විගණකාධිපති නිර්දේශ නොතකා හැරීම දූෂණයට අත වැනීමක්

සාධාරණ සමාජය අවධාරණය කරයි විගණකාධිපති නිර්දේශ බහුතරයක් නොතකා හැරීම දූෂණයට අත වැනීමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර…
සාධාරණ සමාජය අවධාරණය කරයි
විගණකාධිපති නිර්දේශ බහුතරයක් නොතකා හැරීම දූෂණයට අත වැනීමක් යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් සුනිල් ජයසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
රජයේ විගණකාධිපතිවරයා පසුගිය කාලය තුළ නිකුත්කර ඇති වාර්තා 2500 ක ට අධික ප්‍රමාණයෙන් සියයට අනූ පහකට අදාළව නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළ ආයතන අපොහොසත්ව ඇති බව දක්නට ලැබීම ඛේදනීය තත්වයකි. එකී පසුබිම රටේ පවතින දූෂණය හා නාස්තිය තහවුරු කිරීමට කරනු ලබන දිරිගැන්වීමකි. එබැවින් මේ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය නොපමාව යොමු කරන ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින්නෙමු.
දූෂණය හා වංචා පිටු දැකීම කෙරෙහි මේ රටේ පොදු සමාජය තුළ මෙන්ම දේශපාලන තලයේ ගැඹුරු සංවාදයක් පවතී.එහි තෙරපුම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ පනත ද ඇතුළු බොහෝ නීති ප්‍රතිසංස්කරනයට ද ලක් විය. එහෙත් අප රට මුහුණ දෙමින් සිටින අභියෝගයන් සැලකීමේදී ඒවා ද ප්‍රමාණවත් නොවන බව වත්මන් රජයේ ප්‍රකාශිත ස්ථාවරයෙහි සඳහන් ය. ඒ් අනුව සැලකීමේදි රටේ අනාගත යහපත උදෙසා රාජ්‍ය අංශයේ ද සුපිළිපන් භාවය උදෙසා ජාතියක් ලෙස සිදුකල යුතුව ඇති මැදිහත්වීම අතිශයයිම බරපතළය. එමෙන්ම වැදගත්ය. එවන් පසුබිමක මෙවන් නොතකා හැරීම් කිසිසේත්ම නොසලකා සිටිය නොහැකිය.
ඒ අතර අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් ප්‍රමාණාත්මකව නොතිබියදීත් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකරන ඉහළ සේවාව සැලකීමේදි ඒ සඳහා ශක්තියක් ලබා දිය යුතු අනෙකුත් අංශ තම උපරිම වගකීම ඉටුකරමින් දූෂණය හා නාස්තිය වලකාලීමේ ප්‍රයත්නයට දායකත්වයක් ලබා දිය යුතුව ඇත. එය අප සැලකිය යුත්තේ ජාතික වගකීමක් ලෙසටය.
එබැවින් මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස අප නැවතත් අවධාරණය කරන අතරම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය වඩා උසස් මටටමක පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සපුරාලීම සඳහා රජය ද තම අවධානය යොමු කරවනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.