රට ගල් යුගයට ගෙන යන Online පනත වහා හකුළා ගනු

රටේ "Digital" ආර්ථිකය විනාශයි ජනපතිවරණ-මහා මැතිවරණ වෙනුවෙන් ජනතාවගේ අයිතීන් කොල්ල කෑවා පාර්ලිමේන්තුවේ 225ක පෞද්ගලික අභිලාෂයන් නොව රටේ ලක්ෂ 220ක් වූ මහා ජනතාවගේ පොදු අභිලාෂයන් මුදුන්පත් කරවීම සඳහා…
රටේ "Digital" ආර්ථිකය විනාශයි
ජනපතිවරණ-මහා මැතිවරණ වෙනුවෙන් ජනතාවගේ අයිතීන් කොල්ල කෑවා
පාර්ලිමේන්තුවේ 225ක පෞද්ගලික අභිලාෂයන් නොව රටේ ලක්ෂ 220ක් වූ මහා ජනතාවගේ පොදු අභිලාෂයන් මුදුන්පත් කරවීම සඳහා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පත වහාම හකුළා ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
ව්‍යවස්දායකයේ නීති සම්පාදනයේ දී ප්‍රශස්ත සහ ප්‍රබුද්ධ ආකාරයට එම නීති සම්පාදනය සිදු විය යුතු වුවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ දී එවැන්නක් සිදුව නොමැති බව ද, මැති ඇමතිවරුන් පෞද්ගලික චරිත ඝාතන සහ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීම එම පනත් කෙටුම්පත යොදා ගෙන ඇති බව ද පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ඒ හේතුවෙන් ලක්ෂ 220ක් වූ මහා ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවන බව ද සඳහන් කරයි.
ලක්ෂ 220ක් වූ මහා ජනතාවගේ පොදු අභිලාෂයන් මූලික කර ගෙන නීති සම්පාදනය කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ පෞද්ගලික අභිලාෂයෙන් මුදුන්පත් කර ගැනීම අරමුණු කර ගෙන නීති සම්පාදනය වන්නේ නම් එමගින් රටේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතු වන බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියි.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, බදාදා (24) පාර්ලිමේන්තුවේදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතට අදාළ විවාදයේදී අදහස් පළ කරමිනි.
එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේ, පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව ද මේ නීති සම්පාදන කටයුත්තේදී සිය යුතුකම සහ වගකීම හරියාකාරව ඉටු කර නොමැති අතර ඒ අනුව එම යෝජනාව සම්මත කළ එම කමිටුව කමිටුව ගල් යුගයට රට ගෙන ගිය කමිටුවක් ලෙස හැඳින්විය හැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ පවත්වන මෙම වසරේදී රටේ ජනතාවගේ භාෂණයේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහමුලින්ම කෙළෙසීම අරමුණු කර ගෙන මෙම පනත ඉදිරිපත් කර ඇති බවත් මේ පනත හරහා රටේ ඩිජිටල් ආර්ථිකයට විශාල බලපෑමක් සිදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.