සමාජ මාධ්‍ය ජාල ආණ්ඩුවේ අත්අඩංගුවෙන් මුදනු..!

(සුමුදු පෙරේරා) අන්තර් ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ “අත්අඩංගුවෙන්” මුදා හැරීමට පියවර ගන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා…
(සුමුදු පෙරේරා)
අන්තර් ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ “අත්අඩංගුවෙන්” මුදා හැරීමට පියවර ගන්න යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මුදල් සහ ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
ජනතාවගේ පුළුල් ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජන මාධ්‍ය මර්දනයකට උත්සහ කිරීමෙන් වැළකී සිටින ලෙස ද එම ලිපිය මගින් දැනුම් දී තිබේ.
දැන්වීම
වජිත් හේරත් මහතා මංගල සමරවීර මහතා වෙත යවා අති ලිපියේ මෙසේ ද සඳහන් වේ.
පසුගිය දිනවල මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර ගත කර ගනිමින් ඇවිලී ගිය ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ආශ්රිත සිදුවීම් සමාජ ජාලයන් මගින් ව්‍යාප්ත වීමේ ඉඩ ඇති බව පවසමින් ආණ්ඩුව විසින් එම ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වැනි සමාජ මාධ්‍ය වෙත තිබූ ප්‍රවේශය අවහිර කිරීමට පියවර ගන්නා ලදී.
එහෙත් එම නිශ්චිත මෙහොතේ ගන්නා ලද සමාජ ජාල තහනම පිළිබඳ තීරණය මේ දක්වා ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් එම මාධ්‍ය ප්‍රයෝජනයට ගනිමින් පොදු සන්නිවේදන කටයුතුවල යෙදෙන සහ වෘත්තීමය කටයුතුවලදී භාවිත කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්ව සිටිති. වඩා බරපතළ කරුණ වනුයේ, මෙම තහනම දිග්ගැස්සීම මගින් ආණ්ඩුව තොරතුරු දැනගැනීමේ අයිතිය, අදහස් ප්රකාශනයේ අයිතිය වැනි ජනතාවගේ ප්රජාතාන්ත්රීය අයිතිවාසිකම් සීමා කිරීමට කූඨ ලෙස උත්සාහ දරමින් සිටින්නේද යන්නය.
සැබැවින්ම ආණ්ඩුව කළ යුතුව තිබුණේ ජාතිවාදය හා ආගම්වාදය වපුරන, වෛරී ප්රකාශනයකට ඉඩ නොතබන ලෙසට පූර්වයෙන් පියවර ගැනීමය; ඊට අදාළ නීතිය උපරිම ලෙස ක්රියාවේ යෙදවීමය. ක්‍රමයෙන් නිදැල්ලේ වැඞීමට ඉඩ හළ මෙම ප්රවණතාවයන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වෙද්දීද ආණ්ඩුව ඒ පිළිබඳව ක්‍රියාත්මක වූයේ නැත. එහෙත් එසේ වැඩුණු ජාතිවාදී ආගම්වාදී අදහස් මානව ක්‍රියාකාරිත්වයක් බවට පත්ව ලේ, ගිනිදළු ලෙසින් කඩා වැදිය හැකි බවත් එහි බරපතළකමත් ආණ්ඩුව දැන සිටිය යුතුව තිබිණි. තිස් වසකට වැඩි ජාතිවාදී යුදමය තත්වයකින් බැට කෑ සමාජ අත්දැකීමට පසුවත් මෙම අවදානම තේරුම් ගැනීමට ආණ්ඩුව අසමත්ද යන්න අපි නොදනිමු.
එහෙත් සැබැවින්ම දැන් ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ, පසුගිය දිනවල අවාසනාවන්ත ලෙස දිග හැරුණු මෙම සිදුවීම්වල පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම වැනි කටයුත්තකි. එවැනි තත්වයක් තුළ දැන් මෙම සමාජ මාධ්‍ය තහනම නඩත්තු කිරීම රටට ප්‍රදර්ශනය වනු ඇත්තේ, “ගෙදර ඇති මුව හමට තඩි බෑමකට” වැඩි දෙයක් ලෙස නොවේ.
විදෙස් ගත විශාල ශ්‍රමික පිරිසක් අඩු වියදමින් තමන්ගේ නිවස සමග සන්නිවේදනය කර ගන්නා මාර්ගය වන්නාවූද සංචාරක කර්මාන්තය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්රය, දැන්වීම් හා පාරිභෝගික සේවා ආදී ආර්ථික කටයුතුවලට අත්යාවශ්යවූද සමාජ ජාල අද වන විට පුළුල් ලෙස ජන ජීවිතය හා බැඳී තිබෙන්නකි. එය හුදු ජාතිවාදී හා ආගම්වාදී වෛරී ප්‍රකාශන සිදු කරන අතළොස්සක් දෙනාගේ ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් ජනතාවගෙන් බැහැර කර තැබිය යුත්තක් නොවේ.
එබැවින් කඩිනමින් අදාළ පියවර ගෙන අන්තර්ජාල සමාජ මාධ්‍ය කඩිනමින් ආණ්ඩුවේ “අත්අඩංගුවෙන්” මුදා හැරීමට පියවර ගන්නා මෙන් දැඩිව ඉල්ලා සිටින අතර ජනතාවගේ පුළුල් ප්රජාතන්ත්රීය අයිතිවාසිකම් උල්ලංඝනය කරන මාධ්‍ය මර්දනයකට මෙමගින් උත්සාහ නොකරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමි.