අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

විපක්ෂයේ සුරංගනා කතාවලින් රටට-ජනතාවට වැඩක් නැහැ

විපක්ෂයේ සුරංගනා කතාවලින් රටට-ජනතාවට වැඩක් නැහැ

මහා බැංකුව සහ එහි නිලධාරීන් නිර්මාණශීලී නැහැ ආර්ථික අර්බුදයට වග කිව යුත්තේ මහා බැංකුවයි විපක්ෂය කියන සුරංගනා කතාවලින් ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කර…

මහා බැංකුව සහ එහි නිලධාරීන් නිර්මාණශීලී නැහැ 

ආර්ථික අර්බුදයට වග කිව යුත්තේ මහා බැංකුවයි 

විපක්ෂය කියන සුරංගනා කතාවලින් ජනතාවට කිසිදු සෙතක් අත් නොවන බව හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

පොලී අනුපාතය වැඩි කිරීමට මහ බැංකුව ගත් ක්‍රියා මාර්ගය අසාධාරණ වන අතර එමගින් ජනතාවට කිසිදු සහනයක් නොලැබෙන බව ද රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

වර්තමානයේ රට පමණක් නොව ලෝකය ද කඩා වැටීමට ලක්වී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා හැර මෙරට ආර්ථිකයේ කඩා වැටීම වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව විපක්ෂයේ කිසිවෙකුත් උත්තර ඉදිරිපත් කර නොමැති බව ස ඔහු සඳහන් කර සිටියි. 

දැන්වීම

වර්තමාන අර්බුදයට විසඳුම් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහය ලබා ගැනීම යහපත් වුවද ඔවුන් විසින් පවසනු ලබන දෑ ක්‍රියාත්මක කළ යුත්තේ රටට ඔබින ආකාරයෙන් පමණක් බව ද රවි කරුණානායක මහතා පෙන්වා දෙයි.

ගෙවුණු අවුරුදු හැත්තෑ හතර මුළුල්ලේ රට කඩා වැටී තිබෙන්නේ උපතේ සිට විපත දක්වා සියලූම දේවල් ජනතාවට නොමිලයේ දීමට යාම නිසා යැයි පෙන්වා දුන් ඔහු මෙම තත්ත්වය යටතේ රට ඉදිරියට රැගෙන යන්නේ කෙසේදැයි ප්‍රශ්න කර සිටියි.

කෙසේවෙතත් වයස්ගත පුද්ගලයින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් යනාදීන්ට ආධාර ලබාදීම අවශ්‍ය කරුණක් වන බවත් ඇතැම් අවස්ථාවල ආධාර අවශ්‍ය පුද්ගලයින් වෙනුවට ඒවා වෙනත් පුද්ගලයින් කරා ගලා යාමක් සිදු වන බවත්ය ඔහු පෙන්වා දෙයි.

මෑතකදී පොලී අනුපාත වැඩි කිරීමට මහ බැංකුව ගත් ක්‍රියාමාර්ගය අසාධාරණ බව පෙන්වා දෙන රවී කරුණානායක මහතා ජනතාව එම බදු බර දරා ගන්නේ කෙසේදැයි ද ප්‍රශ්න කර සිටියි.

පොලී අනුපාතය විදුලිය සහ ජලය ඇතුළු සේවාවන්ගේ අධික මිල ඉහළ යාම නිසා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට දරා ගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් එම වාතාවරණය රටට විශාල අහිත කර තත්ත්වයක් බවත් ඔහු සඳහන් සඳහන් කරයි.

මේ වසරේ බදු ආදායම වශයෙන් බිලියන 100 ක් උපයා ගැනීමට රජය අපේක්ෂා කරන අතර එවැනි බදු මුදලක් ගෙවීමට ජනතාවට අපහසු නම් මේ ආකාරයෙන් බදු පනවන්නේ ඇයිදැයි රවී කරුණානායක මහතා ප්‍රශ්න කර සිටියි.

වැඩ කරන ජනතාවගේ ආදායම වැඩි නොවී තිබිය දී මේ ආකාරයෙන් විශාල බද්දක් පැනවීම ජනතාවට දරා ගැනීමට නොහැකි වනු ඇතැයි ද ඒ නිසා රජය මේ පිළිබඳව යළි සලකා බැලිය යුතු යැයි ද රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි. 

උද්ධමනය පාලනය කිරීම සඳහා පොළී අනුපාත වැඩි කරනවා වෙනුවට ඊට විසඳුම් සෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව නව උපාය මාර්ග ක්‍රියාවේ යෙදවිය යුතු බවත් ඔහු අවධාරණය කරයි.

මහ බැංකුව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ සධාරණ දැයි ප්‍රශ්න කළ හිටපු මුදල් අමාත්‍යවරයා රාජ්‍ය නිලධාරීන් තුළ නිර්මාණශීලී භාවය ගිලිහී ගොස් ඇති බවත් ඔවුන් තුළ නිර්මාණශීලී භාවය මතු කොට ප්‍රශ්නවලට නව මුහුණුවරකින් විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බවත් රවී කරුණානායක මහතා පවසයි.

මෙවැනි අර්බුදයන්ට නිර්මාණශීලී විසඳුම් ලබා දිය හැකි පුද්ගලයින් සිටින බවත් ඔවුන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කළ යුතු බවත් ඔහු කියා සිටියි.

රාජ්‍ය පරිපාලන කටයුතු ඩිජිටල්කරණය වීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් හිටපු මුදල් අමාත්‍යවරයා ඊට ඇතැම් රාජ්‍ය නිලධාරීන් අකමැත්තක් දක්වන බවත් එවැනි පියවරයන් මගින් අපතේ යාම් අවම කළ හැකි බවත් පවසයි.

ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා රාජ්‍ය ආයතනවලින් අනුමැතිය ලබා ගැනීම සඳහා වර්තමානයේ මාස ගණන් බලා සිටීමට සිදු වීම අයහපත් තත්ත්වයක් යැයි සඳහන් කළ හිටපු මුදල් අමාත්‍යවරයා කඩිනමින් ඊට අවශ්‍ය අනුමැතිය ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කරයි.

ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සහ ජාත්‍යන්තර රෝහල් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම මගින් දැවැන්ත විදේශ විනිමයක් උත්පාදනය කිරීමට හැකියාව ලැබෙන අතර සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්‍ර හරහා දේශීය ආදායම ඉහළ නැංවීමට හැකියාව ලැබෙන බව රවී කරුණානායක මහතා පෙන්වා දෙයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
විපක්ෂයේ සුරංගනා කතාවලින් රටට-ජනතාවට වැඩක් නැහැ | Lanka Newsweek