අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ලෝක ළමා - වැඩිහිටි දිනයේ දී තෙල් මිල වැඩි කරලා රජය ජනතාවට කණ රත් වෙන්න ගැහැව්වා

-විපක්ෂ නායක චෝදනා කරයි-

සජිත් ප්‍රේමදාස

රටක් ලෙස සැවොම ලෝක ළමා දිනයත් ලෝක වැඩිහිටි දිනයත් සමරන මේ අවස්ථාවේ සුරක්ෂිත දේශයක් තුළ ළමුන්ට, ළදරුවන්ට, දරු පරපුරට සේම වැඩිහිටි පරපුරට ද සමස්ත පුරවැසි පරපුරට ආරක්ෂිත, සෞභාග්‍ය සම්පන්න ශක්ති සම්පන්න ජන ජීවිතයක් උදා කළ යුතු වුවත් ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය ලබන්නට මොහොතක් තිබියදී වත්මන් රජය ළමා පරපුරට හා වැඩිහිටි පරපුරට සේම සමස්ත පුරවැසියන්ට කනේ පාරක් ගසමින් ඉන්ධන මිල ඉහළ දැමූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

එදා ජනාධිපතිකම ඩැහැ ගන්න, පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගන්න, පළාත් පාලන ආයතනවල බලය ලබා ගන්න වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නියෝජිතයන් විසින් වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා දෙන බවත් ඉන්ධන මත දමා ඇති බදු ඉවත් කර තෙල් සංස්ථාවෙන් භාණ්ඩාගාරයට ලබා දෙන මුදල් නතර කර දූෂණ වංචා කොමිස් මුදල් නැති කර ජනතාවට වරායේ ගොඩබාන මිලටම තෙල් ලබා දෙන බව පැවසුවත් අද ඒ පොරොන්දු සියල්ල කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

මේ රජය රටට ජනතාවට බොරුවක් කර ටොම්පච දේශපාලනයක් සිදු කර ලක්ෂ 220ක් ජනතාව රැවටූ බවත් අසත්‍ය දේවල් ප්‍රකාශයට පත් කර ජනතාව අන්දවා ඇති බවත් පසුගිය දිනක ජනාධිපතිවරයා විසින් බිලියන ගණනක් වෙන් කර ඉදිරි මාසවල ඉන්ධන සහනාධාරයක් ලබා දෙන පැවසුවත් ඒ අවස්ථාවේද බොරුවක් සිදු කළ බවත් ඊයේ රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කිරීමට පෙර රැළිවලදී ඉන්ධන මිල සහනාධාර ක්‍රමයට ලබා දෙන බව පැවසූ බවත් මේ ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීම යනු ලබා දෙනවා කියූ සහනාධාරය ද ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරියටත් මේ රජය පවත්වාගෙන යාමට අදහස් කරන්නේ මේ ටොම්පච දේශපාලනය තුළින් ද කියා ප්‍රශ්න කරන බවත් මහා භාණ්ඩාගාරයේ ටොන් ගණන් මුදල් ඉතිරි කර ඇත් නම් මේ මුදල් උපයෝගී කර ගෙන සාමාන්‍ය ජනතාව, නැතිබැරි ජනතාවට, අගහිගකම් ඇති ජනතාවට සහන ලබා දිය නොහැක්කේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් දැන්වත් මේ ටොම් පච පැවසීම නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් මේ විහිලුකාර දේශපාලනයෙන් බැහැර වී ඇත්ත ඇති සැටියෙන් රටට සහ ජනතාවට සහන ලබා දෙන ඉල්ලා සිටින බවත් රටේ සාතිශය බහුතරයක් අමාරුවෙන් ජීවත් වන නිසා ඒ අයගේ අයිතිවාසිකම් දිනා ගැනීමට ජන ජිවිත සුරක්ෂා කිරීමට රජයට ප්‍රජාතන්ත්‍රවාදී අභියෝග එල්ල කිරීමට පැකිලෙන්නේ නැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ලියන ලද්දේ Administratorකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
ලෝක ළමා - වැඩිහිටි දිනයේ දී තෙල් මිල වැඩි කරලා රජය ජනතාවට කණ රත් වෙන්න ගැහැව්වා | Lanka Newsweek