රට-ජනතාව ගැන නොතකා රජය බලයට පොර අල්ලනවා

සෑම පැත්තකින්ම ඇසෙන්නේ දුක් අඳෝනායි විතරයි මුළු රටම අවුල් ජාලයක් වෙලා-අරාජික වෙලා මුළු රටම අවුල් ජාලයක් බවට පත් කරමින් අරාජික කර ඇති අතර සෑම පැත්තකින්ම ඇසෙන්නේ දුක් අඳෝනායි විතර යැයි සාධාරණ සමාජයක්…
සෑම පැත්තකින්ම ඇසෙන්නේ දුක් අඳෝනායි විතරයි
මුළු රටම අවුල් ජාලයක් වෙලා-අරාජික වෙලා
මුළු රටම අවුල් ජාලයක් බවට පත් කරමින් අරාජික කර ඇති අතර සෑම පැත්තකින්ම ඇසෙන්නේ දුක් අඳෝනායි විතර යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා චෝදනා කර සිටියි.
අභ්‍යන්තර බල අරගලය හෙත්ගුවෙන් රට ගොඩනැගීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කිරීමට රජය තවමත් අසමත් වී ඇතැයි ද, ඒ හේතුවෙන් රටත් ජනතාවත් අනාථ වී ඇතැයි ද කරු ජයසූරිය මහතා පෙන්වා දෙයි.
දේශබන්දු කරු ජයසූරිය මහතා මේ අදහස් පළ කළේ, "රට ගොඩ නැගිය හැකි අවම පොදු වැඩපිළිවෙළක්" යන තේමාව යටතේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ "ජානකී" හෝටලයේ දී අඟහරුවාදා (03) සංවිධානය කෙරුණු සාකච්ඡා සභාවේ දී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
අද මුළු රටම අවුල් ජාලයක් වෙලා සෑම පැත්තකින්ම ඇසෙන්නේ දුක් අඳෝනායි. විදුලි කප්පාදුව නිසා ජන ජීවිතය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා. කර්මාන්ත ශාලා සහ වෙළෙඳ ව්‍යාපාර වැසී යමින් පවතිනවා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, සිමෙන්ති පෝලිම්, දිග්ගැස්සෙමින් පවතිනවා. ජීවන වියදම දරා දරා ගන්නට බැහැ. බොහෝ පවුල් ජීවිත ගැට ගසා ගන්නේ එක් වේලකින් හෝ දෙවේලකින් බව පැහැදිලියි. රැකියා විරහිත පුද්ගලයින් වැඩි වෙමින් පවතිනවා. ජනතාව බලාපොරොත්තු සුන් කර ගෙන තිබෙනවා. තරුණ පරපුර ගෝල්ෆේස් පිටියේත්, ඉන් පිටස්තරවත් වර්තමාන පාලන ක්‍රමයේ වෙනසක් ඉල්ලා උද්ඝෝෂණ කරනවා. බල අරගලයක් නිසා රජය රට ගොඩනැගීමට සැලැස්මක් තවමත් ඉදිරිපත් කර නැහැ. එහෙයින් රට දිනෙන් දින පිරිහෙනවා. විනාශ මුඛයට යනවා.
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ අප මුල් අවධියේ සිටම රටේ දැවෙන ප්‍රශ්න ගැන හඬක් නැගුවා. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දින සිට ඊට විරෝධය පළ කළා. නව ව්‍යවස්ථාවක් සහ මැතිවරණ ක්‍රමයක් සඳහා යෝජනා ඉදිරිපත් කළා.
අප අද මේ සාකච්ඡාව පවත්වන්නේ "රට නංවන හදිසි වැඩපිළිවෙළක්" යෝජනා කිරීම සඳහායි. කීර්තිමත් විද්වතෙකු වූ මහාචාර්ය රොහාන් සමරජීව මහතාගේ සභාපතිත්වයෙන් යුතුව දේශීය සහ විදේශීය විද්වතුන්ගේ අදහස් සහ උපදෙස් ලබා ගෙන මේ වැදගත් යෝජනා අපි රටට ඉදිරිපත් කරනවා.
විදුලි කප්පාදුව නැති කිරීම හෝ අවම කිරිම ඉතා හදිසි ක්‍රියාදාමයක් ලෙසින් අප දකිනවා. එවිට කර්මාන්ත ක්ෂේත්‍රයේ, නිෂ්පාදනයේ, අපනයන කර්මාන්තයේ සහ සංචාරක ව්‍යාපාරවල පිබිදීමක් ඇති වෙනවා. ඉන්පසු ඉන්ධන සහ ආහාර ද්‍රව්‍ය ආදිය අඛණ්ඩව සහ සාධාරණ මිලට වෙළඳ පොළට සැපයිය යුතුයි. පෝලිම් යුගය ඉතා ඉක්මණින් අවසන් කළ යුතුයි.
පාලකයින්ගේ විශාල ම කාර්යභාරය වනුයේ සම්පූර්ණයෙන් විනාශ වී ඇති කෘෂිකර්මාන්තය පුනරුත්ථාපනය කිරීමයි. යල කන්නයට ප්‍රමාද වී හෝ රසායනික පොහොර, බීජ, කෘෂි නාශක, බෙහෙත් වැනි දේ ලබා දිය යුතුයි. ගොවියන්ට පොරොන්දු වූ වන්දි නොගෙවා සිටීම නිසා රජය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ගොවීන් අසරණ වී සිටිනවා.
ජර්මනිය, කොරියාව, ඉන්දියාව වැනි රටවල් දියුණු වූයේ මධ්‍යම පරිමාණයේ සහ කුඩා කර්මාන්ත (SME) සඳහා අවධානය යොමු කිරීමෙනුයි. මේ සෑම රටක්ම අපනයනය සඳහා විශාල දිරිදීම් ලබා දුන්නා. ඔවුන්ගේ මුල් තේමාව වූයේ "Export or Perish" "අපනයනය කරනු-නැති නම් විනාශ වනු" යන්නයි.
අපනයන සංවර්ධනය සඳහා බොහෝ රටවල් දිරිදීම් ලබා දෙනවා. නමුත් අපේ රටේ දැනට පවතින 20/24 ඉහළ පොලී අනුපාතය නිසා ව්‍යවසායකයාට සාධාරණ අගයකට මූල්‍ය පහසුකම් ලැබෙන්නේ නැහැ. පසුගිය වකවානුවේදී සංවර්ධන බැංකු වශයෙන් ක්‍රියා කළ NDB (ජාතික සංවර්ධන බැංකුව) සහ DFCC (සංවර්ධන මූල්‍ය ආයතනය) යන බැංකු වාණිජ බැංකු බවට පරිවර්තනය කළා. මා එම ක්‍රියාව දකින්නේ වැරදි පියවරක් ලෙසිනුයි. එමගින් අපනයන සංවර්ධනයට විශාල වශයෙන් හානි වුණා. සිංගප්පූරුව වැනි දියුණු රටවල තවමත් සංවර්ධන බැංකු පවත්වා ගෙන යනවා. රජය මේ දුර්වල තත්ත්වයට වහා පිළියම් යොදා EXIM බැංකුවක් ස්ථාපිත කිරීම වහා කළ යුතුයි. මෙවැනි කටයුත්තකට ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් උපකාර ලබා ගත හැකි බව අප දන්නවා.
අධික සිමෙන්ති මිල සහ වැලි මිල නිසා ගොඩනැගිලි කර්මාන්තයත් විශාල පසුබෑමකට ලක්ව තිබෙනවා. දැනට අය කෙරෙන සිමෙන්ති මිල අනුව විශාල ලාභයක් ඇතුළත් කර ඇති බවට වාර්තා වී තිබෙනවා. රජය මේ ගැන අවධානයට ලක් කළ යුතුයි. සමහර වෙළෙඳුන් පාරිභෝගිකයන්ව අසාධාරණ ලෙස ගසා කනවා. පාලකයින් මේ සඳහා වහා විසඳුම් සෙවිය යුතුයි.
නවීන තාක්ෂණය දියුණු වීම නිසා නව පරපුර IT/BPO කර්මාන්තයට යොමු කළ යුතුයි. ඉන්දියාවේ හිටපු මුදල් ඇමති ආචාර්ය මන්මෝහන් සිං මැතිතුමා මේ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කරමින් ලක්ෂ සංඛ්‍යාත තරුණ පරපුරට රැකියා උත්පාදනය කළා.
අප මෙහි දී සඳහන් කළේ මූලික අදහස් කිහිපයක් පමණයි. අද එළි දක්වන මෙම වාර්තාව තව දුරටත් සාකච්ඡාවට බදුන් කර ගැඹුරු යෝජනාවලියක් සැකසීමට එක් වන ලෙස විද්වතුන්ට සහ පුරවැසියන්ට ආරාධනා කරනවා.