අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සම්මා සතියෙන් යුතුව සියලු දෙනා එකට එක් විය යුතුයි

සම්මා සතියෙන් යුතුව සියලු දෙනා එකට එක් විය යුතුයි

වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ රටේ සහ නූපන් පරපුරේ අනාගතය ගැන සිතනු රට-ජනතාව මුහුණ දී සිටින උග්‍ර අර්බුදය සහ අභියෝගය ජය ගත හැක්කේ වෛරය අත හැර සියලු පාර්ශවයන් අවෛරයෙන් යුතු සම්මා සතියෙන් ක්‍රියා කරමින්…

වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ 

රටේ සහ නූපන් පරපුරේ අනාගතය ගැන සිතනු 

සම්මා සතියෙන් යුතුව සියලු දෙනා එකට එක් විය යුතුයි

රට-ජනතාව මුහුණ දී සිටින උග්‍ර අර්බුදය සහ අභියෝගය ජය ගත හැක්කේ වෛරය අත හැර සියලු පාර්ශවයන් අවෛරයෙන් යුතු සම්මා සතියෙන් ක්‍රියා කරමින් එකට එකතු වුව හොත් පමණක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.  

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, "යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සහ ජාතික-ආගමික සංහිඳියාව සඳහා වන එකමුතුව මගින් සංවිධානය කෙරුණු ගාලු දිස්ත්‍රික් සමුළුවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය. 

දැන්වීම

අති ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් විසින් මෙම ජාතික ව්‍යාපාරය 2013 වර්ෂයේ බිහි කළේ එවකට  පැවැති පාලනය විසින් ප්‍රජාතන්ත්‍රවාදය දැඩි පීඩනයකට ලක් කරනු ලැබූ අවස්ථාවක සහ රට ඒකාධිපතිවාදය කරා සීඝ්‍රයෙන් යමින් තිබුණ අවස්ථාවකයි.

උන්වහන්සේ දැඩිව විශ්වාස කළේ විධායක ජනාධිපති පදවියෙන් මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි වන බවයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය බිහි වුණේ ජාති ආගම් භේදයෙන් තොර යුක්ති ගරුක සහ නීති ගරුක සාධාරණය රජයන මිනිස් සමාජයක් බිහි කිරීමේ උදාර පරමාර්ථයෙන් බව කිව යුතුයි.

මෙම සම්මන්ත්‍රණය අප පවත්වන්නේ ඒ උතුම් දැක්ම ඉදිරියට ගෙන යාමටයි. අප ස්වාධීන ආයතනයක්. අප අතර කිසිම දේශපාලන ගැති කමක් නැහැ. රාජ්‍ය පාලනයේ හොඳ ක්‍රියාදාමයන් අගය කරන අතර වැරදි සිදු වන විට ඊට විරුද්ධව දැඩිව අප පෙනී සිටිනවා. අපට රට ගැන හැඟීමක් තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය රජයන සමාජයක ජීවත් වී අපේ ඇට කටු මෙහිදී මිහිදන් කිරීම අපගේ පැතුමයි.

20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් මේ රටේ පැවති ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම විනාශ වුණා. එම පනත ඉදිරිපත් කළ පසු දින සිටම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් දැඩි විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියා. 2/3 බලයත්, 20 වැනි සංශෝධනයෙන් ලත් අසීමිත බලතලවලිනුත් තනි පුද්ගලයකුට මිලියන විසි දෙකක ජනතාවගේ ඉරණම පැවරුණා. ඒ හේතුවෙන් ඇති ඇති වූ ප්‍රතිඵලය මම විස්තර කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. 

අපි එදා සිට 19 වන සංශෝධනය බලාත්මක කරන ලෙස විශාල හඬක් නැගුවා. 2015 එම සංශෝධනය ගෙන ඒමෙන් ශිලාචාර රටක් ලෙස ලෝක ප්‍රජාවගේ ගෞරවයට ශ්‍රී ලංකාව පාත්‍ර වුණා. රාජ්‍යකරණයට දේශපාලන බලපෑම් නැති වුණා. රාජ්‍ය නිලධාරීන්ට තම ආත්ම ගෞරවය රැක ගෙන සේවය කිරීමේ අවස්ථාව ලැබුණා. රටේ පිරිහීම, ආර්ථිකයේ පිරිහීම, දූෂණය ඉහවහා යෑම සහ නීතියේ බිඳ වැටීම සේම එක රටක නීති දෙකක් ඇති වූයේත් 20 වැනි සංශෝධනය හරහා ලබා දුන් අසීමිත බලතල නිසයි. රටේ බහුතර  ජනතාව 20 වැනි සංශෝධනය පිළි ගන්නේ නැහැ.

අපට සැනසීමක් ලබා දෙමින් 19 වැනි සංශෝධනය බලාත්මක කිරීමට රජය තීරණයක් ගත් බවත්, එම තීරණය ඉදිරි සති කිහිපය ඇතුළත ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත්, ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා සහ ගරු අධිකරණ ඇමතිතුමා  සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය වෙත දන්වා තිබෙනවා. මුල සිටම මේ වෙනුවෙන් හඬක් නැගූ අප ව්‍යාපාරය මේ ආරංචිය තුළින් අසීමිත මානසික තෘප්තියක් ලබා ගන්නවා.

නිදහස ලබා ගත් දා සිට ගත වූ කාලය දෙස ආපසු හැරී බැලීමට අපට කාලය ඇවිල්ලා තියෙනවා. එදා ආසියාවේ සමෘද්ධිමත්ව තිබූ රටක්, ලෝකයේම දිළිඳු රටක් බවට පත්වීමට හේතු වූ සාධක පිළිබඳව සියලු දෙන සිය හෘදය සාක්ෂියෙන් විමසිය යුතුයි. 
අප රටේ ඇතිවූ ජාතික, ආගමික සහ දේශපාලන ගැටුම් සේම දේශපාලන බලය ලබා ගැනීමට සහ රැක ගැනීමට ඇතැම් පාර්ශව ගත් අයුතු ක්‍රියාමාර්ග සේම රාජ්‍ය යාන්ත්‍රනය මුළුමනින්ම දේශපාලනීකරණයට ලක් කිරීම නිසා මේ රට  අද පවතින අසරණ තත්ත්වයට පත්ව තිබෙනවා. එහදි මේ රටේ ජාතික සම්පත් කොල්ල කෑම නිසා රටට අත්කර දී ඇති විනාශය ද අප කිසිසේත්ම අමතක කළ යුතු නැහැ.

රට විනාශ වී ඇති මෙම අවාසනාවන්ත අවස්ථාවේ අප අතර ඇති විවිධ භේද අතහැර අත්වැල් බැඳ ගන්න පුළුවන් නම් රට බේරා ගැනීමට හැකි බව අපගේ බලවත් විශ්වාසයයි. පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ඒ සමගිය අපි තවමත් දකින්නේ නැහැ. අපි මෙම අවස්ථාවේ දී රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාට ආයාචනය කර සිටින්නේ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පාර්ලිමේන්තුවෙන් විසඳුමක් සොයා ගන්නා ලෙසයි.

අප මේ අර්බුදයට විසඳුමක් ලෙස යෝජනා කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ගනිමින් සීමිත කාලයකට අදාළව නිශ්චිත සහ පැහැදිලි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අවසන් කිරීම සඳහා මූලික පදනම එම පාලනය මගින් ස්ථාපිත කළ යුතුව ඇති බවයි. ඒ වගේම නිශ්චිත කාලයක දී සිදු කරන එම වගකීම් සම්පූර්ණ කිරීමෙන් පසු මහ මැතිවරණයක් පවත්වා ජනතාවට කැමති පාලනයක් ඇති කර ගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවයි. මේ  සියලු දේශපාලන ප්‍රතිසංස්කරණ මගින් අප වඩාත්ම විශ්වාස කරන්නේ පොදු සම්මුතියකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන පාර්ලිමේන්තු ක්‍රමය තව දුරටත් ශක්තිමත් කළ යුතු බවයි. 

එහිදී ආංශික අධීක්ෂණ කාරක සභා හරහා සෑම මහජන නියෝජිතයකුටම රාජ්‍යකරණයේ කොටස්කරුවන් වන්නට පුළුවන්කම ලැබෙනවා. ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ ද, ආණ්ඩු පක්ෂ-විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද ඉල්ලීම පරිදි අප ව්‍යාපාරයේ දැනුම සහ  අත්දැකීම් ලබා දෙමින් ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තුව ඒකමතිකව අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ මේ සඳහා එකඟ වීම සුබ ලකුණක් වශයෙන් දකිනවා. රාජපක්ෂ පාලනය විසින් අධීක්ෂණ කාරක සභා ක්‍රමය අහෝසි කළා.

අප සන්සුන් විය යුතු කාලය මේ වන විට උදාවී තිබෙනවා. පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ ද ඒ සමගිය ඇති විය යුතුයි. අරගලය ආරම්භ කළ තරුණ කැළට අවශ්‍ය වූයේ මෙරට යුක්තිය, සාධාරණය රජයන සමාජයක් බිහි කිරීමටයි. කිසිම දේශපාලන පක්ෂයකට හෝ සිවිල් සමාජයට නොහැකි වූ අසාධාරණ පාලනයක් නැති කිරීමට ඉතා බුද්ධිමත් විනය ගරුක තරුණ කණ්ඩායමක් මේ සඳහා මූලික වුණා. ඔවුන් අතර තිබුණේ සාධාරණ ඉල්ලීම්. නමුත් අවසාන කාලයේ නුසුදුසු පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් මෙම ව්‍යාපාරය අවුල් කළා. ප්‍රචණ්ඩත්වය ඇති කළා.මහජන නියෝජිතයින් ඝාතනය කිරීම සහ හිරිහැර කිරීම, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයින්ගේ නිවාස ගිනි තැබීම, ජීවිත හානි කිරීම වැනි දේවල් අපට අනුමත කරන්නට බැහැ. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ජනතාව අනුමත කරන්නේ නැහැ. අරගලයට සම්බන්ධ වූ බුද්ධිමත්, විනය ගරුක බොහෝ කණ්ඩායම් සමඟ අප සුහදව කටයුතු කළා.

රට ඉදිරියට ගෙන යෑමට නම්, අපට අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය අවශ්‍ය වනවා. ඒ සහය උපයා ගැනීමට රජය ක්‍රියා කළ යුතුයි. මෙහිදී ශ්‍රී ලංකා පොලිසියට ද විශාල වගකීමක් පැවරී තිබෙනවා. ජනතාව සමඟ ඇසුරු කිරීමේදී ප්‍රචණ්ඩත්වයේ නාමයෙන් අහිංසක තරුණයින්ට හිරිහැර කළ අවස්ථා අපට වාර්තා වී තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයට හදිසි නීතිය යටතේ ඇතුළු වීම ද අපට අනුමත කළ නොහැකියි. මේ සිදුවීම් නිසා අන්තර්ජාතිකව රජයේ කීර්ති නාමයට විශාල වශයෙන් හානි වන බව නිලධාරීන් වටහා ගත යුතුයි. ජනතා විරෝධය ද රජයට විරුද්ධව මතු වීමට ඉඩ තිබෙනවා.

එහෙයින් අපගේ ආයාචනය වනුයේ රටේ සාමකාමී පරිසරයක් ඇති කිරීමයි. එකිනෙකාට වෛර කරමින් අන්තවාදීව ක්‍රියා නොකරන ලෙස සියලු ජන කොටස්වලින් අප ඉල්ලා සිටිනවා. මෙහිදී අප ආදර්ශයට ගත යුතු බුද්ධ වචනයක් සිහිපත් වෙනවා. ඒ "නහී වේරේන වේරාණී" යන ගාථා පාඨයයි. 

මේ වටිනා මඟ පෙන්වීම දේශපාලනීක වශයෙන්ද ලෝකයට ඉදිරිපත් කෙරුණා. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය පිළිබඳව තීරණයක් ගැනීම සඳහා ලෝක නායකයන් එක්රැස් වූ සැන්ෆ්‍රැන්සිස්කෝ සමුළුවේදීයි. ජේ ආර් ජයවර්ධන මැතිතුමා ඒ සමුළුවේදී අදහස් දක්වමින් බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මත  ලෝකයට කළ ඒකී ආයාචනය එදා මුළු ලෝකයම ඉහළින්ම පිළි ගත්තා. ඒ ආදර්ශය අකුරටම පිළිපැදිය යුත්තේ අපයි.

ඒ අනුව රටේ දේශපාලනයට සම්බන්ධ සෑම පාර්ශ්වයක් වෙතින්ම අප ඉල්ලා සිටින්නේ වෛරයෙන් තොරව අවෛරය මුල් කර ගෙන රට ගැන පමණක් කල්පනාවට ගන්නා ලෙසය. ඒ අනුව යමින් එක්සත් වන ලෙසයි. අද අප මුහුණ දෙමින් සිටින දැවැන්ත අර්බුදය ජය ගැනීමට නම් අප අතර පවතින බෙදීම්වලට රට වෙනුවෙන් තිත තැබිය යුතුයි. මේ අභියෝගය ජය ගත හැක්කේ එක්සත් වීමෙන් පමණයි. ඒ ආකාරයටය එක්සත් වන්නට නම් අප සියලු දෙනා අතර පවතින සැකය සහ තරහ බැහැර කළ යුතු වෙනවා. සම්මා සතියෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. අපගේ මාතෘ භූමියේ නාමයෙන් මේ රටේ අනාගත පරපුරේ නාමයෙන් රට කර වන සෑම පාර්ශවයක්ම ඒ ගැන අවධානය යොමු කරනු ඇතැයි අප අපේක්ෂා කරනවා.

සම්මා සතියෙන් යුතුව සියලු දෙනා එකට එක් විය යුතුයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
සම්මා සතියෙන් යුතුව සියලු දෙනා එකට එක් විය යුතුයි | Lanka Newsweek