විධායකය අහෝසි කිරීමට ජනපති දරන උත්සාහයට සාධාරණ සමාජයේ ආචාරය

විධායකය අහෝසි කිරීමට ජනපති දරන උත්සාහයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ආචාරය පුද කර සිටින අතර ඒ සම්බන්ධයෙන් එහි මහ ලේකම් සුනිල් ජයසේකර මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය. විධායක ජනාධිපති…
විධායකය අහෝසි කිරීමට ජනපති දරන උත්සාහයට සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය ආචාරය පුද කර සිටින අතර ඒ සම්බන්ධයෙන් එහි මහ ලේකම් සුනිල් ජයසේකර මහතා නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට රජයේ ඇති සූදානම ගැන පළවන තොරතුරු අගය කරමින් එය යතාර්ථයක් කර ගැනීම සඳහා සියළු පාර්ශව සහය දිය යුතුව තිබේ.
ඉදිරි පළාත් පාලන මැතිවරණය අවසන් වීමෙන් පසු නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට රජය සූදානම් බවට පළවන වාර්තා සැලකිල්ලට ගන්නා අප සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස ඒ සඳහා පූර්ණ ආශීර්වාදය පළ කරන්නෙමු. එමෙන්ම ඒ සඳහා අප අපගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික කරන්නෙමු.
දැන්වීම
ගෞරවණීය මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම සඳහා ගෙන ගිය ව්‍යායාමය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණ එයට සහය පළකළ ආකාරය සැලකීමේදී ජාතික ජන බලවේගය ද එකී ස්ථාවරයේ රැදී සිටීම ගැන අප බලවත් ලෙස සතුටු වන්නෙමු.
එහිදී අප විශේෂ අවධානයක් යොමු කරන කරුණක් තිබේ. එනම් රටේ මූලික නීතිය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ අනාගතය ගොඩනගා ගැනීම සඳහා කරනු ලබන ව්‍යායාමයකදී එම කාර්යය සඳහා සිවිල් සමාජය ඇතුළු රටේ සියළුම පාර්ශවයන් ඊට දායක කරගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී කිහිප දෙනෙකු පමණක් යොදාගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට ගනු ලැබූ උත්සාහය අසාර්ථක වීම වැනි කරුණු එහිදී සැලකිල්ලට ගත යුතුව තිබේ.
එමෙන්ම 2000 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරියගේ පාලන සමයේදී බොහෝ කරුණුවලට අදාළව සියළු පක්ෂවල එකගතාවයක් සහිතව සකස් කරන ලද ව්‍යවස්ථ කෙටුම්පත පවා සම්මත කරගැනීමට නොහැකි වූයේ ජනාධිපති ක්‍රමය ඇයගේ ධුර කාලය අවසන් වන තුරු අවසන් නොවන ආකාරයට පවත්වා ගෙන යාමට විදිවිධානයක් යොදා තිබීම හේතුවෙනි. එම අවස්ථාවේදී එම කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ ගිණිතබමින් එවකට සිටි විපක්ෂය කටයුතු කළ ආකාරය ගැන අප අදටත් කණගාටු වන්නෙමු. ඉන් පසුවද විපක්ෂයේ විරෝධයට ලක්වූ වගන්තියක් ඉවත් කර ගනිමින් එය සම්මත කරගැනීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය ඉදිරිපත් වූ අවස්ථාවේදී එය ද මගහැරීමට කටයුතු කරමින් එදා විපක්ෂය සිදුකරන ලද්දේ බලවත් වැරද්දකි
අනුර කුමාර දිසානායක මැතිතුමා මේ රටේ අවසාන විධායක ජනාධිපති ධුරය උසුලන නායකයා වන බවට එතුමා නියෝජනය කරන පක්ෂයෙන්ම ප්‍රකාශ වී ඇති තත්වයක, එමෙන්ම පසුගිය මහ මැතිවරණයේදී ජනාධිපතිතුමා නායකත්වය දුන් ජාතික ජන බලවේගය 2/3 දෙකක පාර්ලිමේතුවේ බලයක් ලබාගෙන ඇති පසුබිමක නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමට දැන් කිසිඳු බාධාවක් නොමැත. ඒ අනුව රටට බරපතල විනාශයන් ගෙන දීමට හේතු වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වර්තමාන රජයට අනගි අවස්ථාවක් මේ වන විට උදාවී තිබේ. නිශ්චිත කාලරාමුවක් ඉදිරිපත් කරමින් ඒ සඳහා රජය ඉදිරිපත් වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නෙමු.
එම වගකීම ඒ ආකාරයෙන්ම ඉටු කරන්නට කටයුතු කරනු ලැබුවහොත් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය පාලකයෙකු ලෙස ආනාගතයේ දී රන් අකුරෙන් ඉතිහාසයට එක්වෙනු ඇත. එමෙන්ම ජාතික ජන බලවේගය රජය ශ්‍රී ලංකාවේ යහපත උදෙසා සිදුකරන්නාවූ විශිෂ්ඨතම කාර්යභාරය ද එයම වනු ඇත.