අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජිත් සහ සාගල අතර හමුවක්

සජිත් සහ සාගල අතර හමුවක්

විපක්ෂ නායකගේ දේශපාලන සතිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙවී යන සතියේ වැඩි අවධානයක් යොමු කළේ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ රෝහල් පද්ධතියට අවශ්‍ය ශක්තිය ලබාදෙන ‘හුස්ම’ වැඩසටහනටය. ජලගැලීම් හේතුවෙන්…

විපක්ෂ නායකගේ දේශපාලන සතිය 

සජිත් සහ සාගල අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගෙවී යන සතියේ වැඩි අවධානයක් යොමු කළේ ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ රෝහල් පද්ධතියට අවශ්‍ය ශක්තිය ලබාදෙන ‘හුස්ම’ වැඩසටහනටය.

ජලගැලීම් හේතුවෙන් විවිධ බලපෑම් එල්ලවූ රෝහල් හඳුනා ගනිමින්, එම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෘජුවම කතා කළ සජිත්, එම රෝහල්වලට මේ මොහොතේ අත්‍යාවශයම සෞඛ්‍ය උපකරණ ලබාදීමට පියවර ගනිමින් සිටින්නේ, මෙතෙක් බිහිවූ කිසිදු විපක්ෂ නායකවරයකු සිදු නොකළ කටයුත්තකට මුලපුරමින්ය.

දැන්වීම

ඒ අනුව මේ වනවිට හලාවත, මාරවිල, ගම්පොල සහ දඹදෙණිය රෝහල්වලට හුස්ම වැඩසටහන හරහා සජිත් උදව් කර අවසන්ය. දඹදෙණිය මූලික රෝහලට සෞඛ්‍ය උපකරණ දෙන්නට ගිය සජිත් හමුවන්නට අමුත්තකුද පැමිණ සිටියේ රෝහල් කාර්ය මණ්ඩලයද පුදුමයට පත් කරවමින්ය. ඒ අන් කවරකුත් නොව, ජනප්‍රිය උපකාරක පංති ගුරුවරයකු වන දිනේෂ් මුතුගලය. ඔහු එලෙස පැමිණිමේ රහස හෙළි කළේ සජිත්මය.

“මම Social media එකේ දැක්කා පහුගිය දවසක මෙතුමා කොත්මලේ පැත්තට චොපර් එකකින් ගිහින් ආපදාවට ලක්වෙච්ච ජනතාවට ආධාර කරනවා. ඒ වගේ ස්වෙච්චාවෙන් උදව් කරන අයව අගය කරන්න ඕන නිසා මම එතුමට කෝල් එකක් අරන් ස්තුති කළා. ඒ වෙලාවේ මම කිව්වා මමත් දඹදෙණියට එනවා රෝහලට උදව්වක් කරන්න කියලා.එතුමා කිව්වා මමත් එන්නම් කියලා. ඔන්න රහස.”

එහෙම කියපු සජිත් හැමෝම සිනහ ගස්වමින් මෙහෙමත් කතාවකුත් කීවේය. “මම මේක කිව්වේ නැත්නම් මෙතුමටත් මඩක් ගහවි, අන්න මුතුගලත් සජිත්ගේ පස්සෙන් ගිහින් කියලා. එතුමට ටියුෂන් නවත්තලා ඒකට උත්තර දෙන්න වේවි ඊට පස්සේ” සජිත් හුස්ම අරන් ගම්පොල මූලික රෝහලට ගියේ, ලක්ෂ 29 වටිනා Patient Monitor 5ක් සහ Syringe Pump 2ක් ලබා දෙන්නටය. එහිදී සජිත් තමන් විසින් කියවපු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ අධ්‍යන වාර්තාවක් ගැන වෛද්‍යවරුන්ට කරුණු පැහැදිලි කළේය.

“මම කියෙව්වා වාර්තාවක්, ඒක ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය අවුරුදු 19 ක් පුරා සිදුකරපු අධ්‍යනයක්. එයාලා 2000 අවුරුද්දේ ඉඳන් 2019 වෙනකම් රටවල් 19ක් පුරා සිදුවෙච්ච සුළි කුණාටු 217ක් ගැන අධ්‍යනය කරලා. ඒකෙදී මරණ ලක්ෂ 150කට හේතුවූ කාරණා පරීක්ෂා කරලා, ඒ අධ්‍යනයේ එයාලගේ අවසන් නිගමනය තමයි, ඒ මරණවලින් බහුතරයක් අපදා තත්ත්වයෙන් පස්සේ ඇතිවෙච්ච සෞඛ්‍ය ගැටළු නිසා සිදුවෙලා කියන කාරණය. ඒකත් පළමු මාස 4 තුළ තමයි සිදුවෙලා තියෙනවා කියලා කියන්නේ. ඉතිං ඇත්තටම අපිත් ප්‍රධාන වශයෙන් රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීම කළ යුතුමයි. මම අපේ මන්ත්‍රීවරුන්ටත් මේක කිව්වා. සමහරු අහනවනේ ඇයි මේ වෙලාවේ රෝහල්වලට උදව් කරන්නේ කියලා. ඔන්න ඕක තමයි හේතුව”

සජිත් මෙහෙම කියද්දී චමින්ද්‍රානි කිරිඇල්ල මන්ත්‍රීවරිය අසල සිටි මහනුවර ප්‍රභලයෙක් කියා තිබුනේ, “ලොක්ක ඉතිං හොඳ වැඩ තමයි කරන්නේ, ඒත් ඒවට එළියෙන් කරන්නේ මඩගහන එකමනේ. කැම්පේන් කරන්න තියෙන සල්ලි එදත් වියදම් කළා, අදත් ඒකම කරනවා, දැන් මාලිමාවේ එකවුන්ට් එකේ අච්චර ලොකු සල්ලියක් තිබිලත් එක රුපියලක් වියදම් කරනවද ඔයවගේ ආපදාවට පිහිට වෙන්න කියලා. අපේ ලොක්ක හොඳ වැඩීයි. අපේ රටේ මිනිස්සුන්ට හොඳක් මතක නෑ, මතක හිටින්නේ මඩක් විතරයි”

දිට්ටා ගැන හොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් 

දිට්වා සුළිකුණාටුවට මුහුණ දෙන්නට පූර්ව සූදානමක් නොමැතිවීම ගැන පූර්ණ අධ්‍යනයක් කරන්නට පාර්ලිමේන්තු විශේෂ කාරකසභාවක් ඉල්ලා සජිත් ප්‍රමුඛ විපක්ෂයේ සියළුදෙනාගේ කැමැත්තෙන් ලිඛිත ඉල්ලීමක් කථානායක ජගත් වික්‍රමරත්නට භාරදීම බ්‍රහස්පතින්දා සිදුවිය.

සජිත් මේ යෝජනාව කරන්න භාරදුන්නේ, මහනුවර මන්ත්‍රී අනුරාධ ජයරත්නටය, සුළි කුණාටුව සමග ඇතිවූ ආපදා තත්ත්වයට මුහුණදෙන්න පූර්ව සූදානමක් තිබුණේ නම්, සිදුවූ ජීවිත හානිය අඩු කර ගැනීමට තිබූ බවත්, ජනතාව දැනුවත් කර තිබුනේ නම් යම් ප්‍රමාණයකින් දේපලපවා රැක ගන්නට තිබූ බවත් එම යෝජනාවේ දක්වා තිබුණේය.

එම යෝජනාව භාරදීමට පෙර සජිත් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විපක්ෂ නායක නිළ කාමරයේදී හමුවිය. එහිදී සජිත් අවධාරණය කළේ, ආපදාවට ලක්වූ දිස්ත්‍රීක්ක 22ම නියෝජනය වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එහි අවස්ථාව ලබාදීමත්, විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 12ට වැඩි ඉඩකඩක් සැලසෙන පරිදි විපක්ෂයේ නියෝජිතයින් තෝරා ගැනීමත් කළ යුතු බවය.

එමෙන්ම ඊට සමපාත වනලෙස ආණ්ඩුවේ නියෝජනය වැදගත් නිසා සජිත් උපදෙස්දී තිබුණේ, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සමස්ථ නියෝජනය 30ක් ලබාදෙන ලෙස ලිඛිතව දන්වන ලෙසය.

එක්සත් ජාතීන්ට සහ ආසියානු සංවර්ධන බැංකුවට සජිත්ගෙන් යෝජනා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක Mark Andre Franche සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් මේ සතියේ සිදුවිය. දිට්වා සුළි කුණාටුව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ අරමුදල සහ මානූෂීය සහන වැඩසටහන හරහා ලබාදිය හැකි සහයෝගය ලබාදෙන ලෙස සජිත් ඉල්ලීමක් කළේය.

මේ අතර ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජිතTakafumi Kadono සහ විපක්ෂ නායක සජිත් අතර හමුව සිදුවුනේ,සඳුදා පෙරවරුවේය. රට බංකොලොත් වූ අවස්ථාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමට ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කළ අයුරු සිහිපත් කළ සජිත්, මෙවරත් ආපදාවෙන් පීඩා විඳින ජනතාව වෙත මුල්‍යමය ශක්තිය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කළේය.

අපදා විෂයට කැබිනට් අමාත්‍යාංශයක් 

ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කළ යුතු බවට විපක්ෂ නායක සජිත් යෝජනාවක් කළේ, කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේදීය. ඊට රටේ ජනතාවගෙන් මෙන්ම ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයෙන්ද යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව සඳහන්ය.

මේ ගමනේදී සිත කම්පා කරවන සිදුවීමකට මුහුණදෙන්නට සජිත්ට සිදුවිය. හිරියාල පුදුක්කුලම ප්‍රදේශයේ සිදුවූ නායයෑමක් නිරීක්ෂණය කරන්නට ගිය සජිත් ඉන් අනතුරුව ගියේ පීඩාවට පත්වූ ජනතාව රැඳී සිටින පන්ලියද්ද විහාරස්ථානයටය. එහිදී තමන් සමග කතා කරන්නට පැමිණි පුද්ගලයකුගේ විශේෂත්වයක් දුටු සජිත් ඔහුගෙත් තොරතුරු විමසා සිටියේ ඔහුටත් කීමට කතාවක් ඇතැයි යන හැඟීම සජිත් දුටු නිසා විය හැක.

“සර්, මම ආමි, තලාව කැම්එකේ තමයි මම වැඩ කරන්නේ, මේ කන්දට මගේ නෝනයි, දරුවෝ තුන්දෙනයි, නෝනගේ තාත්තයි, අම්මයි ඒ හයදෙනාම යටවුනා. දැන් මම තනිවෙච්ච මිනිහෙක් සර්” ඒ වචන ටිකත් එක්ක සංවේදී වූ සජිත්, ළග තිබූ පුටුක් ඇදගෙන ඔහුව වාඩිකරවා ගත්තේ ටිකක් කතා බහ කිරීම ඔහුගේ මානසිකත්වයට යම් අස්වැසිල්ලක් බව හැඟී ගිය නිසාවෙන් විය යුතුය.

මේ අතර දොඩංගස්ලන්ද, ඉකිරිවත්ත ප්‍රදේශයේ ගොම්මුන්නාව කන්දේ සිදුවූ නායයාමක් නිරීක්ෂණය කරන්නට ගිය විපක්ෂ නායක සජිත්ට ගම්මුන්ගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය. “සර් මේක නායයන්න ප්‍රධානම හේතුව මේ කන්ද මුදුනේ තියෙන ගල් කොරි. අපි මේකට 2016 විරුද්ධ වුනාම අපිට නඩු දැම්මා. තාමත් නඩු ඉවරත් නෑ. සර් විතරයි මේ අවුරුදු ගාණට මේ ප්‍රශ්ණේ ගැන හොයන්න අපේ ගමට ආපු එකම දේශපාලඥයා” ඒ අවස්ථාවේ ජනතාවට පොරොන්දුවක් දුන් සජිත්, මෙම ගැටළුව මීළඟ පාර්ලිමේන්තු දිනයදා රජයේ අවධානයට යොමු කරන බව පැවසීය.

ඒ පොරොන්දුව අමතක නොකළ සජිත් (18) වනදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ඉකිරිවත්ත ප්‍රදේශයේ ජනතාව මුහුණදෙන මේ ගැටළුවට විසඳුම් ලබාදීමත්, ජනතාවට එරෙහිව පවත්වාගෙන යන නඩු ඉල්ලා අස්කර ගන්නට කටයුතු කරන ලෙසත්ය.

සාගල, සජිත් හමුවක්


මෙරට කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ලක්ෂ්මන් බාලසූරිය මහතා පසුගිය දා අභාවප්‍රාප්තවිය. ඔහුගේ මරණය සැලවූ වහාම සජිත්ට එය දැනුම්දී තිබුණේ ලක්ෂ්මන් ෆොන්සේකාය. ඒ මොහොතේ කුරුණෑගල දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ආපදාවෙන් විපතට පත්වූ ජනතාවගේ අවශ්‍යතා සොයා බලමින් සිටි සජිත් එය නිමවා කෙළින්ම පැමිණ තිබුණේ බාලසූරිය මහතාගේ නිවසටය.

සජිත් එහි ගියේ ලක්ෂ්මන් ෆොන්සේකාද සමගය, සජිත්ගේ දේශපාලන මිතුරෙකු වූ ක්‍රිෂාන්ත කුරේද එම අවස්ථාවේදී හමුවී තිබූ අතර ඔවුන් මියගිය ලක්ෂ්මන් බාලසූරිය මහතා සතුවූ මිනිස්කම් ගැන කතා බහ කරන අතරතුර ඔවුන් අසලට පැමිණි නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සජිත්ට ආයුබෝවන් කියා පිටව ගියේය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද, ගෝඨාභය  සහ රනිල්ද ලක්ෂ්මන් බාලසූරිය මහතාට අවසන් ගෞරව දක්වන්නට නිවසට පැමිණ ගොස් තිබුණේය. ලක්ෂ්මන් බාලසූරිය මහතාගේ අවසන් කටයුතු සිදුවූ බදාදා සජිත් ප්‍රේමදාසට සාගල රත්නායක හමුව තිබුනේ බොරැල්ල කනත්තේදීය.

එම අවස්ථාවේ සජිත් සමග සිටි ලක්ෂ්මන් ෆොන්සේකා, “ ඔන්න දෙන්න කතා කරගන්න…සජිත්, මේ සාගල ඔයා එක්ක කතා කරන්න ඕන කියලා මට කිහිප සැරයක් කිව්වා, ඔන්න දැන් දෙන්නම එකට ඉන්නවනේ Appointment එකක් දාගන්න දැන් පුළුවන් නේ” එම අදහසට සජිත්ගෙන් සහ සාගලගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු අතර ඉදිරියේදී සිදුකරන්නට යන කටයුතු ගැන හමුවී සාකච්ජා කරන්නට එකඟතාවකට පැමිණ තිබුණේය.

මේ අතර මෙරට කෘතහස්ථ රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම වසර 15 එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයකු ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ දයා පැල්පොල මහතාට අවසන් ගෞරව දක්වන්නටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔහුගේ නිවසට ගියේය.

බාල බෙහෙත් ජාවාරමට තිත තබමු

යළිත් මෙරට ක්‍රියාත්මක වන බාල ඖෂධ ජාවාරම නතර කිරීමට වහාම පියවර ගතයුතු බව විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදීම හඬ නගනු දැකගත හැකිවිය. කෙහෙළිය සෞඛ්‍ය අමාත්‍යධූරය දරද්දී මෙම බාල ඖෂධ ජාවාරමට එරෙහිව වෛද්‍ය චමල් සංජීව, වෛද්‍ය කාවින්ද ජයවර්ධන හඬ නැගූ ආකාරය සිහිපත් කළ සජිත්, මෙවරත් ඊට නොදෙවෙනි ආකාරයෙන් රජයේ මේ දූෂිත වැඩපිළිවෙලට එරෙහිව ජනතාව පෙලගැස්විය යුතු බව, විපක්ෂ නායක කාර්යාලයේ සිටි මන්ත්‍රීවරුන්ට අවධාරණය කළේය.

(මම-බංගලා හංදියේ ලියුම්කරු)

උපුටා හනීම 

-THE LEADER- 

වෙබ් අඩවිය 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න