රවී කරුණානායකට ඇප

ලොතරැයි මණ්ඩල සේවකයන් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බවට චෝදනා ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් - විදෙස් ගමන් තහනමකුත් පනවයි ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු…
ලොතරැයි මණ්ඩල සේවකයන් දේශපාලන කටයුතුවලට යොදවා රජයට පාඩු කළ බවට චෝදනා
ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් - විදෙස් ගමන් තහනමකුත් පනවයි
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයන් තිදෙනෙකු දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩුවක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන මහතා සඳුදා (31) නියෝග කළේය.
ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කර ඇති අතර, ඔහුට විදෙස්ගත වීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.
ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට
රවී කරුණානායක මහතා අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ ඇත්තේ අදාළ විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහාය. එහිදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
දැන්වීම
විමර්ශනය සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අවස්ථා හතරකදී දැනුම් දී තිබුණ ද, එම අවස්ථාවල ඔහු කොමිසම හමුවේ පෙනී නොසිටි බව කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.
රවී කරුණානායක මහතා කොමිසම හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් 2026 අගෝස්තු 29 වැනිදා කොමිසමේ නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවසට ගොස් ඇති බව ද අධිකරණයට දැනුම් දී ඇත.
එහිදී ඔහු නුවරඑළිය ප්‍රදේශයට ගොස් ඇති බව දැනුම් දී තිබුණ ද, පසුව සිදුකළ විමර්ශනවලදී ඔහු හම්බන්තොට ප්‍රදේශයේ සිටින බවට තොරතුරු ලැබුණු බව කොමිසම අධිකරණයට ප්‍රකාශ කර තිබේ.
ලොතරැයි මණ්ඩලයේ මුදලින් සේවකයන් තිදෙනෙකුට වැටුප්
විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ රවී කරුණානායක මහතා 2015 ජනවාරි 12 වැනිදා සිට 2017 මැයි 22 වැනිදා දක්වා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලසීමාවේදී මෙම බඳවාගැනීම් සිදුව ඇති බවයි.
මුදල් අමාත්‍යාංශයේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස සඳහන් කරමින් පුද්ගලයන් තිදෙනෙකු ජාතික ලොතරැයි මණ්ඩලයේ අරමුදල්වලින් වැටුප් ගෙවීමේ පදනම මත කොන්ත්‍රාත් පදනමින් බඳවාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් සඳහන් කර තිබේ.
එම පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධීකරණ නිලධාරීන් ලෙසත්, අනෙක් පුද්ගලයා කළමනාකරණ සහකාරවරයෙකු ලෙසත් බඳවාගෙන තිබූ බව අධිකරණයට දැනුම් දී ඇත. ඔවුන් ජාතික ලොතරැයි මණ්ඩලයට කිසිදු සේවයක් ලබා නොදී එම මණ්ඩලයෙන් වැටුප් සහ දීමනා ලබාගෙන ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.
රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොමිසම ඉල්ලයි
රවී කරුණානායක මහතා පළමු සැකකාරිය සමඟ එක්ව සාක්ෂිවලට බලපෑම් කිරීමට කටයුතු කරන බවට කරුණු ඉදිරිපත් කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් 1994 අංක 20 දරන පනතින් සංශෝධිත අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ ‘දූෂණය’ නමැති වරද සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇති බව අධිකරණයට දැනුම් දී ඇත.
ජනාධිපති නීතිඥ අශෝක වීරසූරියගෙන් ඇප ඉල්ලීමක්
රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අශෝක වීරසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයා අධිකරණය මඟහැර යාමට කිසිදු හේතුවක් නොමැති බව සඳහන් කළේය.
එමෙන්ම මෙම සිද්ධියේ පළමු සැකකාරියට දැනටමත් ඇප ලබාදී ඇති බැවින් රවී කරුණානායක මහතාට ද ඇප ලබාදෙන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා රවී කරුණානායක මහතා ඇප මත මුදාහැරීමට නියෝග කළේය.
- සැලකිය යුතුයි -
ඉහත සඳහන් චෝදනා විමර්ශනයට සහ අධිකරණ ක්‍රියාවලියට අදාළ කරුණු වන අතර, චෝදනා එල්ල වීම පමණින් සැකකරු වරදකරු බව අදහස් නොවේ.