වැල් පාලමෙන් එගොඩ වුණේ රාජපක්ෂ පරපුර ප්‍රමුඛ හොරු ටික විතරයි

ජනතාව තවමත් අපායේ ජනතා වරමින් ලබා ගැනීමට නොහැකි බලය හොරුන් එක්ක එකතු වෙලා ලබා ගත්තා අප හොරුන් රකින්නේ නැහැ-හොරුත් එක්ක වගකීම් භාර නොගත්තේ ඒ නිසයි ජනපතිගේ කතාවට විපක්ෂ නායකගෙන් සැර උත්තරයක්…
ජනතාව තවමත් අපායේ
ජනතා වරමින් ලබා ගැනීමට නොහැකි බලය හොරුන් එක්ක එකතු වෙලා ලබා ගත්තා
අප හොරුන් රකින්නේ නැහැ-හොරුත් එක්ක වගකීම් භාර නොගත්තේ ඒ නිසයි
ජනපතිගේ කතාවට විපක්ෂ නායකගෙන් සැර උත්තරයක්
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිදු කළ කතාවේදී උතුම් බුදු වදන් උපයෝගී කර ගෙන තමා යන අදූරදර්ශී ගමන ප්‍රත්‍යක්ෂ කරන්න ලොකු උත්සාහයක නිරත වූ බවත් අපාය සහ වැල්පාලම ගැන කතා කළ ජනාධිපතිවරයා විසින්ම අපායේ නිර්මාතෘවරුන් රකිමින් සිටින බවත් රටේ ඇතිව තිබෙන බංකොලොත්භාවය නිර්මාණය කළ අපායේ නිර්මාතෘවරුන්ගෙන් රටේ ජනතාවට වන්දි ලබා ගැනීමට ඇති පහසුකම් පවා නතර කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා බවත් අපාය නිර්මාණය කළ නායකයන් හොරා කෑ දේ රකින්නේ ද මේ ජනාධිපතිවරයා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බදාදා (06) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයාගේ කතාවට පිළිතුරු කතාවක් සිදු කරමිනි.
රටට දේපොළ, සම්පත්, මුදල්, විදේශ විනිමය අහිමි කර ඒවා නැවත අපේ රටට ලබා නොගෙන සිටින්නේ, අපායේ නිර්මාතෘවරුන්ගේ සහයෝගයෙන් පාර්ලිමේන්තුවේ 134ක වරමක් ලබා ගෙන හොරුන්ගේ වරමින් ජනාධිපති තනතුරට පැමිණ හොරුන්ගෙන් යැපෙන වත්මන් ජනාධිපතිවරයා බවත් වැල් පාලමෙන් රට විනාශ කළ රාජපක්ෂවරු ප්‍රමුඛ හොරු කණ්ඩායම ඉන් එගොඩ වී ඇති බවත් රාජපක්ෂවරු නිර්මාණය කළ අපාය රනිල් රාජපක්ෂ ආණ්ඩුව තව දුරටත් පුළුල් කර ජනතාවගේ ජන ජීවිතය දිගින් දිගටම විනාශ කරන බවත් ඒ හේතුවෙන් ලක්ෂ 220 ජනතාව අනාථ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දැන්වීම
එසේම ජනාධිපතිවරයා හොරු ගොඩක් මැදට පැන, කවදාවත් ඡන්දයෙන් ලබා ගැනීමට නොහැකි ජනාධිපති තනතුර රට විනාශ කළ ඒ පුද්ගලයන්ගේ පිහිටෙන් ලබා ගත් බවත් එසේ බලය ලබා ගෙන ජනතාවගේ ඡන්ද බලය නැති කර, අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කර, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් රටේ වැඩ කරන ජනතාවගේ මුදල් පසුම්බිය පොකට් ගසා සුපිරි ධනවතුන් රකිමින් සිටින බවත් "VAT" වැඩි කර මුළු රටම විනාශ කර ඇති මොහොතක මාසෙකට කිහිප සැරයක් විදේශ සංචාර යන්නේ මේ ජනාධිපතිවරයා බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
බාල බෙහෙත්, හොර බෙහෙත්, ගුණාත්මකභාවයෙන් අඩු බෙහෙත් ජාවාරම ආදී ජාතික ඛේදවාචක නිර්මාණය කළ සෞඛ්‍ය ඇමතිවරයා රැක්කේ ජනාධිපතිවරයා බවත් මෙවැනි හොරුන්, වංචාකාරයන්, මංකොල්ලකාරයන් සහ දූෂිතයන් රකින්න බැරි නිසා තමා වගකීම භාර නොගත් බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පවා විධායකයේ පඹයෙක් බවට පත් කරන්න උත්සාහ කරන බවත් ඒ සඳහා කතානායකවරයා පවා සහයෝගය ලබා දී ඇති බවත් චෝදනා කළේය.