රවීට දිය යුතු තනතුර ගැන සරසවි ප්‍රජාව කියන කතාව

ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා රවී එහි සභාපති කරනු සරසවි ප්‍රජාව ජනපතිගෙන් ඉල්ලති රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඍජුවම වග කියන ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා එහි සභාපති ධූරය ආසියාවේ…
ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා රවී එහි සභාපති කරනු
සරසවි ප්‍රජාව ජනපතිගෙන් ඉල්ලති
රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයාට ඍජුවම වග කියන ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවා එහි සභාපති ධූරය ආසියාවේ හොඳම මුදල් ඇමති සහ රටේ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට ලබා දිය යුතු යැයි විශ්ව විද්‍යාල ප්‍රජාව අවධාරණය කර සිටිති.
මුදල් අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සුපුරුදු පරිදි කරන ලද ක්‍රියාවන් ඔස්සේ රටේ ආර්ථික අර්බුදය ජය ගැනීමට නොහැකි බව ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව තේරුම් ගත යුතු බව පෙන්වා දෙන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, මෙහෙයුම් කළමනාකරණ දෙපාර්තම්න්තුවේ, කළමනාකරණ පීඨයේ නිර්මාතෘ සහ පීඨාධිපති මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා සැබවින්ම අද රටට-ජනතාවට සිදුවී ඇත්තේ මේ නිලධාරීන්ගේ අපරික්ෂාකාරී, අවෘත්තික සහ අමනොඥ ක්‍රියාවන්ට වන්දි ගෙවීමට බව ද අවධාරණය කර සිටියි.
ඒ අනුව මේ නිලධාරීන්ට වඩා ඉහළින් සිතිය හැකි, ක්ෂණික තීරණ ගැනීමට බිය නොමැති, චින්තන ශක්තියක් ඇති විශ්ලේෂණ හැකියාවක් තිබෙන සහ සම්ප්‍රදායට පිටින් අලුතෙන් හිතන්නට හැකියාවක් ඇති ආර්ථික විද්‍යාඥයන්, සංඛ්‍යාන විද්‍යාඥයන්, ඒ ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ක්ෂණික පිළියම් සෙවිය හැකි විශේෂඥයන් එම ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයට පත් කර ගත යුතු බව ද මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා කියා සිටියි.
දැන්වීම
මේ අතර ආර්ථිකය "Digital" කළ යුතු බවට රවී කරුණානායක මහතා මේ වන විටත් කර ඇති යෝජනාවෙන් පැහැදිලි වන්නේ ඔහු නූතනත්වය අගයන පරිනත ගෝලීය දේශපාලන නායකයෙකු යැයි ද මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා කියා සිටියි.
රටේ උද්ගත වී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය සහ ජනතාව අන්ත අසරණ වී සිටින තත්ත්වය හමුවේ රවී කරුණානායක මහතා ගෙන ආ මේ යෝජනාව සියලු ප්‍රශ්නවලට විසඳුමක් වනු ඇති අතර එමගින් පැහැදිලි වන්නේ අනෙකුත් දේශපාලන නායකයින්ට සාපේක්ෂව රවී කරුණානායක සතු නූතන ගෝලීය දැක්ම, පරිකල්පනය, අත්දැකීම්, පළපුරුද්ද, ඉලක්ක සහ වැඩ පිළිවෙළ යැයි ද මිල්ටන් රාජරත්න මහතා පෙන්වා දෙයි.
ඒ අනුව රට ගොඩනගා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩ පිළිවෙළට රවී කරුණානායක මහතා වැනි දැක්මක් ඇති උගත්, බුද්ධිමත්, පළපුරුදු සහ ගෝලීය දේශපාලකයින් සම්බන්ධ කර ගනිමින් ඔවුන් මෙම ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානයට අනුයුක්ත කළ යුතු බව ද මහාචාර්ය මිල්ටන් රාජරත්න මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.