අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

සජබයේ ගමන මැද මාවතයි-රටට ඇති එකම විකල්පයයි

සජබයේ ගමන මැද මාවතයි-රටට ඇති එකම විකල්පයයි

විපක්ෂනායක සටන අරඹයි සජබ සියලුම දිස්ත්‍රික්-ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි යා යුතු විකල්ප මාර්ගය පෙන්වා දෙයි මූලිකව ආර්ථිකමය දෘෂ්ටි කෝණයකින් බලන විට රටටත්, පුරවැසියන්ටත් ගෘහ මූලික පවුල් ඒකක සඳහාත්…

විපක්ෂනායක සටන අරඹයි 

සජබ සියලුම දිස්ත්‍රික්-ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි 

යා යුතු විකල්ප මාර්ගය පෙන්වා දෙයි


මූලිකව ආර්ථිකමය දෘෂ්ටි කෝණයකින් බලන විට රටටත්, පුරවැසියන්ටත් ගෘහ මූලික පවුල් ඒකක සඳහාත් ධනය, සම්පත් සහ මුදල් අවශ්‍ය බවත් ඒ සඳහා යෝග්‍ය වැඩ පිළිවෙළ වන්නේ ධනවාදී වැඩ පිළිවෙළ වන අතර මෙහි ධනාත්මක සහ ගුණාත්මක පැතිකඩක් ඇති බවත් ඇති හැකි අය තවත් ඇති හැකි අය වී ජන සමාජයේ පහළ සිටින අය තවත් පහළටම වැටිය හැකි නිසා සමගි ජන බලවේගය අනුගමනය කරන්නේ මිනිසත්කමට මුල් තැන ලබා දෙන මානුෂීය ධනවාදය බවත් ඉල්ලුම-සැපයුමට පමණක් තනිවම තීන්දු තීරණ ගන්නා ධනවාදයට එකග විය නොහැකි බවත් ධනවාදය ඔස්සේ නිර්මාණය වන පරස්පරතා සහ අසමතුලිතා ඇති හැකි නැති බැරි ගැටලුව විසදන්නට සීමා සහිත රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බවත් ඒ සඳහා සුබ සාධන රාජ්‍යයක් තිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

එක්සත් රාජධානියේ පවා සුබසාධන රාජ්‍යයක් ඇති බවත් එහි ද සෞඛ්‍ය හා අධ්‍යාපනය නොමිලේ බවත් රටක් ලෙස පොදු අවමයක් පිළිබඳ පිළිගැනීමක් ඇති බවත් රටකට සමාජ ආරක්ෂණ දැලක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් සීමාසහිත රාජ්‍ය මැදිහත්වීමක් කර ධනවාදය හා නව ලිබරල්වාදය තුළ නිර්මාණය වන අසමතුලිතතා නිවැරදි කළ යුතු බවත් රටක් ඉදිරියට යාමට පෞද්ගලික ව්‍යවසායකයත්වයට මුල්තැන දී රාජ්‍ය අංශය‌ට සාර්ථකව ව්‍යාපාර කර ගෙන යාම අසාර්ථක නිසා පෞද්ගලික ව්‍යවසායකත්වය හරහා ධනය උත්පාදනය කර නව ප්‍රවණතා අවබෝධ කර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝකයේ වේගයෙන් තාක්ෂණික වශයෙන් ඉදිරියට යන නිසා රටක් ලෙස අප ඒ තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් ලෝකයේ ඇති සාම්ප්‍රදායික රැකියා අතුරුදන් වී ඒ රැකියාවලින් කෙරුණු සේවාව ස්මාර්ට් ෆෝන් එකෙන් කරන තැනට පත්ව ඇති බවත් මේ නව තත්ත්වය තුළ අපේ ආර්ථික ප්‍රතිපත්තිය යා යුතු දිශාව ගැන අප නැවත වරක් සිතිය යුතු බවත් මානුෂිය ධනවාදය සමාජ වෙළෙදපොළ ආර්ථිකය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සීමාසහිත රාජ්‍ය මැදිහත්වීම යන සංකල්පය මැද මාවත හෙවත් තුන්වැනි මාවත රටට ඇති විකල්පය බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බත්තරමුල්ල මොනාර්ක් උත්සව ශාලාවේ පැවැති සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් ආසන සංවිධායක හමුව අමතමිනි.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ 1990 සුවසැරිය නව ලිබරල්වාදී ප්‍රතිපත්තියක් නොවන බවත් එය රාජ්‍ය මැදිහත්වීම තුළ සුබසාධන රාජ්‍යයේ නොමිලේ සෞඛ්‍ය සේවාවට ලබා දෙන ලොකුම හයියක් බවත් මෙය ගේන විට වත්මන් රජයේ සිටින අය එක්සත් රටක රහස් බුද්ධි අංශය අප රටේ ක්‍රියාත්මක කරන කුමනත්‍රණයක් කිව්වත් අද එය බොරුවක් බවට පත්ව ඇති බවත් සෑම දෙයක්ම ඉල්ලුම සැපයුමට කළ නොහැකි බවත් සමාජයේ ඇති පිරමීඩයේ අන්ත දරිද්‍රතාවයේ ඇති ප්‍රජාව ප්‍රමුඛ සෑම තලයකම අය ආරක්ෂා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පසුගිය රජය ගැසූ ජනතාවාදී නොවන අයි. එම්. එෆ් ගිවිසුම වත්මන් රජය ඒ ආකාරයෙන්ම පිළිගත්තා

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණ පළමු මාස 2 තුළ කෝටිපතියන්ට බිලියන 600ක 700ක බදු සහන දුන් බවත් ඒ අවස්ථාවේ කෝටිපතියන් මෙය රටට හානියක් යැයි නොකියූ බවත් මේ බදු සහන ලැබෙන ප්‍රතිලාභීන් සතුටු වූවා මිස එයට එරෙහි නොවූ බවත් ඊට අමතරව අයි. එම්. එෆ් එකේ සිව්වැනි වාරිකය වන ඩොලර් මිලියන 100 ප්‍රතික්ෂේප කිරීම නිසා බංකොලොත් වී නැවත වරක් අයි. එම්. එෆ් එකටම යාමට සිදුවූ බවත් අයි. එම්. එෆ් ලෝක බැංකු යනු ලෝකයේ ආර්ථික රටාවක් නිසා එය අපිට වෙනස් කළ නොහැකි නිසා පවතින රටාව තුළ රටක් ලෙස අප ගත යුත්තේ රටට ගැලපෙන ගිවිසුම වුවත් පසුගිය රජය එම ගිවිසුම නොගත් බවත් එම ගිවිසුම වෙනස් කරනවා කියු ජවිපේ ආණ්ඩුව පවා හිටපු රජයේ අඩිපාරේ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වැඩිපුර බදු ගසා වියදම් කප්පාදුකර සල්ලි ගොඩගහගෙන අපි තමයි වීරයෝ යැයි කියන්න ඔ්නෑම අයකුට පුලුවන්

අයි. එම්. එෆ් එක කියන ප්‍රාථමික ශේෂය 2.3ක් පවත්වාගෙන යා යුතු යැයි කියන විට මේ රජය 3.8ක් එනම්වැඩිපුර 1.5ක් පවත්වාගෙන යන බවත් ප්‍රාථමික ශේෂය අයි. එම්. එෆ් කොන්දේසි ඉක්මවා ගිය නිසා වැඩිපුර බදු ගසා රටට අවශ්‍ය සංවර්ධන වියදම් කපා ඇති බවත් මේවා කර අපි තමයි වීරයෝ යැයි කීමට නොහැකි බවත් ආර්ථිකය වේගයෙන් වර්ධනය විය යුතු වුවත් මේ ගිවිසුම තුළ Macro link bond නම් දෙයක් ඇති බවත් මේ සූත්‍රය තුළ ආර්ථික වර්ධනය වැඩි වෙන්න වැඩි වෙන්න ණය සහනය අඩු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න