රනිල්-සජිත්-මෛත්‍රී-අනුර කරන්නේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ද..?

තනිවම බුදු වන කතා කියන්නේ ඒ නිසාද..? විපක්ෂය එකට එකතු නොවී ආණ්ඩු පෙරළන්න නොහැකි බව නොදන්නා තරම් බබ්බු ද..? ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ කරූ විතරයි ජනපති සිහින දකින නායකයින් ඩොලර් අර්බුදය…
තනිවම බුදු වන කතා කියන්නේ ඒ නිසාද..?
විපක්ෂය එකට එකතු නොවී ආණ්ඩු පෙරළන්න නොහැකි බව නොදන්නා තරම් බබ්බු ද..?
ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නේ කරූ විතරයි
ජනපති සිහින දකින නායකයින් ඩොලර් අර්බුදය විසඳන හැටි කිව යුතුයි
රට ගොඩනගන වැඩ පිළිවෙළ ඉදිරිපත් කළ යුතුයි
විපක්ෂය භේද කර අපාගත නොවනු
නව සිහළ උරුමය අවධාරණය කරයි..!

මේ රටේ තනිවම ආණ්ඩු පිහිටු වීමට සහ ආණ්ඩු පෙරළීමට නොහැකි බව දැන දැනම, රට-ජනතාව වෙනුවෙන් ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග සමග එකට ඒකරාශී නොවී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන සහ අනුර කුමාර දිසානායක ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයින් තනිවම බුදු වන කතා කියන්නේ ජනාධිපතිවරයා ප්‍රධාන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවකට අනුව දැයි නව සිහළ උරුමයේ නායක සරත් මනමේන්ද්‍ර මහතා ප්‍රශ්න කර සිටියි.
රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, මෛත්‍රීපාල සිරිසේන සහ අනුර කුමාර දිසානායක ඇතුළු විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ පටු සහ අවස්ථාවා දී දේශපාලන හැසිරීම සම්බන්ධයෙන් "lankanewsweek" වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් මේ බව කියා සිටී සරත් මනමේන්ද්‍ර මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.
දැන්වීම
"රට විකුණන ජනතා විරෝධී ආණ්ඩුව පළවා හැරීම සඳහා පොදු බලවේගයක් ලෙස එකට ඒකරාශී වීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, මෛත්‍රීපාල සිරිසේන, පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා, අර්ජුන රණතුංග, රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් ජනපති සිහින දකිමින් සිටින බව පැහැදිලියි.
එහෙත් මේ කිසිම නායකයෙකු ආර්ථික වශයෙන් රට ගොඩනගා ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන සිය වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් මේ දක්වා රට-ජනතාව දැනුම්වත් කර නැහැ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ තෙල් ආනයනය කිරීම සඳහා ඩොලර් උත්පාදනය කරන්නේ කෙසේ ද සහ රට මුහුණ දී ඩොලර් අර්බුදයට විසඳුම් ලබා දෙන්නේ කෙසේ ද කියා කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැති අතර ඊට අදාළ වැඩ පිලිවෙලක් ද ඉදිරපත් කර නැහැ. මේ නායකයින් සිතා ගෙන සිටින්නේ ඒ අය ජනාධිපති වුණාට පසුව රුපියල් අච්චු ගහනවා වගේ ඩොලර් ඩොලර් අච්චු ගහන්න පුළුවන් කියා ද..?
එමෙන්ම මේ ජනපති සිහිනය දකින කිසිම නායකයෙකු ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික වශයෙන් රටත් ජනතාවත් මුහුණ දී සිටින දැවෙන ප්‍රශ්නවලට අදාළව ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව ජනතාව වෙනුවෙන් අරගල කරන බවක් දිස් වන්නේ නැහැ. මේ සියලු නායකයින් කරන්නේ ජනතාවගේ පැත්තේ සිට ආණ්ඩුවට එරෙහිව සටන් කරනවා වෙනුවට සිය ජාම බේරා ගනිමින් අවස්ථාවාදී දේශපාලනයක නිරත වීමයි.
ඇත්ත වශයෙන්ම රටේත් ජනතාවගේත් පැත්තේ සිටිමින් බිය නොමැතිව ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට එරෙහිව මේ මොහොතේ ඍජුව සටන් කරමින් සිටින්නේ කරු ජයසූරිය මහතා සහ ඔහුගේ ප්‍රධානත්වයෙන් යුතු සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පමණක් බව කිව යුතුයි. රට මුහුණ දී සිටින ආර්ථික, දේශපාලන, සමාජ සහ සංස්කෘතික අර්බුද පිළිබඳව විශාල හඬක් නගමින් ජනතාව එකම වේදිකාවකට පෙළ ගස්වමින් සිටින සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඒකාධිපති වියරුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය, සාමය, යහ පාලනය, ජාතික-ආගමික සමගිය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, සමාජ ප්‍රතිසංස්කරණ, නීති ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර සබදතා සහ භූ දේශපාලන යථාර්ථය සම්බන්ධයෙන් සක්‍රීය මැදිහත් වීමක් කරමින් සිටිනවා.
එසේ තිබිය දී ආණ්ඩුවට එරෙහිව සියලු බලවේග සමග එකට ඒකරාශී වීම පසෙක තබා සිය පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර හෝ කුමන්ත්‍රණ මත තනි ආණ්ඩු පිහිටු වීමට සහ තනිවම ජනාධිපති වීමට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක සහ මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ මේ ඒකාධිපති, දුර්දාන්ත සහ ජනතා විරෝධී ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවේ බලය තවත් වටයකින් යළි යළිත් තහවුරු වීමයි.
මේ රටේ තනිවම ආණ්ඩු පිහිටු වීමට, තනිවම ජනාධිපති වීමට සහ තනිවම ආණ්ඩු පෙරළීමට නොහැකි බව මේ නායකයින් නොදන්නවා නොවේ. එසේ නම් රට-ජනතාව වෙනුවෙන් සියලු බලවේග සමග එකට ඒකරාශී වීම මඟ හැර මේ නායකයින් තනිවම බුදු වන කතා කියන්නේ ජනාධිපතිවරයා ප්‍රධාන ඒකාධිපති රාජපක්ෂ රෙජීමයේ කොන්ත්‍රාත්තුවකට අනුව ද..? විපක්ෂය භේද කරන්නේ ඒ නිසාද..? මේ අය ක්‍රියා කරන්නේ රට සහ ජනතාව වෙනුවෙන් ද, නොඑසේ නම් තමා සහ සිය පවුල වෙනුවෙන් ද..? මේ සියලු සාක්කි-සාධක-කරුණු සහ තර්ක විතර්ක ගළපා නිවැරදි තීරණයකට පැමිණීම ඔබ සතුයි."
