“රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන කරුමයක්”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4

මන්ත්‍රීන් 225 ම අත්සන් කරමින් යෝජනා කළත් ඔහු යළි අගමැති කරන්නේ නැහැ..! දේශපාලන අර්බුදය දින හතකින් විසඳනවා..! (උපුල් බණ්ඩාර) පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර යෝජනා කළත් රනිල් වික්‍රමසිංහ…
මන්ත්‍රීන් 225 ම අත්සන් කරමින් යෝජනා කළත් ඔහු යළි අගමැති කරන්නේ නැහැ..!
දේශපාලන අර්බුදය දින හතකින් විසඳනවා..!
(උපුල් බණ්ඩාර)
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම අත්සන් කර යෝජනා කළත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට යළි පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) ප්‍රසිද්ධියේම යළිත් අවධාරණය කර සිටියේය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් පහ කළේ ඔහුගේ දේශපාලනය රටට,ජනතවට වගේම රටට-ජනතාවට ආදරය කළ ප්රතාපවත් දේශපාලන නායකයින් සිටි එක්සත් ජාතික පක්ෂයට ද නොගැළපෙන අතර ඔහු රටත් එම පක්ෂයත් විනාශ කළ නිසා යැයි ද ඔහු කියා සිටියේය.
රටේ උද්ගත වී තිබෙන දේශපාලන අර්බුදය දින හතක් ඇතුළතදී විසඳන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ,සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ සමුළුවේදීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
ඉතිහාසය ගොඩනැගී තිබෙනේ දේශමාමකත්වය ප්රමුඛව අපේ සංස්කෘතින් මුල් කර ගත් ජාතික සමගිය මුල්කර ගත් දේශපාලන සන්දර්භයක් තුළයි. සියලු ජාතීන්ගේ දේශපානන වේදිකාවක් එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරනායක මහතා හැදුවේ.
එසේ බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෝෂණය වූයේ එක්කෙනෙකුගෙන් දෙදෙනෙකුගෙන් නොවෙයි.සිරිමාවෝ බණ්ඩානායක මැතිණිය, චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය, ද.මූ දසනායක, ජෙයාරාජ් ප්‍රනාන්දු පුල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් ඇතුළු පිරිසකගෙන්.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව ආ ගමන් මගේදී රනිල් වික්‍රමසිංහගේ අන්ත දක්ෂිණාංශික නව ලිබර්වාරදී කුණු දේශපාලන ප්‍රවාහය පරාජය කරන්න සැමවිටම ශක්තියක් වී ඉදිරියට යනවා.
අද ඇතිවී තිබෙන ප්රශ්නය කුමක්ද..? රටේ දේශපාලන ගැටුමක් නෑ. නමුත් රටේ දේශපාලන අර්බුදයක් තිබෙනවා. ඒ හේතුවෙන් නොසන්සුන්තාවක් තිබෙනවා. මේ දේශපාලන අර්බුදයේ පසුබිම කුමක්ද..? 2015 ජනවාරි 8 වැනිදා මා බලයට පත් කළ මේ රටේහැට දෙලක්ෂයකට අධික ජනතාවට මා හිස නමා ආචාර කරනවා.
මම 2014 නොවැම්බර් 21 දා ගත් තීරණය එදාටත් වඩා අද නිවැරදියි. ඒ තීරණය යුගයේ අවශ්‍යතාවක් බවට පත් වුණා. එසේම 2018 ඔක්තෝබර් 26 වැනිදා ගත් තීන්දුවත් නිවැරදි දේශපලන තීන්දුවක් බව කිව යුතුයි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරිම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි.ඊට හේතු වූයේ රනිල් වික්‍රමසිංහ මහතා යහ පාලන දේශපාලන සංස්කෘතිය අමු අමුවේ දූෂණය කර ඝාතනය කිරීම සහ රට ද විනාශ කිරීමයි. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා.
ඒ සියල්ලටම දීමට තිබූ එකම විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් පන්නා දැමීමයි කියන එක මම තීරණය කළ අතර අප අපට ගැලපෙන දේශපාලන ගමනක් යා යුතුව තිබෙනවා.
ඔහුගේ දූෂිත බව මම පසුගිය කාලයේදී කිව්වා. ඔහු ගෙනා බොහෝ පනත් මා ප්‍රතික්ෂේප කළා. ඔහු රටට කරන විනාශය මම මගේ ශක්තියෙන් පාලනය කළා.අන්ත දක්ෂිණාංශික නව ලිබරල් වාදී ප්රතිපත්තිවලින් දරදඩු වී සිටින රනිල් වික්‍රමසිංහට මිනිස්සුන්ගේ දුක් වේදනා සහ අවශ්‍යතා ගැන කිසිම හැගීමක් නැහැ.
මොහුගේ මේ දේශපාලන භාවිතය රටට,ජනතාවට වගේම රටට ආදරය කළ මහා ප්රතාපවත් නායකයින් සිටි එක්සත් ජාතික පක්ෂයටත් ඒ පාක්ෂිකයින්ටත් ගැලපෙන්නේ නැහැ.ඔහු උතුරේ ද්‍රවිඩ ජනතාව රැවට්ටුවා. උතුරේ ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ ඔහු හිතාමතාම අතපසු කළා. ඒ අනුව මම මේ ගත්තාවූ දේශපාලන තීන්දුව ඊයේ දවසටත් අද දවසට වගේම හෙට දවසටත් නිවැරදි සහ ගැලපෙන බව කිව යුතුයි.
මම ගැසට් නිවේදන පහක් ගැහුවා විධායක බලය භාවිත කරලා.ඒ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කරන්න, මහින්ද රාජපක්ෂ මහතා ඒ සඳහා පත් කරන්න, කැබිනට් මණ්ඩලය විසුරවන්න, පාර්ලිමේන්තුව කල් තබන්න, පාර්ලිමේන්තුව විසුරුවා හරින්න...ඒ ගැසට් පත්‍ර මගින් මම විධායක බලය භාවිත කළේ රට බේර ගන්න බව පැහැදිලිව කිව යුතුයි.
මේ දේශපාලන අර්බුදය අපේ රටට 1948න් පස්සේ අලුත් අත්දැකීමක්. ලෝකයට මේ තත්ත්වය අලුත් අත්දැකීමක් නෙමෙයි. ප්රජාතන්ත්රවාදය පවතින රටවල මෙවැනි අර්බුද සහ නොසන්සුන්තාවන් අපි දැක්කා.
ජර්මනියේ මාස හයක් ආණ්ඩුව නෑ. ඉතාලියේ සති පහක් ආණ්ඩුවක් නෑ. ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා එක් රැයකින් වෙනස් වුණා. පාර්ලිමේන්තුවේ ගැටුම්..! අපේ විතරද..? අපේ රටේ සිදුවූ දේ හරි කියලා මම කියන්නේ නෑ. අපේ පාර්ලිමේන්තුවේ සිදුවූ හැසිරීම පක්ෂ භේදයක් නොමැතිව මම පිළිකුල් ලෙස හෙළා දකිනවා.
අපේ මතවාදය ජයග්‍රහණය කළ යුත්තේ ප්රජාතන්ත්රවාදයෙන්. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අවට වට පිටාව ගැන අවධානය යොමු කළ යුතුයි.
ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය හමුවට ගිය අයට නඩු විභාග කර අවසන් තීන්දු දුන්නේ නෑ. කිහිපයකට අතුරු තහනම් නියෝග දුන්නා. නඩු ගණනාවක් තිබෙනවා. මේ නඩු මිනී මැරීම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ නඩු නොවෙයි. මේ සියල්ල දේශපාලන නඩු.
මේ නඩු පිළිබඳව අධිකරණයෙන් දැක්වූ ප්‍රතිචාර ගැන රටේ ජනතාව අතර විවිධ අදහස් තිබෙනවා. මම අධිකරණයට ගරු කරනවා. අධිකරණය දෙන්නා වූ තීන්දු තීරණ මම භාර ගන්නවා. අධිකරණයේ තීන්දු ගැන ජනතාවගේ මතය විවිධයි. කොටසක් කියනවා අධිකරණය මධ්‍යස්ථයි කියලා. ඇතැම් අය කියනවා අධිකණය ඒකපාර්ශ්වීයයි කියලා.
මේ දේශපාලන අර්බුදය හමුවේ අප හැසිරෙන්නේ නීති ගරුකව විනය ගරුකව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමය කරමින්.
රනිල් වික්‍රමසිංහ මහතා අහිමි වූ පුටුව ලබා ගැනීමට විදේශීය තානාපතිවරුන් වන්දනා කරනවා. අපි වන්දනා කරන්නේ ජනතාවයි. ඒඅනුව ප්‍රධාන වශයෙන්ම මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගෙන එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මම තුන් වරක් හමුවුණා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අයත් සමග මිත්රශීලීව සාකච්ඡා කරනවා.
මේ සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ට කියපු දේ අද මම මුළු රටටම ප්‍රසිද්ධියේ කියනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225යි. මේ මන්ත්‍රීවරුන් 225ම අත්සන් කරලා දුන්නත් මම රනිල් වික්‍රමසිංහ යළි අගමැති කරන්නේ නෑ.
ඒ ඔහුගෙයි මගෙයි පුද්ගලික ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඔහු රටට නොගැලපෙන දේශපාලඥයෙක්. ඔහුගේ දේශපාලන දර්ශනය රටට ගැලපෙන්නේ නෑ. ඔහු හිතන පතන විදිහ රටට ගැලපෙන්නේ නෑ.
මාව ජනපති කරන්න කටයුතු කළ එක්සත් ජාතික පාක්ෂිකයන් මට වෛර කරන බවත් මම දන්නවා. එක්සත් ජාතික පක්ෂපාක්ෂිකයිනේ... ඔබේ වර්තමාන නායකයා ඔබේ ගෞරවණීය දේශපාලන පක්ෂය විනාශ කළා.
ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින් රටට ජනතාවට ආදරෙයි.මේ මනුස්සයට ඒ කිසිවක් දැනෙන්නේ නෑ. අන්ත දක්ෂිණාංශික නව ලිබරල් වාදී දේශපාලන දර්ශනයෙන් ඔහු හිරි වැටිලා.
මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී හෙට දවසේ රට වෙනුවෙන් තිබෙන යුතුකම් හා වගකීම් ඉටු කරමු. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. කිසිවෙකුටත් පක්ෂය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ.
මේ දේශපාලන අර්බුදය සහා නොසන්සුන්තාව දින හතක් ඇතුළතදී අවසන් කරන බව මම පැහැදිලිව කියනවා. ඒ ඔබ වෙනුවේන්, රට වෙනුවෙන්, හෙට උපදින දු දරුවන් වෙනුවෙන්...මේ ප්රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු. ඒ පින කරන්න අපි හදන මල්වට්ටියට අත ගහමු."
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
