අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ශ්‍රී ලංකාව පාලනය කළ හිටපු ජනපතිවරුන් එකම වේදිකාවේ - වංචා දුෂණ නවත්වන හැටි කියති

ශ්‍රී ලංකාව පාලනය කළ හිටපු ජනපතිවරුන් එකම වේදිකාවේ - වංචා දුෂණ නවත්වන හැටි කියති

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ 45 වැනි ජාතික සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.එහිදී 1994 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ හිටපු ජනපතිවරුන් සහභාගීවූ විද්වත්…

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ 45 වැනි ජාතික සමුළුව ශ්‍රී ජයවර්ධනපුර මොනාර්ක් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි.එහිදී 1994 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ හිටපු ජනපතිවරුන් සහභාගීවූ විද්වත් කතිකාවක්ද පැවැත්විණි.

ඒ සඳහා හිටපු ජනපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ වෙත ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය ආරාධනා කර තිබිණි.

එහෙත් අවසාන මොහොතේ මහින්ද රාජපක්ෂ ට කතිකාවට සහභාගීවීමට හැකියාවක් නොමැති බවට දන්වා ඒවා ඇතැයි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය පැවැසුවේය. ඒ හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හැර අනෙක් ජනපතිවරු තිදෙනා කතිකාවට සහභාගී වූහ.

දැන්වීම

රටක් පාලනය කළ ජනාධිපතිවරුන් තිදෙනකු එකම වේදිකාව ඔවුන්ගේ පාලන සමයේ අභියෝග සහ ගැටලු‍ පිළිබඳ කතා කිරීම සඳහා මෙලෙස වේදිකාවට එකවර ගොඩවන්නේ ආසියාවේ ප්‍රථම වතාවට බවත් ලෝකයේ තෙවැනි වතාවට බවත් කතිකාව මෙහෙයවූ ව්‍යාපාර ලෝකයේ පිළිගත් ප්‍රධාන චරිතයක් වන මහේන්ද්‍ර ජයසේකර පැවැසුවේය. මීට පෙර මෙවැනි වැඩසටහනක් සංවිධානය කර තිබුණේ ඇමෙරිකාව සහ ස්පාඤ්ඤය පමණක් බවද ඔහු ප්‍රකාශ කළේය.

රජය පාලනය සහ දේශපාලනය යන තේමාව යටතේ කතිකාව පැවැති අතර පාලන සමයේදී ජනපතිවරුන් ලද අත්දැකීම් බෙදාහදා ගැනීම එහි අරමුණ විය.

චන්ද්‍රිකා ගෙන් ඇසූ පළමු ප්‍රශ්නය ...

ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා සෝවියට් දේශය අතර පැවති බල අරගලය අවසානයේ ලෝකයේ රටවල් බලය ලබාගන්න උත්සාහ කරද්දී ශ්‍රී ලංකාව සිටි තත්වයත් සමග ලෝකයේ රටවල් සමග සබඳතාව ගොඩ නගා ගැනීමට හැකියාව ලැබුණේ කෙසේද ? හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගෙන් ඇසූ පළමු ප්‍රශ්නය විය.

තමන් ජනාධිපති ධුරය බාර ගන්නා අවස්ථාවේදී එල්ල වී තිබූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම චෝදනා හේතුවෙන් ජාත්‍යන්තරයේ හොඳ ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාවට නොතිබූ බව එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පැවැසුවාය.

පසුව එම තත්වය යහපත්වුවත් මුල් අවස්ථාවේදී සුළු ජාතීන් සහ ප්‍රධාන විපක්ෂයට එරෙහිව සිදුවූවා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව ජාත්‍යන්තරයේ කතා බහට ලක්වූ බව ඇය පැවැසුවාය. ඒ හේතුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව සතුටු කිරීමට පමණක් නොව අපේ රටේ මිනිසුන් වෙනුවෙන්ද කළ හැකි පළමු දෙය වූයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය ස්ථාපිත කිරීම බවත් එය සාර්ථක කර ගැනීමට හැකිවූ බවත් ඇය ප්‍රකාශ කළාය.

එසේම මූලික අයිතිවාසිකම් වෙනුවෙන් නීති රැසක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමටද සිය පාලන සමයේදී හැකියාව ලැබුණු බවද ඇය පැවැසුවාය. ඒ සමග ලෝකය ශ්‍රී ලංකාව පිළිබඳව වෙනස් ආකාරයකින් බැලීමට පටන් ගත් බවත් සිය රජය ප්‍රධාන ගැටලුවලට විසඳුම් රැගෙන පැමිණි බවත් ඇය පැවසුවාය.

ඉන්දියාව සහ අනෙක් රටවල් මෙරට ජනවාර්ගික ගැටලු‍වට මෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවලට සිය රජය ඉදිරිපත් කළ විසඳුම්වලට සතුටු වූ බව කුමාරතුංග පැවැසුවාය. එසේම සිය පාලන සමයේදී ස්වාධීන විදෙස් ප්‍රතිපත්තියක් තිබූ බවද ඇය ප්‍රකාශ කළාය.

මෛත්‍රීපාල සිරිසේන ගෙන් නැගූ පළමු ප්‍රශ්නය ..

ජනපති ධුරය බාර ගත් අවස්ථාවේදී පැවැති සභාග රජයේ දේශපාලන ගැටුම් නිතර තිබුණා, විවිධ වෙනස්කම් රැසක් සිදුවුණා, අභියෝග තිබුණා මෙවන් පරිසරයක රජයේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීමට එල්ල වූ බලපෑම කුමක්ද? ලෝකයේ රටවල් ඔබගේ පාලනය දැක්කේ කෙසේද? හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් නැගූ පළමු ප්‍රශ්නය විය.

පශ්චාත් යුද සමයක රාජ්‍ය පාලනය ඉතාමත් අපහසු කාර්යයක් බවත් එවන් පසුබිමක දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක ගෙන් පසුව ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් සමග වැඩකළේ, සහයෝගය දුන්නේ, ගිවිසුම් අත්සන් කළේ තමාගේ පාලන සමයේදී බවත් මෛත්‍රීපාල සිරිසේන එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පැවැසුවේය. 

පාලනය බාර ගන්නා විට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ඇතුළු බොහෝ දෙනා සම්පූර්ණයෙන් ශ්‍රී ලංකාවේ ඈත්වී සිටි බවත් පෙර බලයේ සිටි පාලකයන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙන්ම බොහෝ රටවල්වලට බොරු පොරොන්දු දීම ඊට හේතුව වූ බවත් සිරිසේන ප්‍රකාශ කළේය.

එවකට සිටි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා 2009 වසරේදී ලංකාවට පැමිණි බවත් එහිදී ඔහු 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව එහිදී සඳහන් කළ බවත් සිරිසේන පැවැසුවේය. එම අවස්ථාවේදී මෙරට පාලකයන් 13 වැනි සංශෝධනයට වැඩි යමක් උතුරට දෙන බවට පොරොන්දුවූ බවත් එවැනි බොරු පොරොන්දු නිසා ජාත්‍යන්තරය ලංකාව සමග අමනාප වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

සමහර ඇමැතිවරුන් ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිදාගෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයට විරෝධය පළකළ බවත් නව නීදන් පිල්ලේ මහා කොමසාරිස්වරිය ලංකාවට පැමිණි අවස්ථාවේ එවකට නියෝජ්‍ය ඇමැතිවරයකු නවනීදන් පිල්ලේ විවාහ කරගන්න තියෙනවා නම් හොඳයි කියා පැවැසූ බවත් මෙවැනි ක්‍රියා හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ බොහෝ පිරිස් ශ්‍රී ලංකාව සමග අමනාප වූ බව ඔහු පැවැසුවේය. 

මෙවන් පසුබිමක ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීමට විශාල කාර්යභාරයක් කිරීමට සිදුවූ බවත් සිය පාලනයේදී ජාත්‍යන්තරයේ සහාය සාර්ථකව නැවත වරක් ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකිවූ බවත් ඔහු පැවසීය.

රනිල් ගෙන් පළමු වටයේදී නැගූ ප්‍රශ්න ...

ලෝක බල අරගලයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදනයට සහ ක්‍රියාත්මක කිරීමට බලපෑමක් එල්ල වෙනවාද? සහාය ගන්නා ලෝක ප්‍රජාවගෙන් අපි කුමක් කළ යුතුද? හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පළමු වටයේදී නැගූ ප්‍රශ්න කීපයක් විය.

තමන් හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන මෙන් ජනපති ධුරයට තේරී පත්වූ අයකු නොවන බවත් කවුරුත් බාර ගැනීමට අකැමැතිවීම හේතුවෙන් හිස්වූ ජනපති පුටුවේ තමන් අසුන්ගත් බවත් වික්‍රමසිංහ එම ප්‍රශ්නවලට පිළිතුරු දීම ආරම්භ කරමින් පැවැසුවේය. 

බංකොලොත් වූ රටක් තමන් බාරගත් බවත් එම රට අද පවතින තත්වයට ගෙන ඒමට විශාල කාර්යභාරයක් ඉටුකළ බවත් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව ගොඩගත් කාන්තාවන් තිදෙනා ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජි‍යේවා සහ ජැනට් යෙලන් හඳුන්වාදෙන බව කී රනිල් වික්‍රමසිංහ, එසේම තවත් රාජ්‍ය නායකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා සහාය දුන් බවද පැවසීය.

මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ක මුදලක් අවශ්‍ය බව තමන් ප්‍රකාශ කළ බවත් ඒ හේතුවෙන් තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඒමට සිදුවූ බවත් ඔහු පැවැසුවේය. 

ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් නොව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කොන්දේසි පැනවූ බවත් රට ගොඩගැනීම සඳහා එම කොන්දේසිවලට එකඟවීමට සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට හොඳ ගිවිසුමක් දී තිබෙන බවද ඔහු පැවැසුවේය.

වංචාව හා දූෂණය සම්බන්ධයෙන්.

මෙම කතිකාව වට තුනකින් සමන්විත වූ අතර, තෙවැනි වටයේදී මෙරට ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ වංචාව හා දූෂණය සම්බන්ධයෙන් ජනපතිවරුන් තිදෙනාට මහේන්ද්‍ර ජයසේකර ප්‍රශ්න ඉදිරිපත් කළේය.

එහිදී සිය පාලන සමයේදී වංචාව සහ දූෂණය වැළැක්වීම සඳහා ගත් ක්‍රියාමාර්ග ජනපතිවරු තිදෙනාම පැහැදිලි කළහ. එහිදී හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ ඇමතිවරයකු අමාත්‍ය ධුරය සඳහා පත්වූ පසු ඔහු පවුලේ සියල්ලන් අමාත්‍යාංශ ධුර සඳහා ගැනීම ද දූෂණයක් බවයි. වංචාව සහ දූෂණය වැළැක්වීම සඳහා ගන්නා පියවර පාසලින් ආරම්භ විය යුතු බවත් පළමු වසරේ සිට ළමයාගේ මනස හැඩගැස්විය යුතු බවත් ඇය පැවැසුවාය. මෙරට දූෂණ වැළැක්වීම සඳහා ප්‍රමාණවත් නීති තිබෙන බව තමන්ගේ විශ්වාසය බවද ඇය ප්‍රකාශ කළාය. එම නීති ක්‍රියාත්මක කිරීමට පද්ධතියක් සහ ක්‍රියා පටිපාටියක් තිබිය යුතු බවද ඇය පැවසුවාය.

මෙරට දූෂණ විශාල වශයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී සිදුවන බවත් වරක් තමන් අග්‍රාමාත්‍යවරයාව සිටි අවධියේදී ව්‍යාපාරිකයකු ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක් රැගෙන ටෙන්ඩරයක් ලබාගැනීමට පැමිණි බවත් තමන් එම ව්‍යාපාරිකයා බැණ එළවාගත් බවත් කුමාරතුංග පැවැසුවාය. එවකට ඇමැතිවරියකගේ ස්වාමි පුරුෂයකු එම ව්‍යාපාරිකයා රැගෙන ආ බවත් පගාවට විරුද්ධ වීමට පුද්ගලයාගේ සිත තුළ ශක්තියක් ගොඩනැගිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය. එය පාසලින් ආරම්භ විය යුතු බවද ඇය පැවැසුවාය.

අවුරුදු 74ක් රට පාලනය කරපු පාලකයන් රට විනාශ කළා යන අරගලයේ සටන් පාඨයට තමන් විරුද්ධ බව තෙවැනි වටයේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේය. දේශපාලකයන්ට පමණක් වංචා සහ දූෂණය පිළිබඳ දොස් කියා පලක් නොමැති බවද ඔහු පැවැසුවේය.

''වංචාව හා දූෂණය නැති කිරීම සඳහා නීති පමණක් ප්‍රමාණවත් නැහැ'' - රනිල් 

අවුරුද්දකින් වංචාව හා දූෂණය අවසන් කරන බවට බොහෝ පාලකයන් පොරොන්දු දුන්නත් කිසිවකුට එය ඉටුකිරීමට නොහැකිවී තිබෙන බව තෙවැනි වටයේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය. වත්මන් ජනපති දූෂණ විරෝධී නීති පිළිබඳව කතා කළත් වංචාව හා දූෂණය නැති කිරීම සඳහා එම නීති පමණක් ප්‍රමාණවත් නොවන බව ඔහු පැවැසුවේය. පිටරට සඟවා තබා ඇති මුදල් මෙරටට ගෙන ඒමට ප්‍රථමයෙන් එම මුදල් සඟවා ඇති තැන් සොයා ගත යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. හඳුනාගත්තත් එම මුදල් ගෙන ඒම ප්‍රශ්නයක් බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ ප්‍රමාණවත් නිලධාරී පිරිසක් නොමැතිවීම ද බරපතළ ගැටලුවක් බවත් ඔහු කීවේය.

ශ්‍රී ලංකාවට වංචාව හා දූෂණය තුරන් කිරීමට හැකියාව තිබෙන බවට තමන් විශ්වාස කරන බවත් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

එහිදී චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කර සිටියේ මෙරට හිටපු පාලකයකුගේ තරුණ පුත්‍රයකු ඩුබායි බැංකුවේ සැඟවූ ඩොලර් මිලියන 1000 ක් 2015 වසරේදී සොයාගත් බවත් නමුත් එවකට ප්‍රමාණවත් නීති නොතිබීම හේතුවෙන් එම මුදල් මෙරටට ගෙන්වා ගැනීමට අපොහොසත් වූ බවත්ය. තමන් ඩුබායි බැංකුවේ මුදල් තැන්පත් කළ රිසිට්පත්වල පිටපත් තමන් ඇසින් දුටු බවද ඇය ප්‍රකාශ කළාය. ඒ ආකාරයෙන් විදේශයන්හි සැඟවූ සල්ලි අපහසුවෙන් හෝ සොයාගත හැකි වුවත් එම සල්ලි මෙරටට ගෙන එම ඉතාමත් සංකීර්ණ බවද ඇය පැවැසුවාය.

එම අවස්ථාවේ කුමාරතුංග ගේ ප්‍රකාශයකට අදහස් එකතු කරමින් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ එවැනි තොරතුරක් ලැබුණත් මුදලේ වටිනාකම සොයා ගැනීමට නිලධාරීන් අපොහොසත්වූ බවය. පිටරට සඟවා ඇති මුදල් අපහසුවෙන් හෝ සොයා ගත්තත් එම මුදල් මෙරටට ගෙන්වීම සඳහා අවම වශයෙන් වසර 10 කට වැඩි කාලයක් ගතවන බවද ඔහු පැවැසුවේය.

අමාත්‍යවරයකුට එම අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුදැනුම නොමැතිව සොරකම් කළ නොහැකි බවත් ඇමැති සොරකම් කරනවිට එම නිලධාරීන් දෙදෙනාත් සොරකම් කිරීමට පෙළඹෙන බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කතිකාව අවසන් කරමින් ප්‍රකාශ කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 7
බෙදාගන්න
ශ්‍රී ලංකාව පාලනය කළ හිටපු ජනපතිවරුන් එකම වේදිකාවේ - වංචා දුෂණ නවත්වන හැටි කියති | Lanka Newsweek