විපක්ෂයට ප්‍රශ්න පත්‍රයක්..!

රට කඩා බිඳ වැටුණොත් ඊට මුහුණ දෙන සූදානම් ද..? ආණ්ඩුවට කොහොමත් බැහැ වික්ටර් අයිවන් ප්‍රශ්න කරයි උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රට කඩා වැටුණොත් එම තත්ත්වයට මුහුණ දීම සඳහා වන ඉදිරි…
රට කඩා බිඳ වැටුණොත් ඊට මුහුණ දෙන සූදානම් ද..?
ආණ්ඩුවට කොහොමත් බැහැ
වික්ටර් අයිවන් ප්‍රශ්න කරයි
උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය හමුවේ රට කඩා වැටුණොත් එම තත්ත්වයට මුහුණ දීම සඳහා වන ඉදිරි දැක්මක් විරුද්ධ පක්ෂවලට තිබෙනවා දැයි දේශපාලන, ආර්ථික, සමාජ විශ්ලේෂක සහ ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා ප්‍රශ්න කර සිටියි.
රට කඩා බිඳ වැටුණොත් ඊට ආණ්ඩුවට මුහුණ දීමට තිබෙන හැකියාව තේරුම් ගැනීම අමාරු නොමැති බව පෙන්වා දෙන ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් මෙසේ ද කියා සිටියි.
"එම කඩා බිඳ වැටීම සිදු වනු ඇත්තේ කවදාද..? ඒ කඩා වැටීම ජනාධිපතිවරණයට පෙර අද සිට සමහර විට වසරකට අඩු හෝ වැඩි කාලයක දී සිදු විය හැකිය. එවැනි තත්ත්වයක් ඇති වුව හොත් ඊට ආණ්ඩුවට මුහුණ දීමට තිබෙන හැකියාව තේරුම් ගැනීම අමාරු නැත. එවැනි තත්ත්වයක් ඇති වුව හොත් ඊට මුහුණ දීම සදහා වන ඉදිරි දැක්මක් විරුද්ධ පක්ෂවලට තිබෙනවාද..? මැතිවරණයක් නැතිව බලය ගන්න යන්නේ කවර ආකාරයකටද..? මේ මොහොතේ විරුද්ධ පක්ෂවල පූර්ණ අවධානය යොමුවී තිබෙන්නේ අර්බුදය හෝ එම අර්බුදය ඇති කරන්නට නියමිත ප්‍රතිඵල ගැන නොව ඉදිරි ජනාධිපතිවරණය ගැනය. එහිදී ද ජනාධිපතිවරණය ජය ගත හොත් තමන් ඇති කරන්න යන ප්‍රතිසංස්කරණ මොනවාද යන්න ගැන ඒ කිසිවෙක් විධිමත් ලෙස කථා කරන්නේ නැත.
දැන්වීම
ජනාධිපති ක්‍රමය සම්බන්ධයෙන් අනුගමනය කරන්නට යන පිළිවෙත කුමක්ද..? ඒ ක්‍රමය පවත්වා ගෙන යනවා නම් අඩුම වශයෙන් මේ වන විට නීතියට ඉහළින් සිටින ජනාධිපති නීතියට යටත් තත්ත්වයකට පත් කරන්නේද..? ඒ මගින් ජනාධිපතිවරයෙකුගේ ක්‍රියා නීති විරෝධී වන අවස්ථාවලදී එවා අවලංගු කිරීමේ බලය අධිකරණයට ලබා දෙන්නේද..? ජනාධිපති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු එකට කල්ලී ගැසී විවිධ ක්‍රමවලට පවත්වා ගෙන යන නිතියට පටහැනි පොදු දේපළ කොල්ලය අවසන් කිරීම සදහා ක්‍රියා කරන්නේද..? ඒ සදහා ඇති කරන්නට යන ප්‍රතිපත්ති සහ විධිවිදාන මොනවාද..? පක්ෂ අරමුදල් සහ මැතිවරණ අරමුදල් පාලනයට නීති ඇති කරන්නේද..? පක්ෂවල අභ්‍යයන්තර ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සදහා නීති ඇති කරන්නේද..? බිඳ වැටී තිබෙන ජාතික සමගිය ඇති කරන්නට යන්නේ කවර ආකාරයටද..? මෙවැනි මූලික ප්‍රශ්න ගැන කල්තියා මහජනයා දැනුවත් කිරීමේ වගකීමක් විරුද්ධ පක්ෂවල තිබෙනවා නොවේද."
