ශ්‍රී ලංකාවේ අර්බුදය- චම්පික සහ අනුර..!

(වික්ටර් අයිවන්) මා කලක් ජනතා විමක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය යන ව්‍යාපාර දෙක හඳුනා ගෙන තිබුණේ සිංහල බෞද්ධ අයිතිය සදහා තරඟ කරන, ශ්‍රී ලංකාවේ සිංහල මතවාදී තලය පසුගාමී කිරීමට දායකවූ, සිංහල බෞද්ධ වර්ග…
(වික්ටර් අයිවන්)
මා කලක් ජනතා විමක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරුමය යන ව්‍යාපාර දෙක හඳුනා ගෙන තිබුණේ සිංහල බෞද්ධ අයිතිය සදහා තරඟ කරන, ශ්‍රී ලංකාවේ සිංහල මතවාදී තලය පසුගාමී කිරීමට දායකවූ, සිංහල බෞද්ධ වර්ග වාදයට, විමුක්තිකාමී සහ රණකාමී වේශයක් ලබා දුන්, ශ්‍රී ලංකාවේ යහපතට හේතුවන සැබෑ ප්‍රතිසංස්කරණ ඇතිවීම වළකා ලූ, සම්ප්‍රදායි දේශපාලන පක්ෂවලට වඩා වෙනස් සිංහල සමාජයේ පීඩිතයින්ට මුල් විහිදී ගිය සටන්කාමී එහෙත් පසුගාමී දේශපාලන ධාරා දෙකක් ලෙසය.
සිංහ ධජය තමන් වෙත හිමි කර ගැනීම ගැනීම සදහා මේ ව්‍යාපාර දෙක අතර එක කාලයකදී ලොකු පොරයක් තිබුණි. එම ධජයේ කිසියම් පංගුවක් අනුර කුමාර අත තිබුනු අතර ඉතිරි පංගුව තිබුණේ චම්පික රණවක අතය. අවසානයේ මහින්ද රාජපක්ෂ එම ධජයේ එකම හිමිකරුවා බවට පත්වූ අතර ඒ ක්‍රියාදාමය මත උදුරා ගැනීමක් සේම කැමැත්තෙන් භාරදීමක් යන ලක්ෂණ දෙකම අඩංගු වී තිබුණේ යැයි කිව හැකිය. මේ දෙපාර්ශවය මහින්ද රාජපක්ෂ බලයට ගැනීම සදහා තීරණාත්මක කාර්‍ය්භාරයක් ඉටු කළේය. ඒ දෙපිරිස නොවේ නම් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ වර්ජනය තිබියදීත් 2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ පරාජය වන්නට ඉඩ තිබුණි.
සිංහ ධජය සඳහා පොරය
මහින්ද රාජපක්ෂ ජනාධිපති වී ඔහු සිය දේශපාලන බල අධිකාරිය ශක්තිමත් කර ගැනීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ පාලනය සමග පවත්වා ගෙන ආ සන්ධානයෙන් ඉක්මනින් ඉවත් විය. ඊට වෙනස්ව චම්පික රණවකගේ හෙළ උරුමය එම ආණ්ඩුවෙන් ඉවත් වූයේ අවුරුදු 10 කට පසුවය. ඉන්පසු බොහෝ දේ සිදුවු අතර 2015 පරාජයවූ මහින්ද රාජපක්ෂ වෙනුවට 2019 අවසානය්දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වී මහින්ද රාජපක්ෂ අත තිබූ සිංහ ධජය ගෝඨාභය රාජපක්ෂ අතට මාරු විය. එම ධජය මේ වන විට තිබෙන්නේ ඔහු අතින් ද ගිලිහෙන තත්ත්වයකය.
දැන්වීම
ඒසේ ඔහු අතින් ගිලිහෙන සිංහ ධජය තමන් වෙත හිමි කර ගැනීමේ ආශාවක් අනුර කුමාරට ඇතිවී, ඔහු ඒ අරමුණ ඉටු කර ගැනීම සදහා ඊට ගැළපෙන ලෙස ඇඳුම් මාරු කර ගනිමින් සිටින බව පෙනේ. ඒ සමග ඔහුට සහ ඔහුගේ ව්‍යාපාරයට අවංක ලෙස හෝ මූනිච්චාවට ඇති කර ගෙන තිබූ බහුත්වවාදි ගුණධර්මද ඉකමනින් අත් හරින්නට සිදු විය හැකිය.
ඉතාමත් පුදුම සහගත දේ වනුයේ චම්පික රණවක ඊට වෙනස්ව 2015 තෝරා ගත් මාර්ගයේම ඊට තරමක් වෙනස් ආකාරයකට ගමන් කිරීමට හිත හදා ගෙන සිටීමය. ඔහුගේ ගියර් මාරුව සහ එතැන් සිට පවත්වා ගෙන යමින් තිබෙන වෙනස්කම් අවංකද නැද්ද යන්න තවමත් කිව නොහැකිය. රටේ සුළු ජාතින්ගේ විශ්වාසයට හේතු නොවීම රටේ අනාගත නායකත්වයට ඉව අල්ලමින් සිටින මෙම නායකයින් දෙදෙනාටම ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැළකිය හැකිය.
චම්පික රණවක සිය සංදර්ශනය පැවැත්වීම සදහා තෝරා ගෙන තිබුණේ ද අනුර කුමාර ඔහුගේ සංදර්ශනය පවත්වන ලද ශාලාවම ය. අනුර කුමාර, සිය සංදර්ශනය වර්ණවත් කරන හේවිසි කණ්ඩායම ලෙස ජාතික ජන බලවේගය යොදා ගන්නා විට චම්පික රණවක එම කාර්‍යය සදහා 43 වැනි සේනාංකය යොදා ගත්තේය. අනුර කුමාර තමන්ගේ දේශනයට අතිරේකව "අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශයක්" නමින් පොත් පිංචක්ද පළ කර තිබුණි. චම්පික රණවක ද සිය දේශනයට අතිරේකව අර්බුදය සහ එම අර්බුදය ජය ගත යුතු මාර්ගය විග්‍රහ කිරීම සදහා "ගොඩ එමු-ගොඩ නගමු" යන හිසින් පොත් පිංචක් පළ කර තිබුණි.
මෙම සංදර්ශන දෙක අතුරින් බාහිර පෙනුම අනුව නම් වැඩි ලකුණු ලැබිය යුත්තේ අනුර කුමාරගේ සංදර්ශනයටය. නායකයින් දෙපල කරන ලද කථා දෙක අතරින් චම්පික රණවකගේ කථාව වඩා අර්ථවත් සේම බරසාරය. අනුර කුමාරගේ ප්‍රවේශය වුයේ ශ්‍රී ලංකාව ගලවා ගැනීමේ හැකියාව ඇත්තේ තමන්ට සහ තම පක්ෂයට පමණක් බව පෙන්නුම් කොට රට අපට භාර දෙන ලෙසත් රට භාර ගන්න අප සූදානම් බවත් කියා සිටීමය. චම්පික රණවක ඊට වෙනස්ව අර්බුදය ජය ගැනීම සදහා පුළුල් ජාතික සම්මුතියක් සහ ඒ සදහා ඒකාබද්ධ වැඩ පිළිවෙළක අවශ්‍යතාව ගැන කථා කළේය. ඒ ප්‍රවේශ දෙක අතරින්ද චම්පික රණවකගේ ප්‍රවේශය අනුර කුමාරගේ ප්‍රවේශයට වඩා පුළුල් බව කිව යුතුය.
මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී ඔහු පරාජය කිරීමේ ප්‍රශ්නය මේ වන විට රට මුහුණ දී තිබෙන අර්බුදයට වඩා කුඩා ප්‍රශ්නයක් ලෙස සැළකිය හැකිය. එසේ තිබියදීත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නය ජය ගැනීම සදහා 2010 දී ඍජු ලෙස පොදු පෙරමුණක් සහ පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන්ද නැවත 2015 දී පොදු අපේක්ෂකයෙකු වෙනුවෙන් අනියම් ලෙසද ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියේය. මහින්ද රාජපක්ෂ පරාජය කරන්නට ජාතික එකසත් පෙරමුණක් අවශ්‍ය බව එදා කියා සිටී ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ ප්‍රශ්නයට වඩා සිය දහස් ගුණයක් තරම් විශාල අර්බුදයක් ලෙස සැළකිය හැකි මේ වන විට රට මූහුණ දී තිබෙන අර්බුදය විසඳන්න කල්පනා කරනුයේ පොදු ජාතික එකඟතාවයක් නැතිව තනි පක්ෂයක් ලෙසය..!
එක යුගයක් අවසන් වීම
චම්පික රණවක ඉදිරිපත් කරන විසඳුම් ගැන කතා කරන්නට පෙර විශාල අර්බුදයක කරවටක් ගිලී සිටින මේ තීරණාත්මක අවස්ථාවේදී දේශපාලන නායකයින් සහ ව්‍යාපාර ගැන මා කරනු ලබන විවේචනයන්ගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි කිරීම වැදගත් වේ යැයි සිතමි. මා ඔවුන්ගේ තරඟකරුවකු නොවන අතර බල දේශපාලන ව්‍යාපෘතියක කොටස් කරුවකුද නොවෙමි. විවේචනය කරන්නේ විනාශ කිරීමේ අරමුණින් නොව දේශපාලන තලය මුවහත් කිරීමේ අරමුණිනි. වර්තමානයේ රටක් ලෙස අප මුහුණ දී තිබෙන අර්බුදය ක්‍රියාකාරි ශක්තියෙන් පමණක් ජය ගත හැකි අර්බුදයක් ලෙස සැළකිය නොහැකිය. ඒ සඳහා පරිකල්පනය දියුණු කර ගැනීම ද අවශ්‍යය. පරිකල්පනය දියුණු කර ගත හැක්කේ කරුණු හැදෑරීමෙන්, ඒ කරුණු විග්‍රහ කිරීමෙන්, ඒවා සංවාදයට සහ වාද විවාදයන්ට ලක් කිරීමෙනි. මා කරන්නේ ඒ සදහා සුදුසු මතවාදි පසු තලයක් ඇති කිරීමට උත්සාහ කිරීමය.
හොඳට හෝ නරකට එක යුගයක් අවසන් වෙමින් නව යුගයක් උදාවෙමින් පවතී. ඒ ක්‍රියාදාමයේ දී වෙනස් වන්නට කැමති නැති අධාන ග්‍රාහි දේශපාලන නායකයින් සේම දේශපාලන ව්‍යාපාර ද විනාශ වීමට නියමිත ය. මගේ මතය අනුව මේ අර්බුදය හොඳට හෝ නරකට අවසන් වන අවස්ථාව වන විට පරණ දේශපාලන නායකයින් අතරින් අල්ලා ගෙන සිටීමට හැකි වනු ඇත්තේ අතලොස්සකට පමණය. ඒ ධර්මතාව දේශපාලන ව්‍යාපාරවලටද බලපානු ඇත. එවිට දේශපාලන තලයේ වැඩි පංගුව සමන්විත වනු ඇත්තේ අලුත් නායකයින්ගෙන් සහ අලුත් ව්‍යාපාරවලිනි. ඔවුන්ගේ ද සාර්ථක හෝ අසාර්ථක භාවය රදා පවතිනු ඇත්තේ නිර්භීත ලෙස තීන්දු ගැනීමට තිබෙන හැකියාව, අවංකකම සහ පරිණත භාවය යන සාධක මතය.
කුරුස යුද්ධය යුරෝපයේ අවසාන ආගමික යුද්ධය වුවා සේ වර්ගය සහ ආගම මුල් කර ගත් අවසාන මැතිවරණය වනු ඇත්තේද 2019 ජනාධිපතිවරණය සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණ යයි. ඊට පසු මහා වර්ගය හෝ මහා ආගම මත පමණක් පදනම් වී මැතිවරණ ජය ගැනීමට කිසිම පක්ෂ ව්‍යාපාරයකට නොහැකි වනු ඇති අතර ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ මහජනයාගේ පිළි ගත් නායකයින් සහ පක්ෂ බවට පත්වීමට හැකි වනු ඇත්තේ එක වර්ගයකට හෝ ආගමකට සීමා නොවූ භේදයකින් තොරව සියලු වර්ග සහ ආගම්වලට අයත් ජනයා එක සමාන අයිතිවාසිකම් ඇති එක සමාන මනුෂ්‍ය ගෞරවය ඇති මිනිසුන් ලෙස සලකා ක්‍රියා කරන නායකයින්ට සහ පක්ෂවලට පමණය. ඒ සුදුසුකමේදීත් අනුර කුමාර සහ චම්පික රණවක යන නායකයින් දෙදෙනාම ඉන්නේ එම සුදුසුකම සම්පූර්ණ කර ගත් තත්ත්වයක නොව සම්පූර්ණ කර ගත යුතු තත්ත්වයකය.
දැන් අපට චම්පික රණවකගේ වැඩ සටහනේ හොඳ නරක ගැන කථා කරන තැනකට යා හැකිය. ගෙවුම් ශේෂ අර්බුදය විසඳා ගැනීම සදහා ඉදිරිපත් කර තිබෙන යෝජනා නිවැරදිය. හොඳ සිහිය තිබෙන ඕනෑම ආණ්ඩුවක් ක්‍රියා කරනු ඇත්තේද, මීට පෙර ගෙවුම් ශේෂ අර්බුදවලට මුහුණ දුන් ශ්‍රී ලංකාවේ විවිධ ආණ්ඩු එම අර්බුද විසඳා ගත්තේ ද චම්පික රණවක යෝජනා කර තිබෙන ආකාරයට සමාන ආකාරයටය.
වඩාත්ම මගේ මත භේදයට හේතු වන්නේ සමාජ දේශපාලන අර්බුදයට අදාළව ඔහු ඉදිරිපත් කර තිබෙන විග්‍රහයන් සහ යෝජනාය. සමාජ ක්‍රමයේ ඇති වී තිබෙන මහා කඩා බිඳ වැටීම සහ ඊට බලපෑ ගැටුම් ආශ්‍රිත ප්‍රශ්න පදනම් කර ගත් "වර්ග, කුල, ආගම් ප්‍රශ්නය" ශ්‍රී ලංකාවේ අර්බුදය අධිනිශ්චය කෙරුණ සහ තවමත් ශ්‍රී ලංකාවේ අර්බුදය අධිනිශ්චය කරමින් තිබෙන ප්‍රශ්නය ලෙස චම්පික රණවක සළකන්නේ හෝ සළකන්නට කැමති නැති බව පෙනේ. "ගොඩ එමු-ගොඩ නගමු" යන පොත හෝ ලේඛනය චම්පික රණවක ලියන ලද හෝ ඔහුගේ අදහස් ඇතුළත් පොතක් හෝ ලේඛනයක් ලෙස සලකතොත් එහි ඔහු කියන්නේ "යුද්ධය අවසන් ය... යුද්ධ සමයේ ඇතිවූ ආවේගයන්, වේදනාවන්, වෛරයන් පමණක් නොව සමහර න්‍යායන් සහ කථිකාවන් පවා" වර්තමාන සමාජයට ගැලපෙන්නේ නැති බවය.
සුළු ජාතිකයින් නොසළකා ක්‍රියා කිරීම
අපි මොහොතකට උතුරේ දෙමළ ප්‍රශ්නය අමතක කරමු. වේළුපිල්ලේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු මුස්ලිම් ජනයාට එරෙහිව සිංහල ජනතාව අතර වෛරයක් සහ පිළිකුලක් ඇති කිරීම සදහා ආරම්භ කොට අද දක්වා විවිධ ආකාරවලට පවත්වා ගෙන යමින් තිබෙන මුස්ලිම් විරෝධී හිංසනය අවසන් නොකර තිබියදීත් රටේ යහපත සලකා මුස්ලිම් ජනයා එම හිංසනය ඉවසා සිටිය යුතු අතර ඔවුන් තමන්ට කරන ලද එම හිංසා පීඩා මුළුමනින් අමතක කළ යුතුයි කියා චම්පික රණවක හිතන්නේද..?
දෙමළ තරුණ පරපුර ආයුධ අතට ගෙන සටන් කරන තැනකට ගියේ දෙමළ ජනයාට හිමි සාධාරණ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම මගින් ඔවුන්ට අහිමි කළ මනුෂ්‍ය ගෞරවය දිනා ගැනීම සදහා නිත්‍යානුකූල සහ සාමකාමී රාමුවක එක දිගට වසර 18 ක් සටන් කොට අවසානයේ ඔවුන්ට එරෙහිව 1983 ජූලිවලදී බිහිසුණු සහ කුරිරු සංහාරයක් ක්‍රියාත්මක වීමෙන් පසුවය. 83 කළු ජූලියට පෙරද උතුරේ සන්නද්ධ කණ්ඩායම් කිහිපයක් ඇතිවී තිබුණ ද ඒවාට දෙමළ ජනතාවගේ පිළිගැනිමක් තිබුණේම නැති තරම් ය. එම දිග්ගැස්සුන බෙදුම් වාදී කැරැල්ල පරාජය කෙරුණේ අඩු වැඩි ප්‍රමාණයකට ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල පරාජය කෙරුණු කුරිරු ආකාරයටය යන කාරණය අමතක කළ ද කැරැල්ල පරාජය කිරීමෙන් පසු දෙමළ කැරලිකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතුව තිබුණේ ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ල පරාජය කිරීමෙන් පසු ඔවුන් සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් නොවේද..? ශ්‍රී ලංකාවේ වර්ග, කුල, ආගම් ප්‍රශ්නය සම්බන්ධයෙන් චම්පික රණවක සිතන බව පෙනෙන්නේ ඊට ව්‍යුහමය ප්‍රතිසංස්කරණ අවශ්‍ය නොවන කාලයාගේ ඇවෑමෙන් ඉබේ විසඳෙන ප්‍රශ්නයක් ලෙසය.
දේශපාලන ක්‍රමය ගැන
දේශපාලන ක්‍රමය ගැන චම්පික රණවක කල්පනා කරන ආකාරය ද පසුගාමීය. අලුත් ව්‍යවස්ථාවක් හදා ගැනීම විස්තර කර තිබෙන්නේ සපුරා ගැනීම ඉතා දුෂ්කර කාරියක් ලෙසය. වැඩි කැමැත්තක් ඇති බව පෙනෙන්නේ ජනාධිපති ක්‍රමයත් ආරක්ෂා කර ගෙන තිබෙන ව්‍යවස්ථාව සංශෝධනය කර ගනිමින් යන ඉදිරි ගමනක් ගැනය.
20 වැනි සංශෝධනය අහෝසි කොට නැවත වැඩි දියුණු කළ 19ක් කරළියට ගන්නා වැඩ පිළිවෙළක් ඒ සදහා ප්‍රමාණවත්වේ යැයි කල්පනා කරන බව පෙනේ. 19 වැනි සංශෝධනය නිසා අධිකරණය ස්වාධීනවීද..? එසේ නම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පැවරුණ නඩුවලදී සමහර අධිකරණවලදී සාධාරණ සහ නීතියට අනුකූලව කරුණු සලකා බලන ප්‍රතිපත්තියක් අනුගමනය නොකෙරුණේ ඇයි..? ඔහුගේ ඇමරිකන් පුරවැසිභාවයට අදාළ ප්‍රශ්නයේදී එම කාරණය ජනාධිපතිවරණයට තරඟ කරන්නට යන අපේක්ෂකයකුට අදාළ ජාතික වැදගත්කමක් ඇති ප්‍රශ්නයක් ලෙස සලකා අධිකරණය එම ප්‍රශ්නය හොඳින් කරුණු සොයා බලන තැනකට නොගියේ ඇයි..?
19 නිසා මැතිවරණ කොමිසම ස්වාධීනව ක්‍රියා කරන තත්ත්වයක තිබුණේ නම් ගෝඨාභය රාජපක්ෂගේ ඇමරිකන් පුරවැසිභාවය පිළිබද ප්‍රශ්නය, නාම යෝජනා අවස්ථාවේදී හොඳින් කරුණු පරීක්ෂාවට ලක් කෙරෙන අවස්ථාවක් බවට පත් කර ගත යුතුව තිබුණි. ඒ කාර්ය භාරය එසේ නොවූ බව අපි දනිමූ. මහජනයාගේ ආකර්ශනට හේතු වුවත් 17 සහ 19 සංශෝධනවලින් ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ඇති කරන ලද කොමිසන් සභා ක්‍රමය ශක්තිමත් අත්තිවාරමක් මත ගොඩ නගන ලද ක්‍රමයක් නොවීය. ජනාධිපති කැමතිතාක් පමණක් පැවතිය හැකි ක්‍රමයක් විය. එවැනි දුර්වල ක්‍රමයක් ගොඩ නැගෙන්නට ඇත්තේම ජනාධිපතිවරුන්ගේ පමණක් නොව එම තනතුරට පත් වීමට සිහින දකිමින් සිටි නායකයින්ද එම ක්‍රමය දුර්වල තත්ත්වයකින් ගොඩ නගනවා දකින්නට අපේක්ෂා කළ නිසා විය හැකිය.
ජනාධිපතිගේ බල පරාක්‍රමය ඉදිරියේ තමන් සිටින්නේ දුර්වල තත්ත්වයක බව මේ ක්‍රමයට තනතුරු ලබා ගෙන සිටි අය දැන සිටියේය. අවශ්‍ය අවස්ථාවලදී පාට මාරු කරන ප්‍රතිපත්තියක් ඔවුන් තෝරා ගන්නට ඇත්තේ ඒ නිසාය. මෙම කොමිසන් සභාවල සාමාජිකයින් සාමාන්‍ය කාලවලදී බලයේ සිටින ජනාධිපතිවරයාට පක්ෂපාත ලෙසත් එක්තරා ප්‍රමාණයකට ස්වාධීන ලෙසත් ක්‍රියා කළ අතර, සංක්‍රමණීය කාලවලදී සිය පැවැත්ම රැක ගැනීම සදහා බලයේ සිටින ජනාධිපති වෙනුවට බලයට එන්නට නියමිත ජනාධිපතිට පක්ෂපාතව ක්‍රියා කරන පිළිවෙතක් අනුගමනය කළේය.
දැන හෝ නොදැන මෙම ව්‍යවස්ථා සංශෝධන දෙකෙන් උත්සහ කළේ නීතියට ඉහළින් සිටින ජනාධිපති එම තත්ත්වයෙහි සිටියදීම උසස් නිලතලවලට පුද්ගලයන් පත් කිරීමේදී හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීම වළකා ඒ කටයුතු නියාමනය කිරීමය. නීතියට ඉහළින් සිටින ජනාධිපතිවරයෙකුගේ කටයුතු නියාමනය කළ හැකි වනු ඇත්තේ ජනාධිපති නීතීයට ඉහළින් සිටින තත්ත්වය අහෝසි කිරීමෙන් පසුව පමණක් බව එම සංශෝධන දෙකේ න්‍යායවාදින් තේරුම් නොගැනීම කොතරම් විහිළු සගතද..?
චම්පික රණවක ජනාධිපතිකමට සිහින දකින බව පෙන්නෙන්නේද නීතියට ඉහළින් සිටින අවලස්සන ක්‍රමයද ආරක්ෂා කර ගැනිමට හේතු වන ආකාරයටය. ජනාධිපති නීතියට ඉහළින් සිටින තත්ත්වය නැති කළ යුතු බව, ඔහු කොතැනක වත් කියා නැත. එසේ කර ඇත්තේ අමතක වීමක් නිසා විය නොහැකිය. අනුර කුමාර නම් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව කියයි. එහෙත් ඔහු එම ක්‍රමය අහෝසි කරන්නට යන බව පෙනෙන්නේ ජනාධිපතිවරණයට තරඟ කොට ජනාධිපතිකම ලබා ගැනීමෙන් පසුය..!
මෙම ලිපිය දීර්ඝ වීම වැළකීම සඳහා මා විස්තර සහිතව කථා කරන්නේ නැතත් මෙම නායකයින් දෙදෙනා ස්වාධීන අධිකරණ ක්‍රමයක් ඇති කර ගැනීම සහ ජනාධිපති ක්‍රමය මත දූෂණයෙන් කුණුවූ තත්ත්වයකට පත්ව තිබෙන පාර්ලිමේන්තුව එම තත්ත්වයෙන් මුදා ගැනීම සදහා ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ ගැන ද ප්‍රමාණවත් තරමින් අදහස් පළ කර නැති බව කිව යුතුය.
