග ලබා දීම රටේ නීතියට අනුව වරදක් නොවන බැවින් මෙම ඉල්ලීම කරන බවත් කැෆේ සංවිධානය සිය ලිපිය මගින් වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
මෙම නාම ලේඛණය රුපියල් ලක්ෂයට වැඩි හා ලක්ෂ 05 ට වැඩි වශයෙන් වෙන්ව ලබා දෙන ලෙසත් මැතිවරණ කටයුතු සදහා ලබාදුන් අයගේ ලේඛණය වෙනම ලබාදෙන ලෙසත් අදාළ ලිපියෙන් ඉල්ලා ඇත. මෙම ලේඛණය සිය සංවිධානයට ලබා දීම නුසුදුසු යැයි හැගෙන්නේ නම් කතානායකතුමා වෙත ලබාදෙන ලෙසද රංජිත් කීරිති තෙන්නකෝන් මහතා විසින් ඉල්ලා තිබේ.
මෙම ලිපියේ පිටපත් කතානායක කරු ජයසූරිය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, විපක්ෂ නායක ආර් සම්බන්ධන සහ එක්බද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන්ටද යවා ඇත.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2