වකුගඩු රෝගයෙන් වැළකෙමු

වර්තමානයේ අපේ ගොවිජනතාව මුහුණ දී සිටින දැවැන්තම ගැටලූවක් වන්නේ වකුගඩු රෝගය බව සෞඛ්‍ය අංශ කියනවා. විශේෂයෙන් වියළි කලාපයේ වී ගොවීන් බහුල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි ඔවුන් සඳහන්…
වර්තමානයේ අපේ ගොවිජනතාව මුහුණ දී සිටින දැවැන්තම ගැටලූවක් වන්නේ වකුගඩු රෝගය බව සෞඛ්‍ය අංශ කියනවා. විශේෂයෙන් වියළි කලාපයේ වී ගොවීන් බහුල වශයෙන් වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි ඔවුන් සඳහන් කරන්නේ.වර්තමානයේදී අපට හමුවන වකුගඩු රෝගීන් අතර අති බහුතරය වන්නේ ‘මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය’යි. මෙහි මූලය අවිනිශ්ත යැයි සඳහන් වන්නේ වකුගඩු රෝගය ඇතිවීම සඳහා හේතු වූ කරුණු මොනවාදැයි නිශ්චිතව සඳහන් කිරීමට නොහැකි නිසයි. උදාහරණයක් වශයෙන් ඇතැම් පුද්ගලයින් වකුගඩු රෝගයට ගොදුරු වීමට ‘දියවැඩියාව’ ආදී රෝගය හේතු වෙනවා. එවිට වකුගඩු රෝගයට හේතුව පැහැදිලියි. ඒත් අපේ වියළි කලාපීය ගොවීන් අතර වේගයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගයට මේ ආකාරයේ නිශ්චිත රෝග නිධානයක් නැහැ. එය තමයි අද මෙම රෝගීන් පමණක් නොවෙයි මෙම ප‍්‍රදේශවල ජනතාව පවා මුහුණ දී සිටින අභියෝගය වන්නේ.
අනුමාන හේතු
ඉහතින් සඳහන් කළ ආකාරයට වෛද්‍යවරුන්ට මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගය සම්බන්ධයෙන් දැක්විය හැක්කේ අනුමාන රැසක් පමණයි. ඒවා පහත සඳහන් වෙනවා.
- කෘෂි රසායන අවභාවිතය.
- ජලයේ අන්තර්ගත ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය හා බැර ලෝහ.
- කිවුල සහිත අපිරිසිදු ජලය නිතර නිතර පානය කිරීම.
- විජලනය සහ දීර්ඝ කාලයක් තද අව්වට නිරාවරණය වීම.
- වකුගඩුවලට හානිකර නීලහරිත ඇල්ගී සහ ‘සයනො බැක්ටීරියා’ මගින් නිපදන වන විස.
- සර්ප දෂ්ටනය.
- වස පානය.
- වෛද්‍ය උපදෙස්වලින් තොරව වේදනා නාශක ඖෂධ වර්ග අනවශ්‍ය ලෙස භාවිතය.
මේ වන විට විවිධ පර්යේෂකයින් විසින් කර ඇති පර්යේෂණ අනුව තමයි ඉහත කී අනුමාන කිහිපය හඳුනා ගෙන තිබෙන්නේ.
දැන්වීම
රෝග ලක්ෂණ
අපේ ජනතාව අතර ලෙඩ රෝග සම්බන්ධයෙන් තිබෙන විවිධ ඍණාත්මක ආකල්ප සහ චර්යාවන් නිසා බොහොමයක් ලෙඩ රෝග කලින් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙය රෝග පාලනය සම්බන්ධයෙන් බරපතළ තත්ත්වයක්.
පහත සඳහන් වන රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඔබට තිබෙනවා නම් ඔබ වහාම පිළිගත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි.
01 ඇඟට දැනෙන අපහසුතාවය.
02 මුත්‍ර සමග පෙණ පිටවීම.
03 කෑම අරුචිය.
04 වමනය.
05 කොන්දේ කැක්කුම.
06 මුත්‍රා පිටවීම ක්‍රමයෙන් අඩුවීම.
07 ශරීරයේ ඉදිමුම.
08 හතිය.
09 ඇඟ සුදුමැලි වීම.
10 රක්තහීනතාවය.
11 අධික රුධිර පීඩනය.
10 මස්පිඩු දුර්වලතාවය.
11 ඇඟ කැසීම.
12 සිහි කල්පනාව අඩුවීම.
මේ ගැන දැනුම්වත් වන්න..!
මූලය අවිනිශ්චිත කාලික වකුගඩු රෝගයෙන් ආරක්ෂා වීමටත් ඔබගේ වකුගඩු රැක ගැනීමටත් ඔබ පහත සඳහන් කරුණු ගැන මනා අවධානයකින් සිටිය යුතුයි.
- දිනකට අවම වශයෙන් පිරිසිදු පානීය ජලය ලීටර 03 ක් වත් පානය කරන්න. විජලනයෙන් වැළකීම සඳහා මෙය අත්‍යවශ්‍ය කරුණක් වේ.
- ළිං ආශ‍්‍රිතව කුඹුක් ගස් සිටුවන්න.
- ආහාර රසවත් කිරීට කෘති‍්‍රම රසකාරක භාවිත නොකරන්න.
- ආහාර සැකසීමේදී ඇලූමිනියම් බඳුන් වෙනුවට මැටි බඳුන් භාවිත කරන්න.
- ආහාරපාන ඇසිරීමේදී හා පරිභෝජනයේ දී ප‍්‍රමිතියෙන් යුතු භාජන භාවිත කරන්න.
- කෘෂිකාර්මික කටයුතුවලදී කෘෂි රසායන භාවිතය අඩු කරන්න.
- කෘෂි රසායන සකස් කිරීමේදී සහ ඉසීමේදී ආරක්ෂිත ඇඳුම් ඇඳ ගන්න.(මුව වැසීම, දෙපා හා දෑත් ආවරණය)
- සුළගේ දිශාවට කෘෂි රසායන ඉසින්න.
- කෘෂි රසායන ඉසීමේ උපකරණ වැව්, ඇළදොළ, ගංඟා හා වක්කඩවලින් සේදීමෙන් වළකින්න.
- ඉවතලදන කෘෂි රසායන බෝතල් හා අනෙකුත් ඇසුරුම් ආරක්ෂාකාරී ලෙස වළලන්න.
- කෘෂි රසායන ඉසීමෙන් පසු ඔබ හොඳින් පිරිසිදු වන්න.
- දියවැඩියා රෝගයෙන්, අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නේ නම් වකුගඩු ක‍්‍රියාකාරීත්වය පරීක්ෂා කර ගන්න.
- මානසික ආතතියෙන් වැළකෙන්න.
- මුත‍්‍රා අනවශ්‍ය ලෙස දරා නොසිටින්න. (මුත‍්‍රා පිටවීම අවශ්‍ය වූ වහාම ඒවා පිටකළ යුතුයි)
- මත්පැන් හා දුම්පානයෙන් වළකින්න.
- දිනපතා ක‍්‍රමානුකූලව ව්‍යායාම වල යෙදෙන්න.
- වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ භාවිත නොකරන්න.
- වෛද්‍ය උපදෙස් මත වුවද ඖෂධ භාවිත කිරීමේදී නිසි මාත‍්‍රාව, කාලය නිසි ලෙස පිළිපදින්න.
- දීර්ඝ කාලයක් ඖෂධ භාවිතයේදී නැවත වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
- මුල් අවධියේදීම රෝගය හඳුනා ගන්න. (රුධිර ක‍්‍රියට්නින් ප‍්‍රමාණය මැන බැලීම සහ මුත‍්‍රාවල ඇල්බියුමින් පරීක්ෂා කරවා ගැනීම)
මෙහිදී අවධාරණය කළ යුත්තේ ඉකිමනින්, කල් නොයවා රෝගය හඳුනා ගැනීම මගින් රෝගය උත්සන්න වීම පාලනය කරගත හැකි බවයි. ඒ නිසා රෝගය මුලින් හඳුනා ගැනීම සඳහා ළඟම ඇති රෝහලට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත යොමු වන්න.
(වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් නිකුත් කළ පත‍්‍රිකාවක් ඇසුරිණි)
සැකසුම
(තුෂාර වල්ගම)