අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලාංකේය සමාජය වහා ගිනි ඇවිලෙන සුලුයි

ශ්‍රී ලාංකේය සමාජය වහා ගිනි ඇවිලෙන සුලුයි

පසුගිය දිනවල සමාජය කැළඹූ සිදුවීම් අතර ත්‍රිකුණාමලයේ බුදුපිළිමය ඉවත් කිරීමේ සිදුවීමට ද ප්‍රධාන තැනක් හිමිවිය. ඇතැමුන් එයට චෝදනා කළේ පසුගිය 21 වැනිදා නුගේගොඩ පැවැත්වූ රැළියට සෙනග අද්දවා ගැනීම සදහා…


පසුගිය දිනවල සමාජය කැළඹූ සිදුවීම් අතර ත්‍රිකුණාමලයේ බුදුපිළිමය ඉවත් කිරීමේ සිදුවීමට ද ප්‍රධාන තැනක් හිමිවිය. ඇතැමුන් එයට චෝදනා කළේ පසුගිය 21 වැනිදා නුගේගොඩ පැවැත්වූ රැළියට සෙනග අද්දවා ගැනීම සදහා සිදුකළ දේශපාලනික උපක්‍රමයක් ලෙසිනි. මේ සිදුවීම් පදනම් කරගෙන නැවත ජාතිවාදය ඇවිලවීමේ අරමුණක් ද ඇති බවට මත පළ වේ. මේ ඒ පිළිබද නීතිඥ ශිරාල් ලක්තිලක සමග පැවැත් වූ සංවාදයකි.

ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කිරීමත් සමගින් ඇතිවූ ආන්දෝලනය තවමත් අවසන්වී නැහැ. මේ පිටුපස තිබෙන සමාජ දේශපාලන තත්ත්වය ඔබ කොහොමද දකින්නේ..?

ලංකාවේ ආණ්ඩුව සහ රාජ්‍ය යාන්ත්‍රණය එකට වැඩ නොකරන බවට හොඳ උදාහරණයක් තමයි මේ. මේ සමගින් ඇතිවන ආවේගයන් සමාජයට බලපාන්නේ කෙසේද යන්න දේශපාලනිකයි. මේ සිදුවීම රාජ්‍ය යාන්ත්‍රණයට කළමනාකරණය කරගත හැකිව තිබූ දෙයක්. යම් බිම් කොටසක් කවුරු හරි අල්ලාගෙන තිබුණා නම් වෙරළ ආරක්ෂක පනත අනුව ඒක ඉතාම සරල ලෙස, මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කර උසාවිය හරහා අවශ්‍ය පියවර ගත හැකිව තිබුණා. එතැනදී පේනවා, කවුරු හරි දේශපාලන හස්තයක් පොලිසිය පෙළඹවූ බව පැහැදිලියි. මේ විදියට රෑට ගිහින් බුදු පිළිමය අරගෙන එන්න නම් දේශපාලන හස්තයක් තිබිය යුතුයි. දේශපාලන හස්තයක් නොමැතිනම් පොලිසිය මෙහෙම කරන්නේ නෑ. රාජ්‍ය හා රාජ්‍ය යාන්ත්‍රණය අතර සම්බන්ධීකරණයක් නොමැතිවීම හා දේශපාලන අතපෙවීමක් පිළිබඳ අනුමාන කළ හැකියි.

දැන්වීම

හැබැයි විපක්ෂයේ බලවේගයකුත් මේ පිටුපස ඉන්නා බව තමයි ආණ්ඩුව කියන්නේ..?

ආගමික සංහිඳියාව පැත්ත ගත්තම ඉතා සුළු සිදුවීමකින් පවා සමාජයේ ආවේග උත්සන්න කළ හැකියි. පොලිසියේ හැසිරීමත් එක්ක විශාල ආවේගයක් ඇතිවෙලා තියෙනවා. ඉඩම අල්ලා ගැනීම, හාමුදුරුවරු ගොස් බුදු පිළිම තිබීම තුළ විපක්ෂ බලවේග ඉන්නවා කියලා මම පුද්ගලිකව හිතන්නේ නැහැ. ආවේග උත්සන්නවී එයට ප්‍රතිචාර දැක්වීම හරහා සිංහල සමාජයේ ආකර්ශනය දිනා ගැනීමට විපක්ෂයට නිතැනින්ම හැකියාව ලැබෙනවා. මේක තමයි මම දකින දේ. මේකෙන් ඉගෙන ගත යුතු දේ තමයි ලංකාව කියන්නේ වහා ගිනි ඇවිලෙන සුලු සමාජයක් තිබෙනවාය යන්න. ඉතාම සුළු සිදුවීමකින් මහා විශාල භයානක දෙයක් විය හැකියි. රජය තීරණාත්මක වැඩ කොටසක් නොකරන තාක් මේ තත්ත්වය නැති වෙන්නේ නෑ. මේක සිදුවෙන්න ඉඩ හැර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ජාතිවාදීන්ට බැන වැදීමෙන් කිසිදු ප්‍රයෝජනයක් ඇතිවන්නේ නෑ. බුදු පිළිමය අරගෙන ගියේ පිළිමය ආරක්ෂා කිරීමට නොවන බව පැහැදිලියි. නමුත් පිළිමය අරගෙන ගියේ පිළිමයේ ආරක්ෂාවට කියලා ආණ්ඩුව කියනවා. ඇත්ත වෙන්නේ ආණ්ඩුව කියන එක නෙමෙයි. ඒකට දක්වන ප්‍රතිචාර ජාතිවාදී යැයි කියා ජාතිවාදයට ලඝු කළ නොහැයි. මූලිකව ගත්තම මේක සංහිඳියාවේ තිබෙන අර්බුදයයි. මේක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කළ කතාවේදී එය නිවැරැදිව ආමන්ත්‍රණය කළේ නෑ.

ත්‍රිකුණාමලයේ 2003 දීත් මේ වගේ බුදු පිළිමයක් නිසා විශාල අර්බුදයක් ඇතිවුණා. ත්‍රිකුණාමලය මේ වගේ සිදුවීම්වලදී මේ තරම් සංවේදී ඇයි..?

ලංකාවේ ජන සංයුතිය පිළිබිඹු කරන දිස්ත්‍රික්කය වෙන්නේ ත්‍රිකුණාමලයයි. සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව එක හා සමානව ජීවත් වෙනවා. සිංහල තුනෙන් එකයි, දෙමළ තුනෙන් එකයි, මුස්ලිම් තුනෙන් එකයි. එතකොට සියලුදෙනාම ඔවුන්ගේ ආධිපත්‍ය ඒ සමාජය තුළ පැතිරවීමට උත්සාහ ගන්නවා. සිංහල ආධිපත්‍ය පවත්වාගෙන යාම සඳහා තමයි 2003 දී සිදුවීම සිදුවුණේ මේක ඒ වගේ එකක් නෙමෙයි. මේක පන්සලේ හාමුදුරුවන්ගේ තණ්හාව නිසා සිදුවෙලා තියෙන දෙයක්. ඉඩමක ජූස් බාර් එකකට බදු දීලා තිබිලා, වෙරළ ආරක්ෂක එකෙන් ඒ ඉඩම ගන්න හදන විට ඒකට දක්වපු ප්‍රතිචාරය තමයි බුදු පිළිමයක් ගෙනත් තියපු එක. හැබැයි 2003 දී වු දේ ගත්තම සිංහල සමාජයේ ආධිපත්‍ය පවත්වාගෙන යාමට කරපු දෙයක්. මේක සිදුවීම් දෙකක් වුවත් ඒ හරහා වෙන දේ එකයි.

මේ හරහා යළිත් ජාතිවාදී තත්ත්වයන් වර්ධනය වීමේ අවදානමක් තිබෙනවාද..?

මේ සිදුවීම හරහා ජාතිවාදී තත්ත්වයකට පත්වේවි කියලා මම හිතන්නේ නෑ. මම කලින් කිව්වා වගේ ලංකාවේ සමාජය වහා ගිනි ඇවිළෙන සුලුයි. ඒක නැවැත්වීමේ වගකීම තියෙන්නේ රාජ්‍යයටයි.

මේ සිදුවීම හරහා සංහිඳියාවේ වැදගත්කම යළිත් මතක් කරනවා. තිස් අවුරුදු යුද්ධයක් අවසන් වෙලා දශක එකහමාරකට වඩා වැඩි කාලයක් ගත වෙලා තියෙන නමුත් සංහිඳියාවක් ඇති කරගැනීමට නොහැකි වුණේ ඇයි..?

සිංහල සමාජය සමාන කළ හැක්කේ ඊශ්‍රායලයට හා සර්බියාවටයි. අධිපති මතවාදී සමාජයක් මේ රටවල් තුනේම තිබෙනවා. එවැනි සමාජයක ඉතා තීරණාත්මක ලෙස සංහිඳියාව සඳහා යම් ගැඹුරු වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. යුද්ධයෙන් පසුව 2009 දී මහින්ද රාජපක්ෂ මහත්තයාට මේක කරන්න තිබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දේශපාලන කණ්ඩායම් එය උවමනාවෙන් අතහැර දැම්මා. ඒක කළ යුතු වන්නේ යම් කිසි සාකච්ඡාවක්, සංවාදයක් ඇති කරමින් රාජ්‍යයක් විසින් ගොඩ නැංවිය යුතුයි. රනිල් වික්‍රමසිංහගේ කාලයේදී සංහිඳියා කොමිසමක් පිහිටුවීමට යෝජනා කළේ මේ නිසා. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙනුත් එවැනි කොමිසමක් පත් කරන බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ආණ්ඩුවට අවුරුද්ද ගිහින් තිබෙන නමුත් මහින්ද රාජපක්ෂ වගේම මේ ආණ්ඩුවත් ඒකට අත ගහන්නේ නෑ. ඒ මේක ඉතා සංවේදී කරුණක් නිසා. ආණ්ඩුව හදන්නේ ආර්ථිකමය ස්ථාවරත්වයක් ඇති කිරීමට මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් තුළින් හෝ සංහිඳියාව කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා එවැනි තත්ත්වයක් තුළ විටින් විට මෙවැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.

මාලිමා ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ අලුත් බලාපොරොත්තුවක් තිබුණා. සංහිඳියාව ගැන ජනතාව තිබූ බලාපොරොත්තුවත් සුන් වෙලා තියෙනවා කියලාද ඔබ ඔය කියන්නේ..?

දැනට තිබෙන තත්ත්වය අනුව එම බලාපොරොත්තුව සුන් වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ආණ්ඩුව හිතන්නේ 2028 වන තුරු මේ ප්‍රශ්නවලට අත නොගසා ආර්ථිකය කළමනාකරණය කිරීම එකම මාර්ගය යැයි සිතමින් කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට වැරදුන තැනත් ඔතැන තමයි. ආර්ථිකය කළමනාකරණය කිරීම මගින් සියලුම ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි යැයි සිතනවා. ඒකෙන් රටේ ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නෑ. ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න හතරක් තියෙනවා. එකක් තමයි ණය සහ ආර්ථික අර්බුදය. දෙක දූෂණය. තුන අකාර්යක්ෂමතාවය. හතර ස්ථාරත්වය. ස්ථාවරත්වය කියන දේ ගැටගැසී ඇත්තේ සංහිඳියාව හා දේශපාලන විසඳුමක් කියන දේ මත. උදාහරණයක් ලෙස රට බංකොලොත්වීමට හේතුවලින් එකක් තමයි තිස් අවුරුදු යුද්ධයට වෙන් කළ මුදල්. එම සාධකය සැලකිල්ලට ගන්නේ නැතිව ආර්ථිකය බංකොලොත්වීම ගැන විතරක් හිතන විට ඒකට තුඩු දුන් අනෙක් දේවල්වලට විසඳුම් හොයන්නේ නෑ. ඒක අපේ චින්තනයේ තියෙන ප්‍රශ්නයක්.

හැම ප්‍රශ්නයකදීම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිත් කතාකරලා ඒවා කළමනාකරණය කිරීමට උත්සාහ ගන්නවා. මෙතැනත් වෙලා තියෙන්නේ ඒ වගේ දෙයක්ද..?

මේ ආණ්ඩුව කියන්නේ, ජනතා විමුක්ති පෙරමුණ හෝ මාලිමාව නෙමෙයි. මේ ආණ්ඩුව කියන්නේ අනුර කුමාර දිසානායක. අනුර කුමාර දිසානායකගේ දේශපාලනය පදනම්වෙලා තියෙන්නේ අනුරවාදය මත. අනුරවාදය පදනම්වෙලා තියෙන්නේ ජනකාන්තවාදය මත. ඒ ජනකාන්තවාදයේදී ප්‍රශ්නයක් ආවාම ඒ පුද්ගලයාම ඇවිත් උත්තර දෙන්න වෙනවා. හැබැයි ඔහුටත් මේවාට විසඳුම් නෑ. ඕක කොච්චර කාලයක් කරන්නද. තමන් ඉන්ද්‍රජාලිකයෙක් නෙමෙයි කියලා අනුර පාර්ලිමේන්තුවේදී කියලා තියෙනවා. නමුත් අනුර ඉන්ද්‍රජාලිකයෙක් විදියට තමයි හැසිරෙන්නේ. රටේ තියෙන සංකීර්ණ ප්‍රශ්නවලට එහෙම එක පුද්ගලයෙක්ට විසඳුම් හොයන්න බෑ. නමුත් ඔහු කරන්නේ පාර්ලිමේන්තුවට ඇවිත් සීනි බෝල කතාවක් කියලා ප්‍රශ්නය මග හැරලා යන එක. මේක අද ඊයේ වෙන දෙයක් නෙමෙයි. මීට කලින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ ප්‍රශ්නය ආවා. පනත ගෙනැල්ලා නායක හාමුදුරුවෝ ඉස්සරහට ගිහින් ඒක කරන්නේ නෑ කිව්වා. එල්.ජී.බී.ටී. ගැන ප්‍රශ්නය ආවාම මම කරන්නේ නෑ කිව්වා. මේකට රාජ්‍යයක් විදියට වැඩ කරනවා මිස තනි පුද්ගලයෙක්ට විසඳන්න පුළුවන් ප්‍රශ්න නෙමෙයි ලංකාවේ තියෙන්නේ කියපු නුදුරේදීම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා තේරුම් ගනීවි.

ත්‍රිකුණාමලය සිදුවීම පදනම් කරගෙන සංහිඳියාව පැත්තෙන් ආණ්ඩුව කළ යුත්තේ කුමක්ද.?

ආණ්ඩුව කළ යුත්තේ නැවත වරක් අර හතලිහ හයයෝජනාව අනුව කටයුතු කිරීමයි. මංගල සමරවීර ජිනීවාවලදී ගෙනා යෝජනාවේදීත් තිබූ සංක්‍රාන්තික යුක්තිය ගැන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එකක් තමයි තොරතුරු දැනගැනීම. දෙමළ සමාජය තුළ තිබෙන නොසංසිඳෙන දුක් ගැනවිල්ල මුලින්ම සුද්ද කරලා තියන්න ඕන. ඒකට තමයි අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවා තියෙන්නේ. අතුරුදන් වූවන්ගේ කාර්යාලයෙන් ලැබෙන තොරතුරු අනුව වන්දි ගෙවන්න ඕන. ඒ වගේම එල්.එල්.ආර්.සී. කොමිසමේ තියෙන බරපතළ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ සිදුවීම්වලට උත්තර සෙවිය යුතුයි. ඒ වගේම තමයි මේ වගේ දේවල් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අරගෙන එන්න ඕන. ආණ්ඩුව මේ හතර ක්‍රියාත්මක කිරීමට සූදානම් නැති බව තමයි පේන්න තියෙන්නේ.

ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සමාජ අතර අභ්‍යන්තරික සාකච්ඡාවක් ඇති කළ යුතුයි. ඒක තමයි සංහිඳියාව කියන්නේ. සිංහලයා දෙමළ හා මුස්ලිම් ජනතාව ගැන අවිශ්වාසයෙන් ඉන්නවා. දෙමළ මනුස්සයා සිංහල මුස්ලිම් අය ගැන අවිශ්වාසයෙන් ඉන්නවා. අවිශ්වාසය පදනම් කරගත් සමාජයක් තමයි තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකික ජාතියක් ගොඩ නගන්නේ නැතිව මේ රටට ඉස්සරහට යන්න බෑ. ඊශ්‍රායලයෙන් මේකට උදාහරණ ගන්න පුළුවන්. ඊශ්‍රායලයේ හමාස්වරු ත්‍රස්තවාදීන් කියලා තලන්න හැදුවට ඒක කරන්න බැරි වුණා. ලංකාවේත් මේ වගේ තත්ත්වයක් තමයි තියෙනනේ. ඒ නිසා යටින් තියෙන ගින්නට ගැඹුරු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. මේ ගැඹුරු වැඩපිළිවෙළ එක්සත් ජාතික පක්ෂ රජයන් 2001 දී වගේම 2022 දීත් යම් ක්‍රියාවලියක් අරගෙන ආවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ක්‍රියාවලිය ඉදිරියට අරගෙන යනවා වගේ මේ ක්‍රියාවලියත් ඉදිරියට අරගෙන යන්න ඕන. ඒක ගෙනියන්නේ නෑ. මේවා කරන්න ගිහින් දේශපාලනිකව ජනප්‍රියභාවය අඩුවෙයි කියලා ජනාධිපතිවරයා හිතන නිසා. මේක හරියට මග සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹුව නසී වගේ තත්ත්වයක්. මේක රටේ ආර්ථික අස්ථාවරත්වයටත් බලපානවා. මේකට විසඳුම් ගෙනාවොත් දේශපාලනික ජනප්‍රියභාවය අඩුවිය හැකියි. මේ දෙක මත දෝලනය වෙමින් තමයි ආණ්ඩුව ඉන්නේ.

-අරුණ-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 6
බෙදාගන්න
ශ්‍රී ලාංකේය සමාජය වහා ගිනි ඇවිලෙන සුලුයි | Lanka Newsweek