සරසවි පද්ධතිය හමුදාකරණය කරන බවට ජවිපෙන් චෝදනා

ආණ්ඩුව අධ්‍යාපනය මුළුමනින්ම වනසලා කොරෝනා වංසගතය වර්ධනය වෙමින් යද්දී අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටීමට ඉඩ හැර ඇතැයි ජනතා විමුක්ති ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ…
ආණ්ඩුව අධ්‍යාපනය මුළුමනින්ම වනසලා
කොරෝනා වංසගතය වර්ධනය වෙමින් යද්දී අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටීමට ඉඩ හැර ඇතැයි ජනතා විමුක්ති ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා චෝදනා කර සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා මේ බව කියා සිටියේ කොළඹ බත්තරමුල්ල එම පක්ෂ මූලස්ථානයේදී බාදාදා(30) පැවැති මාධ්‍ය හමුවේදී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
කොරෝනා වසංගතය නිසා අවුරුදු එක හමාරකට ආසන්න කාලයක් පාසැල්වල දරුවන්ගේ සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටිලා. රජය විදිහට මේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැක්විය යුතු ප්‍රමුඛතම මැදිහත්වීම මෙතෙක් සිදුකර නැහැ. අධ්‍යාපනය කියන්නේ අනාගත ආයෝජනයක්. පාසැල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් අනාගතය ගොඩනගන තරුණ තරුණියන් බිහිකරනවා.
දැන්වීම
විවිධ පැතිකඩවලට යම් තරමකට හෝ අවධානය ආණ්ඩුව යොමු කළත් අධ්‍යාපනය සම්බන්ධයෙන් දුර්වලම මට්ටමක තියෙන්නේ. මේ නිසා පාසැල් යා යුතු වයසේ ඉන්න දරුවෝ 450,000ක් විතර පාසැල් නොයා ඉන්නවා. දුප්පත්කම සහ වෙනත් ප්‍රශ්නත් එක්ක ඔවුන්ට අධ්‍යාපන අවස්ථාව අහිමි වෙලා.
අපේ රටේ මුළු පාසැල් 1,168න් 3%කටම විදුලිය පහසුකම් නැහැ. 16%කට ජලය නැහැ. දරුවන්ට සහ ගුරුවරුන්ට බොන්න වතුර ටිකක් නැති ඉස්කෝල 1628ක් තියෙනවා. වැසිකිලි-කැසිකිලි නැති ඉස්කෝල 26%යි. ඒ කියන්නේ පාසැල් 2644ක්. අපේ රටේ පැවති ආණ්ඩු අධ්‍යාපනය සම්බන්ධයෙන් දක්වන සැලකිල්ල මේ දත්තවලින් තේරුම් ගන්න පුළුවන්. කාලයක් තිස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා ශිෂ්‍යයෝ වගේම අධ්‍යාපනඥයෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා උද්ඝෝෂණය කරනවා. නමුත් එන්න එන්නම කප්පාදු කරලා තියෙන්නේ. මේ අවුරුද්දේ මුදල් වෙන් කිරීමේදී පහුගිය අයවැයෙන් කප්පාදු කළා. මේ නිසා පාසැල් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ දැඩි අපහසුතාවයකට පත්වෙලා ඉන්නේ.
කොරෝනා තත්වය හමුවේ ආණ්ඩුව ගෙනියන්නේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය. හැබැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලට අනුව වයස අවුරුදු 18ට අඩු පාසැල් දරුවන්ගෙන් 34%කට පමණයි ඔන්ලයින් පහසුකම් තියෙන්නේ. සාතිශය බහුතරයකට ඒ පහසුකම් ලබාගන්න බැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් මේ පහසුකම ලබාගන්න අඛණ්ඩව හැකිවී තිබෙන්නේ 9%කට විතරයි. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අන්තිම අසාර්ථකයි. අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන දැනුම, කුසලතාව සහ පෞරුෂත්වය යන කිසිවක් ඔන්ලයින් අධ්‍යාපනයෙන් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අක්‍ෂි රෝගයෙන් පටන් ගෙන විවිධ ශාරීරික, මානසික ආබාධ සහිත තරුණයෙක් බවට ඔන්ලයින් අධ්‍යපනය තුළින් බිහි වෙනවා. මේක දැවැන්ත අනතුරක්.
අනික් පැත්තෙන් මේ පහසුකම බොහෝ පාසැල් ගුරුවරුන්ට නැහැ. ගුරුවරුන්ට නැතිව දරුවන්ට ලබාදෙන්න බැහැ. ඒ වගේම ඈත ගම්මානවල පමණක් නොවෙයි, කළුතර, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවලත් මේ විෂමතාවය තිබෙනවා. අපි රූපවාහිනිය දකින්නේ ඒ දුෂ්තරතාවලින් ඉතා අවම ප්‍රමාණයක් විතරයි. ජංගම දුරකතන නැති, ජංගම දුරකතන තිබුණත් ඩේටා සපයාගන්න මුදල් නැති දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එක පවුලේ දරුවෝ තුන් හරත දෙනා ඉන්නකොට කොහොමවත් අවශ්‍යතාවය පිරිමහන්න බැහැ. එක දුරකතනය හතර පස් දෙනාට බෙදාගන්න බැහැ. අනික් පැත්තෙන් අම්මයි, තාත්තයි දෙන්නම ගුරුවරුන් වුණොත් ඔන්ලයින් ක්‍රමය යටතේ උගන්වන්න ඒ දෙන්නටම දුරකතන ඕනෑ වගේම තමන්ගේ දරුවන්ටත් දුරකතන අරන් දෙන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අන්තිම අසාර්ථක වගේම බරපතළ අසමානතාවයක් නිර්මාණය කෙරෙනවා. මුදල් හැකියාව තියෙන, ඉතා සීමිත පිරිසකට පමණක් ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්න පුළුවන්. සාතිශය බහුතරයකට මේ හැකියාව නැහැ. නමුත් ආණ්ඩුව ඒ කෙරෙහි කිසිම අවධානයක් යොමුකර නැහැ. විශ්වවිද්‍යාලවල තත්වයත් ඒ වගේමයි. ශිෂ්‍යයන් 160,000ක් විතර, ආචාර්යවරු 6,200ක් විතර වගේම 15,000ක විතර සේවක මණ්ඩලයක් ඉන්නවා. එ අනුව විශ්වවිද්‍යාල පද්ධතියේම ඉන්නේ 181,000ක් විතර. ඔවුන් සඳහා එන්නත් ලබාදෙන්න ආණ්ඩුව කියන මේ මිල ගණන්වලට ගත්තත් දෙවරක් එන්නත ලබාදෙන්න රු. කෝටි 80යි යන්නේ. එන්නත ලබාදීලා විශ්වවිද්‍යාල පටන් ගන්න පුළුවන්. නමුත් ඒ වෙනුවෙන් සාකච්ඡාවක්වත් නැහැ.
නමුත් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වන්න තියෙන්නේ පුදුම හදිසියක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එන්නත් ලබා දෙන්න රු. කෝටි 80ක් වියදම් කරන්න බැරි ආණ්ඩුව මන්ත්‍රීවරුන්ගේ වාහන වෙනුවෙන් රු. කෝටි 360ක් වියදම් කරනවා. කොරෝනා වංසගතය වර්ධනය වෙමින් යද්දී අධ්‍යාපනය මුළුමනින්ම කඩා වැටෙන්න ඉඩ හැරලා තියෙනවා. අපි දේශපාලන පක්‍ෂයක් හැටියට වගේම මේ රටේ විද්වතුන්, වෘත්තිකයන් දිගටම ආණ්ඩුවට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයේ අසාර්ථක සහ අසමානතාවය පෙන්වා දී තිබෙනවා. හෙට දවසේ මානසික ව්‍යාධියෙන් පෙළෙන දරුවන් බිහිවෙන්න පුලුවන් කියන අනතුර පෙන්වා දී තිබෙනවා. වහාම ආණ්ඩුව මැදිහත්වී ආණ්ඩුවේ රූපවාහිනී නාලිකාවලට, අවශ්‍ය නම් පෞද්ගලික නාලිකාත් එකතු කරගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න විධිමත් ක්‍රමයක් හදන්න අපි බල කළා. නමුත් අද වෙනකං නැහැ. සරළ උත්තරයක් වුණත් ආණ්ඩුව ඒක කරන්නේ නැහැ.
ගාමන්ට් ෆැක්ටරිවලට දෙන ප්‍රමුඛතාවය විශ්වවිද්‍යාල විවෘත කරන්න දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාල කියන්නේ මේ රටේ අනාගතය නිර්මාණය කරන තැනක්. නමුත් බොහෝ විශ්වවිද්‍යාල කොරෝනා නිරෝධායන මධ්‍යස්ථා බවට පත්කරලා. රටේ අධ්‍යාපනය ප්‍රමුඛතම විෂය සේ සලකන්නේ නැති ආණ්ඩුව පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කරන්න නම් ප්‍රමුඛතාවය දීලා ක්‍රියා කරනවා.
මේ වෙනකොට ආණ්ඩුව මැදිහත් වෙලා මුදලට උපාධි විකුණන ආයතන සඳහා ප්‍රමුඛතාවය ලබාදී තිබෙනවා. 2007 අවුරුද්දෙදි කොතලාවල ආරක්‍ෂක පීඨය විශ්වවිද්‍යාලයක් කිරීමේ අණපනත් ගෙනාවා. ඊට පස්සේ 2018දී එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව තව ඉදිරියට ගෙනියන්න පිඹුරුපත් සකස් කළා. ඒ වෙලාවේ මතුවූ විරෝධය නිසා හකුළා ගත්තා. මේ ආණ්ඩුව බලයට ආවේ ඒ හානිදායක දේවල් වෙනස් කරන්න. රාජපක්‍ෂ පාලනයෙන් පටන් ගත්ත සයිටම් හොර උපාධි කඩය ගිය ආණ්ඩුවෙනුත් ශක්තිමත් කරන්න උත්සාහ කළා. නමුත් ශිෂ්‍යයෝ, දෙමාපියන්, ආචාර්යවරුන් හා විද්වතුන් මැදිහත් වෙලා ඒ හොර උපාධි කඩය වහන තත්වයට ගෙනාවා. මේ ආණ්ඩුව නැවත ඒ තත්වය ඇතිකරන්න පසුගිය මාර්තු 26වැනිදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනත් තිබෙනවා.
කොරෝනා නිසා විශ්වවිද්‍යාල ටික වහලා, ඉස්කෝල වහලා පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න පනතක් ගෙනත් තිබෙනවා. ජූනි 22වැනිදා මේ පනත ආරක්‍ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළා. මේ පනත ගේන්නෙම අධ්‍යාපන අමාත්‍යාංශය දන්නෙත් නැතිව ආරක්‍ෂක අමාත්‍යාංශයෙන්.
මේ පනතට අනුව 1981 මුලින්ම ආරම්භ කරද්දී ත්‍රිවිධ හමුදාවල සේවයේ නියුතු කැඩෙට් නිලධාරීන්ට උපාධි ලබාදෙන්න පිහිටවූවේ. නමුත් අද වෙනකොට මුදලට උපාධි ලබාදෙන ආයනතයක් දක්වා ගේන්න පිඹුරුපත් සකස් කරලා. මේ පනතෙන් සාමාන්‍ය විශ්ව විද්‍යාලවලට එහා ගිය මිලිටරි මැදිහත්වීමකින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සූදානම් වෙනවා. “ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සහ රාජ්‍ය සේවයේ සේවය කිරීමට අපේක්‍ෂා කරන තැනැත්තන්ට සහ වෙනත් තැනැත්තන්ට ශාස්ත්‍රීය සහ වෘත්තීය පුහුණුව ලබාදීමේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම.” කියන අරමුණ දක්වලා තියෙනවා. මේකේ වෙනත් තැනැත්තන් කියන වචන දෙකෙන් ඕනෑම කෙනෙකුට සල්ලිවලට උපාධි ලබාගන්න අවස්ථාව විවෘත කරනවා. පෙනුමෙන් ආරක්‍ෂක අංශවලට උපාධි ලබාදෙන බව හඟවා හරයෙන් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එන ජනතා විරෝධය මගහැර ගන්න උපක්‍රමයක් යොදා තිබෙනවා.
මේ විශ්වවිද්‍යාලය පාලනය කරන්නේ නව දෙනෙකුගෙන් යුක්ත මණ්ඩලයකින්. මේ මණ්ඩලයේ ප්‍රධානියා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්. ඉතිරි සාමාජිකයින් යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, ආරක්‍ෂක අංශයට සම්බන්ධ මේ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයෙක් වගේම භාණ්ඩාගාරයේ නියෝජිතයෙක් ඉන්නවා. මණ්ඩලයේ 9 දෙනාගෙන් 07 දෙනෙක්ම මිලිටරි අංශයට සම්බන්ධ අය.
විශ්වවිද්‍යාලයක තිබිය යුතු නිදහස මෙතන පවතින්නේ නැහැ. ඒ වගේම මුදලට අධ්‍යාපනය ලබාදීමේ පාර මේකෙන් විවෘත කර ගන්නවා. විශ්වවිද්‍යාලයට බඳවා ගැනීමේ නිර්ණායක කලින් කලට තීරණය කිරීමේ බලය මේ මණ්ඩලයට ලබා දෙනවා. සම්මුඛ පරීක්‍ෂණ තියලයි ඔවුන් බඳවා ගන්නේ. විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා සාමාන්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගන්න පටිපාටියට එහා ගිය ක්‍රමයක් අනුගමනය කරනවා.
ඩිප්ලෝමා, උපාධි, ආචාර්ය උපාධි සහ මාහාචාර්ය උපාධි ලබාදීම පිළිබඳ සියලු තීරණ ගැනීමේ බලය මේ මණ්ඩලයට හිමිවෙනවා. මහාචාර්ය උපාධි ලබාදීමේ බලයත් මිලිටරිමය මණ්ඩලයකට පැවරෙනවා. මෙය ඉතාම භයානක තත්වයක්. මුදල් අය කරලා පටන් ගන්න විශ්වවිද්‍යාල ආයතන මේ මාර්ගයේ යමින් ඕනෑම තැනක පිහිටුවන්නත් පුළුවන්. වෛද්‍ය උපාධි ලබාදීම වෙනුවෙනුත් පිහිටුවන්න පුළුවන්. මේ ලබාදෙන වෛද්‍ය උපාධිය ඇතුළු උපාධිවල ගුණාත්මකභාවය අවසන් වශයෙන් තීරණය කරන්නේ මිලිටරි පාලක මණ්ඩලය.
වෛද්‍ය සභාව සහ ඉංජිනේරු ආයතනය වගේම වෙනත් ක්‍ෂේත්‍ර සඳහා තිබෙන වෘත්තීයමය ආයතනවල අනුමැතියක් අවශ්‍ය වෙන්නේ නැහැ. අද අපේ රටේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධිය ලබාදීමේදී අවසානයේදී ප්‍රමිතිය තිබෙන බවට සහතිකය නිකුත් කරන්නේ වෛද්‍ය සභාවෙන්. නමුත් මෙහිදී වෛද්‍ය සභාවත් ඉංජිනේරු ආයතනයත් නොසළකා හැරෙනවා. මෙය ඉතාම බරපතල තත්වයක්.
රටේ අධ්‍යාපනය තුළ බරපතල ගැටලු මතුවෙලා තිබියදී හොර පාරෙන් පුද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට පනතක් මේ ගෙනත් තිබෙන්නේ. ජනතාවට කියන්නේ ආරක්‍ෂක අංශවල අයට උපාධි ලබාදෙන බව. නමුත් ඊට මුවාවෙලා වෙනත් ඕනෑම තැනැත්තෙකුට මුදල් මත ඩිප්ලෝමා සහ උපාධි ලබාදෙන පෞද්ගලික කඩයක් විවෘත කරන්න පනතක් ගෙනත් තිබෙන්නේ. එතැනින් නතර නොවී මිලිටරිමය බලයක් සහිත මණ්ඩලයකට පාලනය පවරලා තවත් වැරැද්දක් කරනවා. මේ රටේ සාමාන්‍ය විශ්වවිද්‍යාලවලින් බිහිවන ආචාර්ය, මහාචාර්යවරුන්ගේ වෘත්තීයමය නිපුනතාවය සහ ගරුත්වය පිළිබඳ තීරණ ගැනීමේ බලයත් මේ මණ්ඩලයට පවරා තිබෙනවා.
ආචාර්ය හෝ මහාචාර්ය තනතුරුවලින් ඉවත් කිරීමත් මේ මණ්ඩලයට ලබා දෙනවා. මේ මණ්ඩලයේ ඉන්න අයගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ඒ විදිහට සලකා බැලීමක් නැහැ. එවැනි අයට මහාචාර්ය ධුරයක් පවා ඉවත් කිරීමේ බලය ලබාදී තිබෙනවා. මේ දක්වා අපේ රටේ අධ්‍යාපනයේ යම් පමණකින් හෝ ආරක්‍ෂා කරගෙන තිබෙන ගුණාත්මක තත්වයන් වළ පල්ලට හෙළනවා.
ඒ නිසා කොරෝනා වසංගතයට මුවා වෙලා මේ රටේ පෞද්ගලික අධ්‍යාපන කඩවලට ඉඩ සලසන කොතලාවල ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලය කියන මිලිටරිමය මණ්ඩලයකින් සල්ලිවලට උපාධි ලබාදෙන ක්‍රමය වහාම නතර කරන්න. මේ පනත මගින් සල්ලිවලට උපාධි ලබාදීමේ ක්‍රමය විවෘත කිරීමත් වහාම නතර කරන්න කියලා අපි බල කරනවා. පුද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි වන බව කියමින් බලයට පත්වූ ආණ්ඩුව ගෙනයන මේ ක්‍රියාමාර්ග හෙළා දකිනවා. රාජ්‍ය විශ්වවිද්‍යාල සහ පාසැල් වසා දමා තිබියදී හොර පාරෙන් තකහනියේ මේ පනත ගෙනල්ලා පුද්ගලික අධ්‍යාපන කඩ විවෘත කරන්න දරන උත්සාහය වහාම නතර කරන්න අපි ආණ්ඩුවට බල කරනවා. මේ පනත හකුළා ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.