රාජපක්ෂලාගේ සහ හිතවතුන්ගේ අධි චෝදනා ඉල්ලා අස් කර ගන්නවා

මේ මොහොත වන විට නීතියේ බලයට, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන විශේෂ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් තිබෙන බවත් නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු හැම මොහොතකම ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස ජනතාව දැනුවත්…
මේ මොහොත වන විට නීතියේ බලයට, අධිකරණයේ ස්වාධීනත්වයට බලපාන විශේෂ ක්‍රියාවලියක් සිදු කෙරෙමින් තිබෙන බවත් නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල වුණු හැම මොහොතකම ජාතික ජන බලවේගයේ නීතිඥයින් ලෙස ජනතාව දැනුවත් කිරීමට සූදානමින් සිටින බවට ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.
ජාතික ජන බලවේගයේ නීතීඥ සුනිල් වටගල මහතා මේ බව කියා සිටියේ ඉරිදා(17) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
සෑම සතියකට හෝ දෙකකට වතාවක් රාජපක්‍ෂ පවුලේ හෝ එම පවුලේ ආශිර්වාදය ලබන කිට්ටුවන්තයෙක් අධිචෝදනාවලින් නිදොස් කොට මුදා හරිනවා. නීතිපතිවරයා මේ ලෙස අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගැනීම රට හමුවේ සාකච්ඡා කරන්න ඕනෑ.
දැන්වීම
බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ නඩු, ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයාගේ නඩු, කෘෂිකර්ම ඇමතිවරයාගේ නඩු ඇතුලු අධි චෝදනා පත්‍ර රාශියක් නීතිපතිවරයා ඉල්ලා අස්කර ගත්තා. මේ ක්‍රියාවලිය මොකක්ද? මෙහෙම ක්‍රියාවලියක් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට හැකියාවක් තිබෙනවාද?
යම් අපරාධයක් සම්බන්ධයෙන් මහජනයාට පැමිණිලි කළ හැකි ආයතන කිහිපයක් තිබෙනවා. පොලීසියට, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට, සහ අල්ලස් සම්බන්ධයෙන් නම් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. මේ ස්ථානවලට කරන ලද පැමිණිලි අධිචෝදනාවකින් කෙළවර කළ යුතු නම් ඒ ඒ ආයතනවල විමර්ශන නිලධාරීන් සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනවා.
මේ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිළධාරියෙකු එය පරිශීලනය කර වාර්තාවක් එක්ක ඉහළ නිලධාරියෙකුට යවනවා. ඒ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු පැහැදිලි කරගන්න අවශ්‍ය නම් විමර්ශන නිලධාරීන් කැඳවා අඩුපාඩු සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉහළ විමර්ශන නිලධාරියාට මේ අධි චෝදනා පත්‍රය සම්බන්ධයෙන් තව දුරටත් ඉහළ නිළධාරින් එක්ක කරුණු සාකච්ඡා කරන්න පුලුවන්.
එයින් මතුවන අඩුපාඩු සම්පූර්ණ කර නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ප්‍රධානියාට ලිපි ගොණුව යවනවා. අපරාධ නඩු අංශයේ ප්‍රධානියා, ඉහළ විමර්ශන නිලධාරියා සහ නීතිපතිවරයා සම්බන්ධවී අධිචෝදනාවේ තවදුරටත් පවතින ගැටලු සාකච්ඡා කරනවා. යම් ගැටලුවක් තිබෙනවා නම් පහළ නිලධාරීන් කැඳවා නිවැරදි කර ගන්නවා.
සාක්‍ෂි සම්පිණ්ඩන වාර්තාවක් ගොනු කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ නිලධාරීවරයෙක් පරිශීලනය කිරීම, එම වාර්තාව අධික්‍ෂණ නිලධාරියෙකුට යොමු කිරීම සහ ඉන් පසු නීතිපතිවරයාට ලබාදීම යන ක්‍රියාවලියෙන් පසුව ඔවුන් අතර පැවැත්වෙන සාකච්ඡාවකින් අධිචෝදනා පත්‍රය මහාධිකරණයට යවනවා.
මහාධිකරණයේ මුලින්ම අදාල චෝදනා කියවනවා. මහාධිකරණයට යොමුකළ අධිචෝදනා පත්‍ර පවා කියවාදීමට පෙර ගැටලු ඇත්නම් විනිසුරු යළි නීතිපති දෙපාර්තමේන්තුවට එවනවා. එවැනි අවස්ථාවකදී විමර්ශන නිලධාරීන් යළිත් අදාල නිවැරදි කිරීම් කරනවා.
ඉන්පසු මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍රය ඉදිරිපත් කර වරදකරුද, නිවැරදිකරුද යනුවෙන් ප්‍රශ්න කෙරෙනවා. එවැනි නඩු ගොනුවක් හිටි හැටියේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා අස්කර ගන්නවා නම් ඊට හේතුවක් තියෙන්න ඕනෑ. මේ වෙනුවෙන් මහජන ධනය කොපමණ වැයකර තිබෙනවාද?
මේ ආකාරයට නිර්මාණය කළ අධි චෝදනා පත්‍රය එක පෑන් පහරින් ඉල්ලා අස්කර ගන්නවා නම් එතැන ගැටලුවක් තිබෙනවා. අපි ඉතා වගකීමෙන් කියන්නේ නීතිපතිට ඕනෑ වෙලාවට අධිචෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්න බැහැ. විශේෂ හේතුවක් නැතිව ඉල්ලා අස්කර ගන්නත් බැහැ. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමේදී සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළා.
මේ ප්‍රකාශනයේ කියන්නේ නීතිය සමාජ සාධාරණත්වය උදෙසා කියලයි. මේ යටතේ තිබෙන්නේ “නීතිය ශිෂ්ඨ සම්පන්න සමාජයට අත්තිවාරම වන අතර රටක නීතිය ක්‍රියාත්මක විය යුත්තේ ජනතාවගේ යහපත සඳහාය.
නීතියේ ආධිපත්‍යය යන සංකල්පය, මේ සංකල්පයේ අරමුණ ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගොඩනැගීම වන හෙයින් කිසිදු විටෙක ප්‍රජාතන්ත්‍රවාදී රජය නීතියේ ආධිපත්‍යයට බලපෑම් නොකළ යුතුය. එබැවින් අපගේ රජය නීතියේ ආධිපත්‍යය ආරක්‍ෂා කිරීමට හැම විටම කැපවන අතර කිසිවෙකුටත් නීතියේ ආධිපත්‍යයට අභියෝග කිරීමට ඉඩ නොතැබේ.” යන ආකාරයටයි.
ඒ වගේම මේ ප්‍රකාශයේ 71 වන පිටුවේ “පුරවැසියා මෙන්ම පාලකයාද නීතියේ ආධිපත්‍යයට යටත් විය යුතු අතර එය රටක ක්‍රියාත්මක විය යුත්තේ එක නීතියක් පමණි. නීතිය සැමට සමාන විය යුතු අතර පුරවැසියා නීතියට මිස නීතිය ක්‍රියාත්මක කරවන ආයතනවලට සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස නීතිය ක්‍රියාත්මක කරවන ආයතන සහ පුද්ගලයන්ට බිය නොවන ලෙස මහජනතාව නිර්මාණය කෙරෙයි.” කියලා දැක්වෙනවා. හරිම පැහැදිලිව ඔවුන් අපිට කියාදී තිබෙනවා. නමුත් දැන් ප්‍රතිපත්ති ප්‍රකාශය පැත්තකට දාලා වෙනත් පාරක යනවා.
තමන්ගේ සුවච කීකරු ගෝලයෝ නිදහස් කරගන්න කැකිල්ලේ කොමිසමත් ගෙනාවා. මේ කොමිසන් වාර්තාවෙන් රාජපක්ෂ පවුලේ, කැබිනට් මණ්ඩලයේ අයගෙ සහ හිතවතුන්ගේ නඩු විශාල ප්‍රමාණයක් නිදහස් කර තිබෙනවා. ඒ වගේම ඊළඟට නිදහස් කරන නඩුවක් ගැන අනාවැකියක් පළ කරන්න පුළුවන්.
ආන්දෝලනාත්මක මල්වානේ දේපොළ නඩුව නිදහස් කෙරෙන බවට කැකිල්ලේ කොමිසන් වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. 1968/2020 නඩු අංකය යටතේ තිරු කුමාර් නඩේෂන් පැමිණිලිකරු ලෙස සඳහන් කළ නඩුව සම්බන්ධයෙන් කොමිසමේ නිර්දේශය වැදගත්.
“පැමිණිලිකරුට හා බැසිල් රාජපක්‍ෂ මහතා එරෙහිව බී8864/15 මගින් අසත්‍ය පැමිණිල්ලක් කළ උපුල් කුමාර රාමවික්‍රම යන අයට එරෙහිව නඩු පැවරීම ගුණවර්ධන සහ රණසිංහ යන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, ගම්පහ මහාධිකරණයේ නඩු අංකය වන 26/2017 නඩුව ඉල්ලා අස්කරගෙන චූදිතයන් නිදොස් කොට නිදහස් කළ යුතුය.” කියලා තියෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ මේ ආකාරයට නම් සැලකිය යුතු ගැටලුවක් නිර්මාණය වෙනවා. ඉල්ලා අස්කර ගැනීම්වලට කිසිදු පදනමක් නැහැ. විශේෂම කාරණය වෙන්නේ මේ ඉල්ලා අස්කර ගන්න නඩුවල අධිචෝදනා පත්‍රවලට එවකට නීතිපතිවරයාව සිටි දැන් ඉන්න අග්‍ර විනිශ්චයකාරතුමා අත්සන් කර තිබීමයි. මෙතන ලොකු ගැටලුවක් මතුවෙනවා.
මේ ඉල්ලා අස්කරගැනීම් පිටුපස පටු පෞද්ගලික දේශපාලන අභිලාෂයන් තිබෙනවා. මේ නඩු ඉල්ලා අස්කර ගත්තත් සාමාන්‍ය ජනතාවගේ නඩු ඉල්ලා අස්කරගන්නේ නැහැ. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලඥයන්ගේ නඩු නීතිපති දෙපාර්තමේන්තුව වේගයෙන් ඉල්ලා අස්කර ගන්නවා.
මේ නඩු ඉල්ලා අස්කර ගැනීමට ජනාධිපතිවරයාත් නීතිපතිවරයාත් සෘජුවම වගකිව යුතුයි. අලුත් නීතිපතිතුමා පත්වෙනකොට අපි හිතුවා නීතිය හරි විදියට ක්‍රියාත්මක කරයි කියලා. ඒත් දැන් මහ දවල් අපරාධකාරයෝ, ජනතා මුදල් හොරාකාපු මංකොල්ලකාරයෝ ටටා කියලා උසාවියෙන් බැහැල යනවා.
අපිට හරි කණගාටුයි නීතිපතිතුමනි.ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරලා නීතියේ බලය රකින්න ඡන්දය ගත් මහත්වරු ක්‍රියා කරමින් තිබෙන ආකාරය අපි දකිනවා. හිටි අඩියේම කාබනික පොහොර බවට පරිවර්තනය කිරීම හත්පොලේ ගාගෙන තිබෙන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව යොදාගෙන ගෙනයන ක්‍රියාවලියක් හත්පොලේ ගාගන්න වෙනවා.
වර්තමාන නීතිපතිවරයාට අපි හරි ආදරයෙන් හිටියා. නමුත් අපට දැන් හරිම කණගාටුයි. මේ තත්වයට එරෙහිව ජාතික ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම සමග එකතු වෙන්න කියලා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා. නීතියේ බලය යළි තහවුරු කරන තුරු මේ සටන අපි අත හරින්නේ නැහැ. ජනතාව දැනුවත් කරමින් ඉදිරියට යනවා.