සජබ-එජාප දේශපාලන සංහිඳියාව නව අවදියකට

රජයට ප්‍රබල අභියෝගයක් එල්ල වන ලකුණු එජාප භූතයින් අනාථ කළ රවී-ලක්ෂ්මන් ෆොන්සේකාගේ භූමිකාව විපක්ෂයේ නව බල කේන්ද්‍රයක් බිහි වෙයිද..? එජාප මහා සම්ප්රදාය යළි කරළියට ගෙනෙන දේශපාලන ගමන එකමුතුව සාර්ථක වුව…
රජයට ප්‍රබල අභියෝගයක් එල්ල වන ලකුණු
එජාප භූතයින් අනාථ කළ රවී-ලක්ෂ්මන් ෆොන්සේකාගේ භූමිකාව
විපක්ෂයේ නව බල කේන්ද්‍රයක් බිහි වෙයිද..? එජාප මහා සම්ප්රදාය යළි කරළියට ගෙනෙන දේශපාලන ගමන
එකමුතුව සාර්ථක වුව හොත් ආණ්ඩුවේ දේශපාලන සටන වෙනස් වෙයිද..?
(සුජිත් මංගල ද සිල්වා)
ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ ඉදිරි දිශානතිය තීරණය කළ හැකි වැදගත් සංවාදයක් මේ වන විට එක්සත් ජාතික පක්ෂය (UNP) සහ සමගි ජන බලවේගය (SJB) අතර ඇති වෙමින් පවතින බවට දේශපාලන ක්ෂේත්රයේ විවිධ මත පළ වෙමින් තිබේ. එම සංවාදය මෙතෙක් නිල දේශපාලන සන්ධානයක් බවට පත්ව නොතිබුණද, එවැනි සමීපතාවයක් පිළිබඳ සංඥා විවිධ දේශපාලන ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් ඔස්සේ දැකිය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙම සංවාදයේ වැදගත්ම කරුණ වන්නේ, 2020 මහ මැතිවරණයෙන් පසුව කැඩී බිඳී ගිය එක්සත් ජාතික පක්ෂ දේශපාලන සම්ප්රදායේ ඡන්ද පදනම යළි එකතු කළ හැකිද යන්නයි. ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය පෙන්වා දෙන්නේ, එකම දේශපාලන සම්ප්රදායකින් බිහි වූ පක්ෂ දෙකක් වෙන වෙනම තරග කරන විට ඡන්ද පදනම බෙදී යන අතර, එම බෙදීම තුන්වන පාර්ශ්වයකට වාසිදායක විය හැකි බවයි.
මෙවැනි පසුබිමක, එක්සත් ජාතික පක්ෂ පාර්ශවයෙන් මෙම දේශපාලන සමීපතාවය සඳහා විවෘතව පෙනී සිටි නායකයන් අතර රවී කරුණානායක මහතාගේ නම නිතර සඳහන් වේ. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ සිටිමින් විවිධ දේශපාලන න්‍යාය පත්‍ර මත මෙම එකමුතුවට බාධා කරන පුද්ගලයන් ඔහු දැඩි සහ නිර්දය ලෙස විවේචනය කළ අතර, රවී කරුණානායක මහතා ඔවුන් "භූතයන්" ලෙස හැඳින්වීම ද දේශපාලන අවධානයට ලක් විය. එම විවේචනය මගින් පැහැදිළි වන්නේ, එක්සත් ජාතික පක්ෂ දේශපාලන සම්ප්රදාය යළි ඒකාබද්ධ කළ යුතුය යන ඔහුගේ දැඩි දේශපාලන ස්ථාවරය බව දේශපාලන විචාරකයෝ පවසති.
දැන්වීම
රවී කරුණානායක මහතා ආර්ථිකය පිළිබඳ දැනුම සහ ජාත්‍යන්තර සබඳතා සඳහා ප්‍රසිද්ධ දේශපාලනඥයෙකි. ඔහු රටේ හිටපු මුදල් අමාත්‍යවරයා වන අතර, දකුණු ආසියානු කලාපයේ හොඳම මුදල් ඇමතිවරයා ලෙස සම්මානයට පාත්‍ර වෙමින් ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්රයේ පිළිගැනීමට ලක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයෙකි. එම පසුබිම නිසා, දේශපාලන සංහිඳියාවකට අමතරව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂ මහා සම්ප්රදායේ ස්ථාවරයක් යළි ගොඩනැගිය යුතු බව ඔහුගේ අදහස්වලින් නිරූපණය වී ඇත.
ඒ වගේම, සමගි ජන බලවේගයේ පාර්ශවයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ විවිධ පාර්ශ්ව සමඟ සංවාද සඳහා විවෘත ප්‍රවේශයක් ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අතරින් ලක්ෂ්මන් ෆොන්සේකා මහතා ද මෙම පාර්ශ්ව අතර සන්නිවේදනයට සහ විශ්වාසය ගොඩනැගීමට දායක වන තිරය පිටු පස ප්‍රබල චරිතයක් බව කිව යුතුය.
මේ අතර, හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය ද මෙම ක්‍රියාවලියේ වැදගත් සාධකයකි. ඔහු මෙම සම්බන්ධතා පිළිබඳ සාධනීය අදහසක පසු වන බවට දේශපාලන ක්ෂේත්රයේ විවිධ මත පළ කෙරෙන අතර එම තත්ත්වය කෙසේ වර්ධනය වේද යන්න ඉදිරි කාලයේ දී පැහැදිලි වනු ඇත.
සජබ-එජාප සන්ධානය සාර්ථක වුව හොත්..? සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පුළුල් දේශපාලන එකඟතාවයක් හෝ මැතිවරණ සන්ධානයක් බිහි වුව හොත්, එම තත්ත්වය ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනයේ බල තුලනයට සැලකිය යුතු සහ ප්‍රබල බලපෑමක් ඇති කළ හැකිය.
එවැනි එකමුතුවක් මගින් එක්සත් ජාතික පක්ෂ දේශපාලන මහා සම්ප්රදායේ ඡන්ද පදනම යළි ඒකාබද්ධ කිරීම, ආර්ථික ප්‍රතිපත්ති සඳහා විකල්ප දැක්මක් ඉදිරිපත් කිරීම, පළාත් පාලන, පළාත් සභා සහ ජාතික මැතිවරණවලදී විපක්ෂ ඡන්ද බෙදීම අඩු කිරීම, ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තීයවේදීන් සහ මධ්‍යස්ථ ඡන්දදායකයන් අතර වැඩි ආකර්ෂණයක් ඇති කිරීම වැනි දේශපාලන වාසි රැසක් ඇති කළ හැකිය.
ඒ සමඟම, එවැනි සන්ධානයක් සාර්ථක වුව හොත්, වත්මන් ආණ්ඩුවට ප්‍රබල සහ සංවිධානාත්මක විපක්ෂයක් සමඟ දේශපාලනිකව තරග කිරීමට සිදු විය හැකිය. කෙසේ වෙතත්, එම ප්‍රතිඵලය රඳා පවතින්නේ පක්ෂ දෙකට එකඟතාවක් ගොඩනඟා ගැනීමට, ප්‍රතිපත්තිමය පොදු වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට සහ ඡන්දදායකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වේද යන්න මතය.
අවසානයේ, මෙම දේශපාලන සංහිඳියාව ශ්‍රී ලංකාවේ විපක්ෂ දේශපාලනය ප්‍රතිසංවිධානය කරන වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් විය හැකි නමුත්, මෙම තීරණාත්මක සාකච්ඡාව දේශපාලන වශයෙන් කෙතරම් සාර්ථක වේද යන්න තීරණය වනු ඇත්තේ ඉදිරි සාකච්ඡා, ප්‍රායෝගික එකඟතා සහ අවසානයේ ජනතා ප්‍රතිචාරය මතය.

