රනිල් වික්‍රමසිංහ යනු කවුද..? රටට කළේ මොනවද..?

1949 මාර්තු 24 වන දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් වික්‍රමසිංහ උපත ලැබී ය. කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ නීති පීඨයට…
1949 මාර්තු 24 වන දා එස්මන්ඩ් වික්‍රමසිංහ සහ නාලිනී වික්‍රමසිංහ යුවළට දාව රනිල් වික්‍රමසිංහ උපත ලැබී ය.
කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු, එවකට ලංකා විශ්වවිද්‍යාලයේ කොළඹ මණ්ඩපයේ නීති පීඨයට ඇතුළත් විය.
පසුව, නීති විද්‍යාලයට ඇතුළත් වූ ඔහු නීතිඥයෙකු ලෙස 1972 වසරේදී දිවුරුම් දුන්නේ ය.
දැන්වීම
දේශපාලන කඩඉම්
මහජන ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුරවැසියා වීමට අවස්ථාව අහිමි වූ රනිල් වික්‍රමසිංහ 6 වරක් දෙවන පුරවැසියා, එසේත් නොමැති නම්, අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර 6 වරක් විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කළේ ය.
1977 එක්සත් ජාතික පක්ෂය දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ළාබාලතම මන්ත්‍රීවරයා ලෙස වයස අවුරුදු 28 දී ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් විය.
ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ සහ ප්‍රේමදාස රජය යටතේ ඔහු අමාත්‍ය ධූර කිහිපයක් දැරූ අතර, ඔහු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ කාලයේ ගෙන ආ "අධ්‍යාපන ධවල පත්‍රිකාව" රට තුළ දැඩි විවාදයකට ලක් විය.
ඔහු පළමු වරට අගමැති ධූරයට පත්වූයේ, 1993 වසරේදී ය. ඉන්පසු ඔහු 2001දී, 2015දී දෙවතාවක්, 2018 සිදුවූ බල පෙරළියෙන් පසු නැවත වතාවක් සහ, 2022 අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ය.
පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්විය.
එපමණක් නොව, ඔහු 1994 සිට 2001 දක්වාත්, 2004 සිට 2015 දක්වාත් සය වතාවක් විපක්ෂ නායක ධූරයේ ද කටයුතු කර තිබේ.
අගමැති වුවත් අපේක්ෂකත්වය අහිමි වීම
1993 දී ආර්. ප්‍රේමදාස ඝාතනයෙන් පසු එවකට අගමැතිව සිටි ඩී.බී. විජේතුංග ශ්‍රී ලංකාවේ පළමු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් අතර, රනිල් වික්‍රමසිංහ පළමු වරට අගමැති ධූරයේ දිවුරුම් දුන්නේ, ඉන් පුරප්පාඩු වූ අගමැති ධූරය වෙනුවෙනි.
ඇති වූ මතභේදාත්මක තත්ත්වයන් හේතුවෙන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපති ධූරයේ කටයුතු කළ සමයේදී පක්ෂයෙන් වෙන්ව ගිය ගාමිණී දිසානායක වැනි එක්සත් ජාතික පක්ෂ නායකයන් නැවත හිටපු ජනාධිපතිවරයාගේ ඝාතනයෙන් පසුව නැවත පක්ෂයට සම්බන්ධ වූ නිසා 1994 ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කීරීමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට අහිමි විය.
1994 ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ ගාමිණී දිසානායක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපතිවරණයට පෙර මිය ගිය අතර, ඔහු වෙනුවට ඔහුගේ බිරිඳ වූ ශ්‍රීමා දිසානායක එම ජනාධිපතිවරණයට තරග කළ ද එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යි.
ඒ අනුව, 1994 මහ මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ පළමු වරට විපක්ෂ නායකයා ලෙස කටයුතු කළේ ය.
පළමු වරට දෙවැන්නා වීම
1994 ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය අහිමි වුව ද 1999 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස තරග කිරීඉමේ අවස්ථාව රනිල් වික්‍රමසිංහට හිමි විය.
කෙසේ නමුත්, එම ජනාධිපතිවරණයේදී ඔහුට ලබා ගැනීමට හැකි වූයේ, 42.7%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
එම ජනාධිපතිවරණය ඔහුගේ ප්‍රතිවාදියා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජයග්‍රහණය කළ අතර, ඇය දෙවැනි වරටත් ජනාධිපති ධූරයේ දිවුරුම් දුන්නා ය.
පෙනි පෙනී බොඳව ගිය ජනාධිපති සිහිනය
එතෙක් මෙතෙක් ජනාධිපතිවරණ ඉතිහාසය තුළ අඩු ම ඡන්ද පරතරයකින් ජයග්‍රාහකයා තීරණය කළ ජනාධිපතිවරණය වූයේ, 2005 ජනාධිපතිවරණය යි.
එම ජනාධිපතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයා ලෙස එවකට අගමැති ධූරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ පළමු වරට තරග කළ අතර, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වූයේ, එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යි.
1999 ජනාධිපතිවරණ පරාජයෙන් සහ 2004 මහ මැතිවරණ පරාජයෙන් පසුව එළැඹි ජනාධිපතිවරණයෙන් ද අවාසනාවන්ත ලෙස පරාජයට පත් වීමට රනිල් වික්‍රමසිංහට සිදු වූයේ ඉතාමත් අඩු ඡන්ද පරතරයකින් ය.
එම ඡන්දය මහින්ද රාජපක්ෂ විසින් ජයග්‍රහණය කරනු ලැබුවේ, ඡන්ද 180,786කිනි.
එම ජනාධිපතිවරණයේදී යාපනය සහ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කළ ප්‍රතිශත ඉතා අඩු වූ අතර, යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද දායකයන් 701,938කින් ඡන්දය භාවිත කර තිබුණේ 1.2%ක ප්‍රතිශතයකි.
එය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ජයග්‍රහණය තීරණය කිරීමට බලපෑ බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස යි.
ඒ අනුව, රනිල් වික්‍රමසිංහට දෙවන වරටත් පරාජය හිමි වූයේ ජනපති සිහිනය පෙනි පෙනී තිබියදී ය. එතැන් පටන් ඔහු 2015 දක්වා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළේ ය.
පරාජයේ අළු මතින් නැගී සිට ප්‍රතිවාදීන්ගේ කරමතින් ජනපති ධූරයට
2005 ජනාධිපතිවරණයෙන් පසුව පැවති ජනාධිපතිවරණ තුනට ම එක්සත් ජාතික පක්ෂ නායකයා වුවත් රනිල් වික්‍රමසිංහ තරග කළේ නැත.
2010 සහ 2015 ජනාධිපතිවරණවලදී, ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂ සමග තරග කිරීම සඳහා ඔහු වෙනත් දෙදෙනෙකු, එනම්, පිළිවෙළින් ජෙනරල් සරත් ෆොන්සේකා සහ මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක් හරහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමට ඔහු කටයුතු කළේ ය.
2009 යුද්ධය අවසන් වීමේ උණුසුම මැකී යාමටත් ප්‍රථම සිය පළමු ධූර කාලය අවසන් වීමට පෙර මහින්ද රාජපක්ෂ කැඳවූ ජනාධිපතිවරණයේදී ඔහු සමඟ තරග කළේ යුද්ධය අවසන් වන විට යුද්ධ හමුදාපති ධූරයේ කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ය.
2015 ජනාධිපතිවරණයේදී, මහින්ද රාජපක්ෂ සමඟ තරග කිරීම සඳහා ඉදිරිපත් කරනු ලැබූ මෛත්‍රීපාල සිරිසේන ජයග්‍රහණය කළ අතර, ඔහු එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස වසර ගණනක් කටයුතු කළේ ය.
2019 දී ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ යම් දෙගිඩියාවක් පෙනෙන්නට තිබූ අතර, එහිදී පළමු වරට තරග කළ සජිත් ප්‍රේමදාස අභිබවා ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කළේ ය.
2020 මහමැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ එක් අසුනක් පමණක් හිමිව ඉන් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස් වීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අග්‍රාමාත්‍යවරයා ලෙස 2022 දී දිවුරුම් දුන්නේ ය.
2022 ජුලි මාසයේදී, රට තුළ පැවති අරගලය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු ධූරයෙන් ඉල්ලා අස් වූ අතර, පුරප්පාඩු වූ ජනාධිපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසීමකින් ඡන්ද 134ක් ලබා ඔහු ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.
මේ සඳහා ඔහුට ඡන්දය ලබා දුන් අතිබහුතරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වීම විශේෂයකි.
මෙම කාලය තුළදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළැඹි අතර ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොළේ බැඳුම්කර හිමියන්ගෙන් කොටසක් ද ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතාව පළ කර තිබේ.
දශක දෙකකට පසු ලැබූ ස්වාධීන පරාජය
2024 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ තරග කළේ, වසර 19කට පසුව ය.
එහිදී ඔහුගේ ප්‍රචාරණ කටයුතුවලදී ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ඒමට හැකි එක ම නායකයා ලෙස ඔහුව හඳුන්වා දී තිබිණි.
ඔහුට මෙවර එක් මැතිවරණ දිස්ත්‍රික්කයක් හෝ ජය ගැනීමට නොහැකි විය.
ඔහු දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව තෙවන ස්ථානයේ පසු වන හෙයින් දෙවන වර ගණනය කිරීමෙන් ඉවත් කෙරිණි.
රනිල් රටට කළේ මොනවාද..?
වසර 47ක් මේ රටේ දේශපාලනය සිදු කර ඇමතිකම් මෙන්ම 6 වතාවක් අගමැති ලෙසත් වසර 2ක පමණ කාලයක් විධායක ජානාධිපති වරයෙකු ලෙසත් කටයුතු කර ඇති රනිල් වික්‍රමසිංහ මහතා මේ රට වෙනුවෙන් සිදු කර ඇති කාර්ය භාරයද සුළුපටු නොවේ.
- දකුණු ආසියාවේ විශාලතම තරුණ සේවා මධ්‍යස්ථානය මහරගම දී ගොඩනගා යෞවන සමාජ සංකල්පය හඳුන්වා දෙමින් යොවුන් පුරය ආරම්භ කිරීම.
- දක්ෂ කලාකරුවන් බිහි කිරීමට බෙල්වුඩ් රූපවාහිනී ගම්මානය ඉදිකිරීම.
- HSC සහ HHC පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත් කර අන්තර්ජාතිකව පිළිගත්, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අධ්‍යාපනය හඳුන්වා දෙමින් අනුබද්ධ විශ්වවිද්‍යාලයන් බිහිකර ඒවා රාජ්‍ය විශ්වවිද්‍යාල බවට පත් කිරීම.
- නොමිලේ පාසල් පෙළ පොත් ලබා දීමට කටයුතු කිරීම සහ පාසල් ක්‍රීඩාව නංවන්න දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
- ඉංග්‍රීසි ඉගැන්වීමට තිබූ ගුරුු හිඟය නවත්වා ලීමට ගුරුවරුන් 8500 ක් ඩෙලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සඳහා අනුයුක්ත කොට ඔවුන් පාසල් වලට ඇතුළත් කර ගනු ලැබීම.
- විද්‍යා විෂය ඉගැන්වීමට තිබු ගුරු හිඟය අවම කිරීමට උපාධිධාරී ගුරුවරුන් 3292 ක් ද උසස් පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරුන් 4305 ක් ද බඳවා ගනු ලැබීම.
- උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% දක්වා වැඩි කරමින් අපොස උසස් පෙළ උගන්වන පාසල්
60% කින් වර්ධනය කිරීම.
- පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කරමින් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව පිහිටවීම.
- බත්තරමුල්ලේ ඉසුරු පාය අධ්‍යාපන අමාත්‍යංශය නිර්මාණය කිරීම.
- 1983 දි ජර්මන් ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ආරම්භ කිරීම.
- 1985 දි කටුනායක තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනය බිහිකරනු ලැබීම.
- 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය (NAITA) පිහිටවීම.
- 1984 දි වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටවීම.
- 1986 දී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටවීම.
- 1986 දි කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිට වීම.
- 1987 දී ශ්‍රී ලංකාවේ සියලුම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
- ශ්‍රී ලංකාවට පරිගණකය හඳුන්වා දී පසුව පළමු ජංගම දුරකථන ජාලය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම.
- අන්තර්ජාලය ලොවට බිහි වී වසරක් යෑමට පෙර ශ්‍රී ලංකාව ට අන්තර්ජාලය හඳුන්වා දී එවකට අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම සහ පරිගණක විද්‍යා ආයතනය පිහිට වීම.
- ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන සැකසුම් කලාපය බියගම පිහිටවමින් එවකට මිනිසුන් 22660 කට රැකියා ලබා දීම.
- 1991 දී කොග්ගල නිදහස් වෙළද කලාපය අරඹමින් මිනිසුන් 5714 කට රැකියා ලබාදීම.
- යුද හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය පිහිට වීම.
- යුරෝපය ශ්‍රී ලංකාවට පණවා තිබූ මත්ස්‍ය තහනම රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා ඉවත් කරගනු ලැබීම.
- GSP + බදු සහනය අහිමි වී ගිය විට දෙවන වරටත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා හරහා එය නැවත ලබා ගැනීමින් ඇඟලුම් අපනයන ආදායම 40% කින් වැඩි කර ගැනීම.
- සෑම දරුවෙකුටම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කරමින් ප්‍රතිපත්ති හඳුන්වා දීම.
- සියලුම පාසල් සිසුන්ට සුරක්ෂා නමින් ලක්ෂ දෙකක රක්ෂණාවරණයක් නොමිලේ ලබාදී එවැනි රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
- පිරිවෙන් අධ්‍යාපනය යාවත්කාලීන කරමින් භික්‍ෂූන් වහන්සේලා සඳහා විධිමත් අධ්‍යාපන මාවතක් සකස් කිරීම.
- සුවසැරිය (1990 )ගිලන් රථ සේවාව ලංකාවට හඳුන්වා දීම.
- 'Enterprises sri lanka" හඳුන්වාදී ව්‍යවසායක ව්‍යවසායකයන්ට රුපියල් 50,000 සිට කෝටි 75 දක්වා සහන සහන පොලී ණය ලබාදීම.
- සියලුම හෘද රෝගීන් සඳහා "ස්ටෙන්ට්" නොමිලේ ලබා දීම.
- තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදහන් වූවන්ගේේ පනත ගෙන ඒම.
- ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටවීම.
- 2015 න් පසු වෛද්‍ය පීඨ 2 ක් ඇතුළුව පීඨ 11 ක් විශ්ව විද්‍යාල පද්ධතියට එකතු කිරීම.
- රැකියා විරහිත උපාධිධාරීන් 20,000 කට 2015න් පසු රැකියා ලබා දීම.
- රාජ්‍ය සේවයේ වැටුප 20,000 සිට 35,000 දක්වා වැඩි කිරීම.
- දිවයින පුරා ඇලමාර්ග 1336 ක් ප්‍රතිසංස්කරණය කිරීම.
- 2015 න් පසු තම රජය හරහා නිවාස 12,855 ක් ජනතාවට තිළිණ කර දීම සහ අග්‍රාමාත්‍යවරයා වශයෙන් නිවාස ව්‍යාපෘති 6250 ක් තම පුද්ගලික අධීක්ෂණය යටතේ ඉදිකිරීම.
- ලොරි චැසි නොවන සුඛෝපභෝගී බස් රථ 2000 ක් ශ්‍රී ලංගමයට එකතු කිරීම.
- ඇමරිකන් ඩොලර් මිලියන 20 ක බංකොලොත් රටක් බාරගෙන හාල්,තෙල්,සහ ගෑස් පෝලිම් නැති කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 5.7 ක විදෙස් සංචිත ප්‍රමාණයක් නිර්මාණය කිරීම සහ -7.3 ක පැවති ආර්ථිකක වර්ධනය +2.3 දක්වා වැඩි කිරීම.