අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

ලෝක ප්‍රජාවගේ ගෞරවය සහ විශ්වාසය රැක ගනු

ලෝක ප්‍රජාවගේ ගෞරවය සහ විශ්වාසය රැක ගනු

ජාත්‍යන්තර ප්‍රශ්නවලට බුද්ධිමත්ව මුහුණ දෙනු ලෝකයේ හුදෙකලා වී රට ගොඩ ගනු බැහැ රංජන් රාමනායක නිදහස් කර එක රටක්-එක නීතියක් ඇති බව තහවුරු කරනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඉදිරිපත් කර ඇති සංශෝධන…

ජාත්‍යන්තර ප්‍රශ්නවලට බුද්ධිමත්ව මුහුණ දෙනු 

ලෝකයේ හුදෙකලා වී රට ගොඩ ගනු බැහැ

රංජන් රාමනායක නිදහස් කර එක රටක්-එක නීතියක් ඇති බව තහවුරු කරනු 

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ඉදිරිපත් කර ඇති සංශෝධන ප්‍රමාණවත් නැහැ  

තව දුරටත් ලෝක ප්‍රජාවගේ ගෞරවය සහ විශ්වාසය විනාශ කර ගැනීමෙන් වැළකී සිටිමින් ජාත්‍යන්තරය හමුවේ රට මුහුණ දී සිටින ප්‍රශ්නවලට බුද්ධිමත්ව මුහුණ දීමට රජය වහාම ක්‍රියා කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා අවධාරණය කර සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ තනි වී රට-ජනතාව මුහුණ දී සිටින උග්‍ර අර්බුදකාරී තත්ත්වයෙන් සහ ව්‍යසනයෙන් කවදාවත් ගොඩ එන්න හැකියාවක් නොමැති බව ද, එම නිසා මේ ගැන ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව වහාම සිය අවධානය යොමු කළ යුතු යැයි ද දේශබන්දු කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.

දේශබන්දු කරු ජයසූරිය මහතා මේ බව කියා සිටියේ, සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී බ්‍රහස්පතින්දා (03) සංවිධානය කරනු ලැබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එර මහතා මෙසේ ද පැවසීය.

දැන්වීම

අද අපගේ ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වන්නේ නිදහස් දිනට පෙර දිනයි. එදා පළමුවැනි ජාතික නිදහස් දින කුඩා පාසල් සිසුවකු ලෙස ජාතික කොඩිය රැගෙන ගිය අයෙකු වශයෙන් අපගේ සිතට අද ඇති වන්නේ එම දිනය පිළිබඳව සතුට වගේම වර්තමානය පිළිබඳව බලවත් කණගාටුවක් සහ දැඩි වේදනාවක් බව කිව යුතුයි. අපි නිදහසින් පසු ආපස්සට ගිය ජාතියක්. මීට හේතු වූ කරුණු, වග කිව යුතු පුද්ගලයින් ගැන අවුරුදු හැත්තෑ තුනකට පසු කතා කතා කිරීම ඵල රහිතයි. ඒ නිසා අපි අනාගතය ගැන කතා කරමු.

අද අපි ඉතා අවාසනාවන්ත තත්ත්වයට පත්ව ඇති රටක් බව පැහැදිලියි.  ශ්‍රී ලංකාව ලෝකයේ අසාර්ථක රටක් වශයෙන් හඳුන්වා පළ වුණු විදේශීය වාර්තා කිහිපයක් අප දුටුවා. මේ වාර්තා දකින විට අපට ඇති වන්නේ ලැජ්ජාවක්. අපට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් සහ අමුද්‍රව්‍ය  ගෙන්වීමට අවශ්‍ය විදේශීය මුදල් අප ළඟ නැහැ. අප අවට රටවලින් අත මාරුවට ගන්නා මුදල්වලින් එදිනෙදා අවශ්‍යතා අමාරුවෙන් සපයා ගන්නවා.

ජන ජීවිතයට අවශ්‍ය කිරිපිටි, සහල්, ගෑස්, භූමිතෙල් ආදිය ගැනීමට පෝලිම් ගැසිය යුතුව තිබෙනවා. රටේ විනය තදින් පිරිහී තිබෙනවා. මිනී මැරුම්, මංකොල්ල කෑම් සහ මත්ද්‍රව්‍ය භාවිතය තදින් ව්‍යාප්ත වෙනවා. අල්ලස-දූෂණය මහ දවල් විවෘතව සිදු වනවා. ඉන්ධන හිඟයකට සහ විදුලි කප්පාදුවකට මුහුණ දෙන්න ඉදිරියේදී සිදු වේවි.

රටේ විනය රැකිය යුතු ශ්‍රී ලංකා පොලිසියේ දේශපාලනීකරණය වූ සමහර නිලධාරීන් නිසා පොලිසියට ඇති මහ ජන ගෞරවය සහ විශ්වාසය පිරිහෙමින් පවතිනවා. එම තත්ත්වය ඉතා භයානකයි. ඒ වැරදි වහා නිවැරදි කළ යුතුයි. අධිකරණයට බලපෑම් එල්ල කිරීමේ උත්සාහයක් ද වාර්තා වී තිබෙනවා. එවන් රටක යුක්තිය සාධාරණය ඉටු වන්නේ නැහැ.

ප්‍රාදේශීය දේශපාලකයන් රාජ්‍යකරණයට බාධා කරනවා. බලපෑම් කරනවා. මේ හේතුවෙන් රජයේ සේවයේ විශාල බිඳ වැටීමක් මේ වන විට ඇතිවී තිබෙනවා. ඔවුන්ගේ ජනතා සේවයේදී මේ තත්ත්වය කැපී පෙනෙනවා. රාජ්‍ය නිලධාරීන් බොහෝ අවස්ථාවල මේ අසාධාරණය ගැන අපට වාර්තා කර තිබෙනවා. රටේ අසාර්ථක භාවයට මේ තත්ත්වයත් හේතුවක් වී තිබෙනවා.

අල්ලස් සහ දූෂණ කොමිසමේ වර්තමාන ක්‍රියාකාරීත්වය ගැන මේ රටේ විශාල කලකිරීමක් ඇති වී තිබෙනවා. ඔවුන් පක්ෂග්‍රාහීව ක්‍රියා කිරීම එළිපිටම සිදු වෙනවා. උත්තරීතර අධිකරණය පවා මේ ගැන කිහිප අවස්ථාවක සඳහන් කර තිබෙනවා. උසස් පදවි දැරූ අල්ලස් කොමිසමේ සාමාජිකවරුන් සිය ආත්ම ගරුත්වය රැක ගැනීම ඉතා වැදගත් වනවා. අල්ලස් සහ දූෂණ කොමිසමට විරුද්ධව විශාල ජනමතයක් ඇති වෙමින් පවතිනවා.

නිදහස් දින උදාවීමට පැය කිහිපයකට පෙර අප මෙම අදහස් ප්‍රකාශ කළේ ගරු ජනාධිපතිතුමා හෝ රජය අපහසුතාවයට පත් පත් කිරීමේ චේතනාවෙන් නොවේ. මේ විනාශ වෙමින් තිබෙන රට ප්‍රකෘතිමත් කිරීමට නම් අවුරුදු හැත්තෑ තුනකට පසු දැන්වත් වැරදි නිවැරදි කර ගත යුතුයි. අපි සඳහන් කළේ වර්තමාන රටේ පවතින තිත්ත ඇත්ත තත්ත්වය යි.

අප පළ කරන අදහස් ගැන ගරු ජනාධිපතිතුමාට සහ රජයට මධ්‍යස්ථ මතධාරීන්ගෙන් සත්‍ය තත්ත්වය විමසන්න පුළුවන්. වර්තමාන අගාධයෙන් මිදීමට නම් අප අලුත් ගමන් මාර්ගයක යා යුතුයි. ජාතික ආගමික සහ දේශපාලන සමගිය ඇති විය යුතුයි. අන්තර්ජාතික ගෞරවය උපයා ගත යුතුයි. තවමත් ඒ කිසිවක් සිදු වී නැහැ. ඇත්තේ බලය රැක ගැනීමට සහ බලය ලබා ගැනීමට කෙරෙන පොරයක් විතරයි.

ඉහත සඳහන් කරුණුවලට අමතරව ශ්‍රී ලංකාවට තවත් දැඩි අභියෝගයකට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා. මූලික මිනිස් අයිතිවාසිකම් අහෝසි කිරීම ගැන අන්තර්ජාතික ප්‍රජාව හමුවේ 2022 මාර්තු සහ සැප්තැම්බර් මාසවල අපට චෝදනා එල්ල වේවි. මේ ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ නොදුන හොත්, භයානක ප්‍රතිඵලවලට අපගේ අහිංසක ජනතාවට මුහුණ මුහුණ දෙන්න සිදු වෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගි වූ රැස්වීමකට පහර දීම ඉතා පහත් පෙළේ ක්‍රියාවක් ලෙස අප දකිනවා. දැන්වත් ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති මත පදනම්වූ දේශපාලනයකට ප්‍රවිෂ්ට විය යුතුයි. මේ සිද්ධියට ජනාධිපතිවරයාට හිතවත් පුද්ගලයින්ගේ නම් ද සඳහන් වී තිබෙනවා. මේ සිද්ධියෙන් රටට ලැබී ඇත්තේ අශෝභන පණිවිඩයක්. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා වහා පියවර ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා . 

අපි ත්‍රස්ථවාදයට විරුද්ධයි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට ලෝක ප්‍රජාවගේ ගෞරවය දිනා ගැනීම ඉතා වැදගත් වනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පියවර ගැනීම කාලෝචිත පියවරක් ලෙස අප දකිනවා. මේ පනතේ ඇතැම් බලතල වැරදි අන්දමින් සහ දේශපාලන හේතු මත ගෙන ඒම නිසා රජයේ ගරුත්වයට විශාල හානියක් සිදු වුණා.

අවුරුදු හතළිහකට පසු සංශෝධනයක් ගෙන ඒම ගැන අප සතුටු වන අතර නව යෝජනාවලට වඩා මිනිස් අයිතිවාසිකම් තව දුරටත් සුරැකෙන ආවරණයක් අවශ්‍ය බව සමාජ මතයයි. පසුගිය වකවානුවේදී සිදු වූයේ මෙම පනත දේශපාලන කටයුතු සඳහා තදින් අපයෝජනය කිරීමයි. මෙම හේතුව නිසා අන්තර්ජාතිකව අපේ රටටත් විශාල කැළලක් ඇති වුණා. "අහනම් තසීම්" වැනි අයට නොයෙකුත් වධ හිංසා කළ ආකාරය කවුරුත් දන්නා කරුණක්. නීතිඥ "හිජාස් හිස්බුල්ලාට" ද විශාල අසාධාරණයක් සිදුවී ඇති බව අන්තර්ජාතිකව සඳහන් වී තිබෙනවා.

බැලු බැල්මට මෙම සංශෝධන පවතින ප්‍රතිපාදන සමග සංසන්දනය කිරීමේදී ප්‍රගතිශිලි බව පිළි ගත යුතුයි. නමුත් මුල් පනත සම්මත කිරීමෙන් වසර 43කට පසුව සිදු කරනු ලබන සංශෝධනයක් මගින් මීට වඩා වෙනසක් සිදු කළ යුතුව තිබුණා. විශේෂයෙන්ම  සංශෝධන මගින් ගෙන ඒමට අපේක්‍ෂා කරන ඇතැම් සංශෝධනයන් මේ වන විටත් අපගේ නීතියේ කොටසක් ව පවතිනවා.

එසේම පනත සම්බන්ධයෙන් වූ ප්‍රධාන විවේචනයක් වූයේ පනතේ 2 වන වගන්තිය යටතේ දක්වන වැරදි වඩා පුළුල් වීම නිසා කිසිදු ත්‍රස්ථ ක්‍රියාවකට සම්බන්ධ නොවන ක්‍රියාවක් සිදු කරනු ලබන පුද්ගලයකුට වුවද එම වගන්තිය යටතේ යම් වරදක් සම්බන්ධව චෝදනා නැගිය හැකි වීමයි. එම නිසා පනත යටතේ වැරදි වඩා නිශ්චිතව සහ ත්‍රස්ත වාදය හා සම්බන්ධ කාරණාවන්ට සීමා වන ලෙස සංශෝධනය විය යුතු වුවත් මෙම සංශෝධන පනත් කෙටුම්පත මගින් එවැනි සංශෝධනයක් යෝජනා කර නැහැ. එබැවින් 1979 පනතට සංශෝධන එකතු කිරීමට වඩා එම පනත අහෝසි කර මානව හිමිකම් තත්ත්වයන්ට ගැලපෙන සහ පවතින අනෙකුත් පනත් පිළිබඳව ද සැලකිල්ලට ගෙන නව පනතක් සම්මත කිරීම වඩා උචිත වනවා.

එම කරුණුවලට අමතරව ලෝකය පිළි ගත් වෘත්තිය සමිති අයිතිවාසිකම් නැති කිරීමට රජය අදහස් කරන බවට අධිකරණ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා. මෙවැනි තර්ජන ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු විය යුතු නැහැ. මේ උත්සාහය නිසා 2022 මාර්තුවේ පැවැත්වෙන ජිනීවා සමුළුවේදී අපට විශාල හානි ඇති වෙන්න පුළුවන්.

ඉතාමත්ම නිහතමානීව රට කෙරෙහි ඇති ආදරය නිසා අප රජයට කියන්නේ ලෝක ප්‍රජාවගේ ගෞරවය සහ විශ්වාසය විනාශ කර ගන්න එපා. අද අප මුහුණ දී තිබෙන ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අපට තනි වෙන්න බැහැ මෙම කරුණු රටේ අභිවෘද්ධිය වෙනුවෙන් බලධාරීන්ගේ අවධානයට යොමු වේවායි අපි ප්‍රාර්ථනා කරනවා.

අපගේ අදහස් ප්‍රකාශ කිරීම නිම කරන්නේ අවුරුදු ගණනක් තිස්සේ හඬ නැගූ අපගේ ඉල්ලීමක් වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව එළැඹෙන නිදහස් දින ජනපති සමාව ලබා දීම ගැන නැවතත් සිහිපත් කරමිනුයි. එසේ නොකර එක රටක් එක නීතියක් ගැන කතා කිරීම සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ අපි දකින්නේ ජනතාව මුලා කිරීමක් ලෙසයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න