අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විවාහ වීමේ පුරවැසි අයිතියට සීමා පැන වීම හාස්‍යජනකයි

විවාහ වීමේ පුරවැසි අයිතියට සීමා පැන වීම හාස්‍යජනකයි

පිළිකුල් සහගතයි-එම තීන්දුව තරයේ හෙළා දැකිය යුතුයි මෙවැනි නීති තිබෙන්නේ ඒකාධිපති රාජ්‍යන්වල පමණයි රටේ ප්‍රතිරූපයට නිගාවක්-අමනෝඥ පියවරක් (සුජිත් මංගල ද සිල්වා) ශ්‍රී ලාංකිකයෙකු විදේශිකයෙක් විවාහ කර…

පිළිකුල් සහගතයි-එම තීන්දුව තරයේ හෙළා දැකිය යුතුයි 

මෙවැනි නීති තිබෙන්නේ ඒකාධිපති රාජ්‍යන්වල පමණයි  

රටේ ප්‍රතිරූපයට නිගාවක්-අමනෝඥ පියවරක්

(සුජිත් මංගල ද සිල්වා)

ශ්‍රී ලාංකිකයෙකු විදේශිකයෙක් විවාහ කර ගන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට වන නව නීතියක් පනවමින්  පුරවැසියන්ට ඇති විවාහවීමේ නිදහසට සීමා පැනවීම රජය ගෙන ති තීරණය හාස්‍යජනක සේම පිළිකුල් සහගත යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

රජය ගෙන ඇති මෙම තීන්දුව දැඩි ලෙස විවේචනයට ලක් කරමින් සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකා පුරවැසියෙකු විදේශිකයෙක් විවාහ කර ගන්නේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ව අවසර සහතිකයක් ලබා ගත යුතු බවට රෙජිස්ටාර් ජෙනරාල්වරයා විසින් නිකුත් කර ඇතැයි කියන චක්‍ර ලේඛය රටේ පුරවැසියන්ගේ නිදහස සීමා කිරීම සඳහා රජය ගෙන ඇති අමනෝඥ පියවරක් ලෙස සැලකිය හැකි අතර එමෙන්ම එම තීරණය රටේ ප්‍රතිරූපයට නිගා දෙන්නක් ලෙස ද සැලකිය හැකිය. 

දැන්වීම

ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් කිසි විටෙක පුරවැසියාගේ අතිශය පෞද්ගලික නිදහසට නිති පනවන්නේ නැත. රාජ්‍ය පාලනය යනු විද්‍යාත්මක දර්ශනයක් මත පිහිටා සිදු කළ යුත්තක් විනා කුටුම්භයන්හි සාමාන්‍ය පැවැත්මට නිති පන වන ක්‍රියාකාරීත්වයක් නොවේ. ශ්‍රී ලංකාව විවාහ වීමේ නිදහසට අදාළව පනවා ඇති මෙම නව සීමා කිරීම ශ්‍රී ලාංකික පුරවැසියන්ට දෙයාකාරයකින් සැලකීමට පදනම  දැමීමකි. 

සත්‍ය වශයෙන්ම එම තීන්දුව පුද්ගල නිදහසෙහි පිහිටා කටයුතු කරන එක් පිරිසකට අදාළව වෙනස් කොට සැලකීමට ගත් පියවරක් ලෙසද සැලකිය හැකි ය. ඒ අනුව එම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ජනතාවට හිමි කර දී ඇති මූලික අයිතිවාසිකමක් අමු අමුවේම උල්ලංඝනය කිරීමට ගත් පියවරක් ද වනු ඇත. 

එවැනි අශීලාචාර සීමා කිරීම් සිදු කරන බවට වාර්තා වන්නේ ඒකාධිපති රාජ්‍ය පාලනයන් වෙතින් පමණකි. ශිෂ්ට සම්පන්න රාජ්‍යයකින් එවැන්නක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. ඒ අනුව රජයේ මෙම සීමා කිරීම ඉතාමත් ම පිළිකුල් සහගතය. විශේෂයෙන්ම විදේශීය පුරවැසියන්ට රාජ්‍ය පාලනයට සම්බන්ධවීම සඳහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සංශෝධනය කර ගැනීමට සිය බලය උපරිම අන්දමින් යොදා ගත් පාලකයින් ගෙන ඇති මෙම තීරණය කිසිසේත්ම සාදාචාර සම්පන්න නොවේ.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය රජයේ මෙම තීරණය දැඩිව ලෙස හෙළා දකින අතර රටේ ස්ථාපිත ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් පුරවැසි නිදහස ආරක්ෂා කර ගැනීමට පියවර ගනු විනා ශ්‍රී ලංකාව බාහිර සමාජයේ හාස්‍යයට ලක් වන රාජ්‍යයක් බවට පත් නොකරන ලෙසට වග කිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නෙමු. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
විවාහ වීමේ පුරවැසි අයිතියට සීමා පැන වීම හාස්‍යජනකයි | Lanka Newsweek