අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

වික්ටර් අයිවන් - සටන් සගය ඔබට සුබ ගමන්..!

වික්ටර් අයිවන් - සටන් සගය ඔබට සුබ ගමන්..!

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු,හිටපු ලේකම්වරයෙකු හා කැඳවුම්කරුවෙකුවූ, 'රාවය' කර්තෘ වික්ටර් අයිවන් සහෘදයාගේ අභාවය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය සාතිශය සංවේගය පළකරයි. රටේ තීරණාත්මක…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ සමාරම්භක සාමාජිකයෙකු,හිටපු ලේකම්වරයෙකු හා කැඳවුම්කරුවෙකුවූ, 'රාවය' කර්තෘ වික්ටර් අයිවන් සහෘදයාගේ අභාවය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය සාතිශය සංවේගය පළකරයි.
රටේ තීරණාත්මක අවස්ථාවක රාවය සඟරාව ආරම්භ කරමින් හා පසුව එය පුවත්පතක් බවට පරිවර්තනය කරමින් ලාංකීය පුවත්පත් කලාවෙහි දැවැන්ත විපරිවර්තනයක්ද, විකල්ප මාධ්‍ය සංස්කෘතියක්ද සනිටුහන් කිරීමට පුරෝගාමී වූ  ඔහු වැනි විසල් මිනිසෙකුගේ නික්ම යෑම  නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ බලවත් සංවේගයට හේතුවකි. 

වික්ටර් අයිවන් මහතාගේ සංස්කාරකතත්වයෙන් සැකසුන රාවය පුවත්පත ආරම්භයේ සිටම ජනදිවියේ සත්‍යගරුක භාවය හා සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්  පෙනී සිටි අතර එය ගවේෂණාත්මක මාධ්‍යකරණය විෂයයෙහිද පෙරළිකාර භූමිකාවක් ඉටුකරන ලද පුවත් පතක් විය. 
මෙරට අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා රාවය කතුවරයා විසින් ඇරඹූ ' නොනිමි අරගලය' මෙරට පුවත්පතක් විසින් සමාජ ප්‍රතිසංස්කරණ උදෙසා ඉටුකරන ලද සුවිශේෂී මෙහෙවරක් ලෙස සැලකිය හැකිය. ඔහු අධිකරණයේ වැරදි අධිකරණය හමුවේම පෙන්වා දීමටද ඒවාට එරෙහිව සෘජුව අභියෝග කිරීමටද නොබියව ඉදිරිපත් වූයේය.
 ප්‍රකාශනයේ නිදහස, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම වැනි අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙනුත්, එසේම සාපරාධී අපහාස නීතිය,මාධ්‍යයට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කිරීම වැනි තත්ත්වයන් නිෂ්ක්‍රීය කරගැනීම වෙනුවෙනුත් ඔහු පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. 
පුවත්පත් කතුවර භූමිකාව විචිත්‍රව හසුරුවමින් සිය අනන්‍යතාව සටහන් කිරීමට සමත් වූ සහෝදර සටන්කරුව, ඔබට සුවදායි අවසන් ගමනක්.


 (නිදහස් මාධ්‍ය ව්‍යාපාරය)

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න