අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල් කරූගෙනුයි-මහින්ද ගෝඨාගෙනුයි බේරෙන්න ගහන්න යන “Game” එක මෙන්න..!

රනිල් කරූගෙනුයි-මහින්ද ගෝඨාගෙනුයි බේරෙන්න ගහන්න යන “Game” එක මෙන්න..!

නාමික ජනපති මෛත්‍රී..! “රනිල්-මහින්ද” අගමැති සටනට..! ජනපතිවරණය වෙනුවට ජන මත විචාරණයක ලකණු..! ජවිපෙ-TNA සහයත් ලැබිලා..! “මෛත්‍රී-මහින්ද” ගැන එජාප පසු පෙළ විරෝධය..! (සුජිත් මංගල ද සිල්වා) විස්සයි-විස්ස…

නාමික ජනපති මෛත්‍රී..!

“රනිල්-මහින්ද” අගමැති සටනට..!

ජනපතිවරණය වෙනුවට ජන මත විචාරණයක ලකණු..!

දැන්වීම

ජවිපෙ-TNA සහයත් ලැබිලා..!

“මෛත්‍රී-මහින්ද” ගැන එජාප පසු පෙළ විරෝධය..!

රනිල් කරූගෙනුයි-මහින්ද ගෝඨාගෙනුයි බේරෙන්න ගහන්න යන “Game” එක මෙන්න..!

(සුජිත් මංගල ද සිල්වා)

විස්සයි-විස්ස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන කාරණය  සම්බන්ධයෙන් ඒ ඒ දේශපාලන පක්ෂ සහ එහි නායකයින් මේ වන විට මුහුණ දී සිටින උග්‍ර අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය හමුවේ, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කෙරෙහි එම සියලු නායකයින්ගේ අවධානය යොමුව තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් අතර මීට අදාළව මේ වන විටත් සාකච්ඡා ආරම්භ වී ඇති අතර ඒ දෙදෙනා මීට සති තුනකට පමණ ඉහත දී හමුවී මේ කාරණය සම්බන්ධයෙන් මුහුණට-මුහුණ (One to One) දීර්ඝ සාකච්ඡාවක් සිදු කළ බව අග්‍රාමාත්‍යවරයාගේ සමීපතමයෙක් “lankanewsweek” සමග පැවසීය.

දෙදෙනා අතර මේ හමුව පැවතියේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර මේ මස 13 වැනි බදාදා රාත්‍රියේ කොළඹ 5 වැනි පටුමගේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ බාල සොහොයුරු නිරාජ් වික්‍රමසිංහ මහතාගේ නිවසේ සිදු වූ හමුවට පෙරය.

විස්සයි-විස්ස ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන කාරණය  සම්බන්ධයෙන් මෙවැනි අර්බුදයක් ප්‍රධාන දේශපාලන පක්ෂවල නිර්මාණය වී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් රටත්-ජනතාවත් ඉල්ලන දෙවැනි පෙළ ජනප්‍රිය සහ අලුත් නායකයෙකුට ඒ අවස්ථාව ලබා දීමට සුදානම් නොමැති නිසා බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් තිදෙනාම දේශපාලන වශයෙන් බරපතළ තුවාල සිදු කර ගෙන සිටින බව පෙන්වා දුන් එම දේශපාලන විචාරකයෝ, මේ  තත්ත්වය හමුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ අභ්‍යන්තරයේ විශාල විරෝධයක් මතු වී තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දී සිටින ප්‍රශ්නය  වන්නේ ජනාධිපතිවරණයට තෙවැනි වරට තරඟ කිරීමට ඔහුට නීතිමය හැකියාවක් නොමැති තත්ත්වය හමුවේ ඒ අවස්ථාව ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඇතිවී තිබෙන බල අරගලය හේතුවෙන් සිය බලය ගිළිහී යාමේ අවදානම බව ද පෙන්වා දුන්හ.

මේ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ අලුත්ම දේශපාලන උපක්‍රමය වී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රයෝජනයට ගනිමින් එම යෝජනාව සම්මත කර ගැනීමය.

එවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මුහුණ දී සිටින ප්‍රශ්නය අහෝසි වන අතර ඒ අනුව අගමැති අපේක්ෂකයා ලෙස මහා මැතිවරණයට තරඟ කරමින් සිය පක්ෂ ජයග්‍රහණය කරවා සිය බලයත් සිය පක්ෂ නායකත්වයත් තහවුරු කර ගැනීමට හැකි වන බවට එම නායකයින් දෙදෙනා දේශපාලන වශයෙන් ගණන් බලා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණොත් පරාජයට පත්වීමට තිබෙන අවදානමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ගැලවෙන අතර එමනිසා මේ “රනිල්-මහින්ද” හවුලේ අලුත්ම දේශපාලන උපක්‍රමයට ඔහුගේ ද සහය ලැබෙමින් පවතියි.

ඊට සහය පළ කිරීම සඳහා කොන්දේසි ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සමීපතමයින් මාර්ගයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පෙරමුණේ තිරය පිටුපස නායකයින්ට දැනුම් දී තිබෙන්නේ මේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව ඒ යටතේ පාර්ලිමේන්තුවෙන් පත් කෙරෙන නාමමාත්‍ර ජනාධිපති ධූරයේ ඉදිරි අවුරුදු පහ රැදී සිටීමට තමාට අවස්ථාව ලබා දෙන ලෙසය.

මේ ක්‍රියාදාමයට ජනතා විමුක්ති පෙරමුණේ වගේම ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහයෝගය මේ වන විටත් ලැබී තිබෙන බව “lankanewsweek” සමග පැවසූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරද අධිනීතීඥ ලාල් විජේනායක මහතා සිය දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන තත්ත්වයන් හමුවේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් ද ඊට නියත ලෙසම සහය පළ කරනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

අලුත්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වත්මන් පාර්ලිමේන්තුවෙන් ඉදිරිපත් කිරීමට නොහැකි නිසා තමා ඇතුළු සිවිල් සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ක්‍රියාකාරීන්,සංවිධාන වගේම බලවේග ආණ්ඩුවට බල කර සිටින්නේ ද 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගන්නා ලෙසට යැයි ද සඳහන් කළේය.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස කතානායක කරු ජයසූරිය මහතාගේ නම ඉහළින්ම සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බව ද ඔහු තහවුරු කළේය.

මේ අලුත්ම දේශපාලන උපක්‍රමයට අදාළව රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මේ දිනවල විටින් විට දුරකතනයෙන් කරුණු සාකච්ඡා කරමින් සිටින බව කවුරු නොදනිතත් “lankanewsweek” සහ මේ ලියුම්කරු දනී.

ඊට හොඳම උදාහරණය ව්‍යවස්ථාදායක සභාවට සිය නියෝජිතයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද මහතා පත් කිරීමට සියලු කටයුතු යොදා තිබුණු අවස්ථාව්දී, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මහින්ද රාජපක්ෂ මහතාව දුරකතනයෙන් අමතා ඔහුගේ නියෝජිතයා ලෙස ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා එම සභාවට පත් කරන ලෙසට ඉල්ලා සිටීමය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් එම ඉල්ලීම කළේ විධායක ජනාධිපති ධූරය ඉකමනින්ම අහෝසි කිරීමේ මෙම මෙහෙයුමට ද්‍රවිඩ ජාතික සන්ධානය සිය සහය පළ කිරීමට එකඟ වී සිටින නිසා වන අතර ඔහු ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට ද දුරකතනයෙන් පැහැදිළි කර දී තිබේ.

කෙසේ නමුත් මුලින් සැලසුම් කර තිබූ පරිදි  ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂනායකවරයා මාර්ගයෙන් කෙසේ හෝ තමාවම පත් කර ගැනීමට ඩග්ලස් දේවානන්ද මහතා තෙවැනි පාර්ශවයක් මාර්ගයෙන් උත්සහ කරමින් සිටින අතර ඔහු මේ කාරණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කළ අවස්ථාව්දී ඔහු විමසා තිබෙන්නේ අලුතින් නිර්මාණය වෙමින් පවතින මේ දේශපාලන පසුබිම යටතේ අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම නොසලකා හැරීමට තමාට නොහැකි බව යැයි ඩග්ලස් දේවානන්ද මහතාගේ හිතවතෙක් “lankanewsweek” සමග පැවසීය.       

මේ දේශපාලන අරමුණ කූටප්‍රාප්තියට අපත් කර ගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කර ගැනීමට තිරය පිටිපස සිටිමින් කළ දේශපාලන සෙල්ලම අපි ඉදිරියේදී හෙළිදරව් කරන්නෙමු.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු නායකයින් ගණනාවක් එක්සත් ජාතික පෙරමුණේ සිටියදී විධායකය අහෝසි කර මහින්ද රාජපක්ෂලාගේ සහ මෛත්‍රීපාල සිරිසේනලාගේ ප්‍රශ්න විසඳා දේශපාලන සතුරන් බලවත් කරන්නේ මන්ද යැයි එම පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරු ප්‍රශ්න කර සිටිති. රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රශ්නය තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකයෙක් ජනාධිපති අපේක්ෂයකයා ලෙස ඉදිරිපත් වී ජයග්‍රහණය කළ හොත් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව පක්ෂ නායකත්වය ද ඔහුට හිමිවීම නම් අගමැතිවරයා කළ යුත්තේ එම අපේක්ෂකයා සමග විවෘත්තව සාකච්ඡා කර පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීම විනා මේ මොහොතේ විධායකය අහෝසි කර හතර ගාතයෙන් වැටී සිටින මහින්ද රාජපක්ෂගේ සහ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රශ්න විසඳීම නොවන බව ද ඔවුහූ අවධාරණය කළහ.

රනිල් කරූගෙනුයි-මහින්ද ගෝඨාගෙනුයි බේරෙන්න ගහන්න යන “Game” එක මෙන්න..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 5
බෙදාගන්න
රනිල් කරූගෙනුයි-මහින්ද ගෝඨාගෙනුයි බේරෙන්න ගහන්න යන “Game” එක මෙන්න..! | Lanka Newsweek