ලක්ෂ 12 ට Vitz කාර් ගන්න හිතපු ජනතාවට අද ලීසිං ගෙවා ගන්න බැරිව සීසර්ලාගෙන් ගුටි කන්න වෙලා
- විපක්ෂ නායක අවධාරණය කරයි -

අප රටේ ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කිරීමට, සම්පතක් හෝ වාහනයක් ගන්න ලීසිං හා ණය ක්‍රමවේද භාවිත කරන බවත් ලීසිං හෝ ණය ගත් විට නියමිත පරිදි ඒ ණය ගෙවීම සිදු කළ යුතු බවත් එසේ නොවන්නේ නම් නීතිමය පද්ධතිය තුළින් අධිකරණයෙන් තහනම් නියෝග ගෙන මුදල් අයකර ගත හැකි අණපනත් රටේ තිබුණත් ඒවා උපයෝගී කර නොගෙන ගෝනි බිල්ලෝ ප්‍රතිපත්තියෙන් බලහත්කාරයෙන් ප්‍රචණ්ඩත්වයයෙන් තමන් සතු සම්පත් ඩැහැ ගන්නා වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක බවත් පසුගිය කාලයේ මීට විරුද්ධව කතා කර RTN 213 එකගතාව තුළ පොලිසිය, මේ බලහත්කාරයෙන් සීසර්ලා සිදු කරන අත්පත්කර ගැනීම නැවැත් වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
නමුත් මේ වන විට නැවත වරක් මේ කූඨ ක්‍රියාව සීසර්ලා ආරම්භ කර ඇති බවත් නීතිය හා සාමය අංශය මීට ප්‍රතිචාර නොදක්වන බවත් මහ බැංකුව පවා මේ ආකාරයෙන් මූල්‍ය ආයතන බලහත්කාරයෙන් ප්‍රචණ්ඩත්වයෙන් සීසර්ලා යොදාගෙන මේ සම්පත් බලහත්කාරයෙන් පැහැර ගැනීම නියාමනය නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දැන්වීම
විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (01) ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් සමඟ පැවැති හමුවකදීය.
2000 අංක 56 දරන කල්බදු හා මූල්‍යකරන පනත තුළින් මෙය නීත්‍යානුකූලව කළ හැකි බවත් නීතිමය මෙවලම් තුනක් තිබියදී නීතිය කඩකර දේපල අත්පත් කර ගැනීම සිදු කරන්න අවසර දීම නීත්‍යනුකූල නොවන බවත් මේවාට පොලිසිය පවා අවසර දීම නීති විරෝධී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම රටේ ජනතාව ලක්ෂ 12 ට විට්ස් කාර් එකක් ගන්න අපේක්ෂාවෙන් සිටියත් මේ විට්ස් කාර් සිහිනයත් බොඳව ඇති මොහොතක ලීසිං ගෙන වාහනයක් ගත්තත් අපහසුතා නිසා වාරික කිහිපයක් ගෙවා ගැනීමට නොහැකි වූ විට සීසර්ලා දමා මහපාරේ වාහන උස්සන නිර්ලජ්ජීත ක්‍රියාවලිය නතරකර දැමිය යුතු බවත් ණයක් ගන්නේ නම් නියමිත වේලාවට ගෙවිය යුතු බවත් ණය ගෙවීමේ ගැටලු ඇත්නම් ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගතකරණය කරන්න පවා අවස්ථව ඇති බවත් එවැනි තත්ත්වයක් තිබියදී වාහන උස්සන ගෝනිබිල්ලා ක්‍රමය නතර කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තවද මෙවැනි මංකොල්ලකාර සීසර් ක්‍රමය රටෙන් තුරන් කළ යුතු බවත් ණය ගෙවන්න බැරි නම් විධිමත් ක්‍රමවේදයක් හරහා යුක්ති සහගතව ණය අය කර ගත යුතු බවත් මෙහිදී පොලිසියට ද චෝදනාවක් ඇති බවත් ජනතාව ගැන සිතනවා වෙනුවට සීසර්ලා පැත්ත ගැනීම පොලිසිය නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය