විදෙස් ගතව හිංසාවට ලක් වූ ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම් පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් බදාදා (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට…
ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට හාම් පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී වැටුප් නොලබා සේවය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 42ක් බදාදා (27) උදෑසන කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන්වන එම පිරිසේ සියලු දෙනාම කාන්තාවන් බවට වාර්තා වේ.
ඔවුන් ඕමානයේ වසර දෙකකට ආසන්න කාළයක් ගෘහ සේවය සපයා ඇතත් ඔවුන්ට ඒ සඳහා වැටුප් ගෙවා නොතිබුණු අතර ඕමානයේ නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර , කරදර ඔවුන්ට සිදු වී තිබූ නිසා මෙන්ම වැටුප් නොගෙවීම නිසා ද , මෙම සේවිකාවන් තව දුරටත් එම නිවෙස්වල සේවය සැපයීම සිදු නොකර, පලා විත් , එරට රැකියා ඒජන්සි වෙත මෙම තොරතුරු පැවසූ විට , යළිත් මෙම සේවිකාවන් වෙනත් නිවාස වෙත යොමු කර , ඔවුන්ට හිමි විය යුතු වැටුප් , එම ඒජන්සිකරුවන් විසින් ලබා ගෙන තිබු බව එම පිරිස පවසයි.
පසුව මෙම ගෘහ සේවිකාවන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැන විත් තිබූ අතර , ඔවුන් ඕමානයේ "සබායා ගිලිස් " සහ " අබු අලීෆා " හි රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිට පසුව ශ්‍රී ලංකාව වෙත එවා ඇත. මෙම රැදවුම් මධ්‍යස්ථානවල මෙම ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන්ට අමතරව , අප්‍රිකානු ජාතික කාන්තාවන් විශාල පිරිසක් ද සිටින බව මෙම පිරිස ප්‍රකාශ කරයි.