සජිත් එක්ක ආණ්ඩු පෙරලන්න බෑ..!

ආණ්ඩුවට බැරි වැඩ විපක්ෂ නායක කරයි සජිත්ගේ ඩීල් එක ජනතාව සමග පමණයි (අචින්ත මධුර) මේ දිනවල අභ්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන්ම විපක්ෂ නායකවරයා දෙසට යොමු වී ඇත්තේ, ආණ්ඩුවේ 2026 අයවැය පවා පාර්ලිමේන්තුවට…
ආණ්ඩුවට බැරි වැඩ විපක්ෂ නායක කරයි
සජිත්ගේ ඩීල් එක ජනතාව සමග පමණයි
(අචින්ත මධුර)
මේ දිනවල අභ්‍යන්තර දේශපාලනය සම්පූර්ණයෙන්ම විපක්ෂ නායකවරයා දෙසට යොමු වී ඇත්තේ, ආණ්ඩුවේ 2026 අයවැය පවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පසු බිමකයි.
එයට හේතුව වී ඇත්තේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔන්න මෙන්න තබා විපක්ෂ නායකවරයා ඉන්දියාවෙන් ලැබුණු නිල ආරාධනයකට අනුව ඉන්දියාව බලා පිටත් වීමයි. මෙම සංචාරයේදී, ජනාධිපති අනුර ඉන්දියාවේ සංචාරය කළ අතරතුර මුණ ගැසුණු සුවිශේෂී රාජ්‍ය තාන්ත්‍රිකයින්ටත් වඩා වැඩි ප්‍රමාණයක් සමග සාකච්චා කිරීමට විපක්ෂ නායකවරයාට ආරාධනා ලැබී තිබීමද දේශපාලන විචාරකයින් පෙන්වා දුන්නේ මේ ආණ්ඩුවේ ආයු කාලය අවසන් වීමට ආසන්න බවට ඉන්දියාවෙන් ලබා දුන් ඉඟියක් බවයි.
ඇතැම් විශ්ලේෂකයින් මෙන්ම දේශපාලකයින්ද පෙන්වා දෙන්නේ, කෙරුණත් නොකෙරුනත් 2026 අයවැයේ අඩංගු ඇතැම් ජනතාවට හිතැති කාරණා අයවැයට ඇතුලත් වීමටද විපක්ෂ නායකවරයාගේ මෙම ඉන්දියානු සංචාරය හේතු වූ බවයි. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවා අයවැයේ ඇතුලත් ඇතැම් කරුණු පසුව එකතු වී ඇති බව සඳහන් කිරීමෙන් එම කතාවේ සත්‍යතාවයක් ඇති බවට පැහැදිලි ඉඟි පල කරයි.
දැන්වීම
සජිත් ආණ්ඩු පෙරලන්න ඉන්දියාවට ගියාද..?
පසුගිය දශක තුනක පමණ කාලයකට පමණක් අවධානය යොමු කලත් ලංකේය දේශපාලනයේ දිශානතිය තීරණය කිරීමට ඉන්දියාව සිදු කර ඇති බලපෑම මොනවට පැහැදිලි කර ගත හැකිය.
මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක වූයේ 2002දීය. ඒ වෙනකොට මහින්දට ඉන්දියාව සමග ලොකු සබඳතාවක් තිබුණේ නැත. හැබැයි 2003 ජනවාරියේ ඉන්දියාව මහින්දට නිල විදේශ සංචාරයක් සඳහා ආරාධනා කළේය. මහින්ද ඉන්දියාවට ගියේය. 2003 පෙබරවාරි 14 මහින්ද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහුගේ ඉන්දීය සංචාරය ගැන මෙසේ කීවේය.
‘මගේ ඉන්දීය සංචාරය කරුණු කීපයක් නිසා වැදගත් වුණා. ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ඉන්දීය රජයේ සහ විපක්ෂයේ නායකයන් සමග සාකච්ඡා කළා. නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්නය විශේෂයෙන් අවධානයට ගත්තා…’
මහින්ද රාජපක්ෂ
2003.02.14
2013 අගෝස්තු මාසයේ එවක විපක්ෂ නායක රනිල් ඉන්දියාවේ සංචාරය කොට ඉන්දියාවේ ආණ්ඩුවේ නායකයන් හමුවිය. එය නිල සංචාරයක් නොවුණද මහින්දගේ ආණ්ඩුව ඒ සංචාරයට බයවී රනිල්ගේ සංචාරයට පසු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ව ඉන්දියාවට යැව්වේය. 2014 රනිල් අගමැති විය.
2018 පුංචි ඡන්දය ජයගෙන මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක ධුරයට පත්වූ පසු ඉන්දියාව මහින්දව සහ නාමල්ව ඉන්දියාවට ගෙන්වා ගත්තේය. ඒ, 2015 පරාජයට පසු ඉන්දියාව තමන්ව පරාජය කිරීමට කුමන්ත්‍රණය කළා යැයි මහින්ද චෝදනා කර තිබියදීය. 2015 පරාජයට පසු රාජපක්ෂ පවුල ඉවර යැයි මුළු ලෝකයම සිතා සිටියත් 2018 පුංචි ඡන්ද ජයග්‍රහණයත් සමග මහින්ද සහ රාජපක්ෂ පවුලේ දෙවැනි ගමන ඉන්දියාව කියවා ගත්තේය. 2019 මහින්ද අගමැති විය. ගෝඨා ජනාධිපති වී රාජපක්ෂ පවුල රජ විය.
2024 පෙබරවාරියේ ලංකාවම පුදුමයට පත්කරවමින් ඉන්දියාව ජවිපෙ නායක අනුරට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කළේය. එකල අනුර නිකම්ම නිකම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් විය. ඊටත් වඩා ජවිපෙට ඉන්දීය විරෝධී ඉතිහාසයක් තිබිණි. ඒ සියල්ල අමතක කොට ඉන්දියාව අනුරට ඉන්දියාවේ රතු පලස් එළුවේය. ඒ වෙනකොටත් අනුරලා රටේ රැල්ලක් හදමින් සිටියත් රටේ මධ්‍යම පන්තිය අනුරට රට පාලනය කරන්න පුළුවන් කියා විශ්වාස කළේ නැත. ව්‍යාපාරික සහ ප්‍රභූ පන්තියද අනුරට රටක් කරන්න පුළුවන් දැයි සැක පහළ කළහ. අනුරට තිබුණු ඒ අවාසිසහගත මතය වෙනස් වුණේ අනුරගේ ඉන්දීය සංචාරයෙන්ය. අනුරගේ ඉන්දීය ගමනෙන් අනුර ලංකාවේ ඊළඟ ජනාධිපති බව ඉන්දියාව කියවා ගෙන ඇති බව මෙරට දේශපාලන විචාරකයන්ගේ මතය විය. අනුර ඔහුගේ ඉන්දීය සංචාරයෙන් ලොකු පිම්මක් පැන්නේය. ඒ ඔහුට පැනගන්න බැරිවූ පිම්මකි. 2024 පෙබරවාරි ඔහු දිල්ලි ගියේය. 2024 සැප්තැම්බර් ඔහු ජනාධිපති විය.
පසුගියදා ඉන්දියාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා කළේය. සජිත් ඉන්දියාවට ගොස් අනුර ඉන්දියාවට ගොස් හමුවූ ඉන්දීය විදේශ ඇමැති, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකට අමතරව තවත් නායකයන් හමුවිය. ඉන්දියාව ලංකාවේ විපක්ෂ නායකයන් ගෙන්වන මෝස්තරය අධ්‍යයනය කළොත් ඉන්දියාව ඒ මෝස්තරය අනුගමනය කරන්නේ ලංකාවේ දේශපාලනය පිළිබඳ දීර්ඝ කියවීමකින් පසුවය.
විපක්ෂයට ආණ්ඩුව පෙරලීමට අවශ්‍යනම් ඒ සඳහා අසල්වැසි ඉන්දියාවේ සහය අවශ්‍ය බව නොරහසක්. මෙවැනි නිල ආරාධනයක් මගින් අවශ්‍යනම් එවැනි සහයෝගයක් ලබා දීමට ඉන්දියාව සුදානම් බව පැහැදිලි බවත් ඒ බව ආණ්ඩුවද තේරුම්ගෙන ඇති බවත් අයවැය සංශෝදනය කර ඉදිරිපත් කිරීමෙන් පැහැදිලි වී ඇත. නමුත් ඒ සඳහා ආණ්ඩුව අසාර්ථක කොට ජනතාවට දුක් විඳීමට සැලැස්විය යුතු වීමද අත්‍යවශ්‍ය සාධකයක්.
මේ වන විටත් ආණ්ඩුවට ජනතාවගේ අප්‍රසාදය ලැබෙමින් තිබෙන අවස්තාවක ආණ්ඩුව තව ටිකක් හිර කලොත් ඔය වැඩේ කර ගන්න පුළුවන් කියන එක තමයි දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස. හරියටම මාලිමාව විපක්ෂයේ ඉද්දි කළා වගේ.
නමුත් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලෙස ඉදගෙන කරන්නේ ඒ වැඩේද..? විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ කිසි සේත්ම නැති බවයි. ඒ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දියානු සංචාරය පිළිබඳව කරුණු සොයා බැලීමේදී තව දුරටත් තහවුරු වන බව ඔවුන් පෙන්වා දෙයි.
සජිත් ඉන්දියානු ව්‍යාපාරිකයින් හමුවී ඉල්ලා සිටියේ තමන්ගේ ආණ්ඩුවකදී වඩාත් හිතවාදී කොන්දේසි යටතේ ආයෝජනය කිරීමට බලා සිටින ලෙස නොව ඉක්මන් සෘජු විදේශ ආයෝජන ලංකාවට ලබා දෙන ලෙසයි. මේ මොහොතේ එය රටට අත්‍යවශ්‍ය සාධකයක් බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා විපක්ෂය ලෙස ලබා දිය හැකි සියලු සහයෝගය ලබා දෙන බවටද ඔවුන්ට පොරොන්දු විය.
ඉන් අනතුරුව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවූ සජිත් ඔහුගෙන් ඉල්ලා සිටියේ මේ වන විට ලංකාවේ රජයේ රෝහල් වල පවතින දැවැන්ත ඖෂද හිඟය සමනය කර ගැනීමට ආධාර කරන ලෙසයි. මේවා ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතක වී ඇති අවස්තාවක රටේ විපක්ෂ නායකවරයා මෙවැනි කරුණු වලට අවධානය යොමු කිරීම රටේ ජනතාවගේ භාග්‍යක් බවද ඔහු ප්‍රකාශ කළේය.
එය සජිත්ට අලුත් දෙයක් නොවීය. සජිත් කොහොමත් එහෙමය. පසු ගිය ආණ්ඩුව පවතින විට පාසල් වලට බස් රථ සහ සුහුරු පන්ති කාමර ලබා දීමට පක්ෂ අරමුදල භාවිතා කළ සජිත් මෑතකදීද දුෂ්කර රෝහලකට අත්‍යාවශ්‍යව තිබූ, වකුගඩු රෝගීන් සඳහා බාවිතා කරනු ලබන මුත්‍රා පෙරන යන්ත්‍රයක් ලබා දීමට කටයුතු කරනු ලැබීය.
ඉන් අනතුරුව ඉන්දීය මුදල් අමාත්‍ය සීතා රාමන් හමුවී දකුණු ඉන්දියාවේ සීග්‍ර සංවර්ධනයේ ප්‍රතිලාභ ලංකාවටත් ලැබෙන පරිදි සැලසුම් සකස් කරන ලෙස ඉල්ලා සිටි අතර එහිදී එතුමිය පෙන්වා දුන්නේ ඒ සඳහා තමන් සුදානම් බවත් ලංකාවේ ආණ්ඩුව ඒ සඳහා අවශ්‍ය පෙරමුණ ලබා ගත යුතු බවත්ය.
තවද අර්බුධය අවස්තාවේදී ලංකාවට ණය සහ මූල්‍ය පහසුකම් ලබා දීම පිළිබඳව ස්තුති කළ විපක්ෂ නායකවරයා එම ණය නැවත අය කර ගැනීමේදීද ලංකාවට ලබා දිය හැකි සියලු සහන ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍ය ජසංකර් මහතා හමුවූ අවස්තාවේදී ඔහුගෙන් ඉල්ලා සිටියේ කිසිඳු හේතුවක් මත ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ඓතිහාසික සම්බන්ධතාවය පලුදු කර නොගන්න ලෙසයි. එහිදී පවතින ආණ්ඩුවේ දුර්වලතා පෙන්වා දුන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ විදේශ සම්බන්ධතා පිළිබඳව ඇති ආදුනික බව සලකා ඒවා නොසලකා හරින ලෙසයි.
ඒ අනුව පෙනෙනුයේ මේ විපක්ෂ නායකවරයානම් ආණ්ඩුවේ කකුලින් ඇද ආණ්ඩුව හිර කොට, ජනතාවට දුක් කම් කටළු ලබා දී ඒ මතින් ආණ්ඩු පෙරලීමට කිසිඳු කැමැත්තක් නොමැති බවයි. එය ලංකාවේ දේශපාලනයට අලුත් තත්වයක් බවනම් පැහැදිලි බවද ප්‍රකාශ කළ යුතුමය.
මේ විපක්ෂ නායකවරයා ආණ්ඩුව පෙරලීමට දේශීයව හෝ විදේශීයව කිසිඳු ඩීල් එකක් දැමීමට සුදානම් නැති බව ඉතාම පැහැදිලි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ එකම ඩීල් එක අතේ රටේ මහා ජනතාව සමග පමණක් බවද ඉතාම පැහැදිලිය.
මෙවැනි විපක්ෂ නායකවරයකු සමග වැඩ කිරීමට ලැබීමද ආණ්ඩුවේ විශාල භාගයකි. එවැනි පරිසරයක් තුල පවා වැඩ කර ගැනීමට නොහැකිනම් එය කයිය ආණ්ඩුවක් පමණක්ම විය යුතුය.