අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ දුප්පත්කම ගැන ආණ්ඩුව හැදු බොරු දත්ත වාර්තාවේ ඇති කරුණු විපක්ෂ නායක හෙළි කරයි

සජිත් ප්‍රේමදාස

සැප්තැම්බර් 28 වැනි දා සවස රජය, මහබැංකුව සේම ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අප රටේ 2026 සමාජ ආර්ථික දත්ත ගැන වාර්තාවක් එළිදැක්වූ බවත් මේ වාර්තාව මහබැංකුව හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව එකට එකතු වී ඉදිරිපත් කර ඇති බවත් රජයත් මේ වාර්තාව පිළිගෙන එළිදක්වා ඇති බවත් මේ වාර්තාවේ වැරැදි රැසක් දෝෂ හා අඩුපාඩු රැසක් ඇති බවත් රටේ ලක්ෂ 220ක් ජනතාව නොමඟ යවන සුළු වාර්තාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවත් ඒ බව හේතු, කරුණු හා දත්ත මත පදනම්ව ඉදිරිපත් කරන බවත් මෙසේ ඉදිරිපත් කරන කරුණු ගැන ඕනෑ ම වෙලාවක ඕනෑ ම පාර්ශ්වයක් සමඟ අදහස් හුවමාරුවකට ද සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

දැන්වීම

මේ වාර්තාව තුළින් රජය සුන්දර චිත්‍රයක් මවා පා ලස්සන තත්ත්වයක් රටට ඉදිරිපත් කරන්න, සමහර තොරතුරු ඇතුළත් කිරීමටත් ඇතැම් තොරතුරු බැහැර කිරීමටත් කටයුතු කර ඇති බවත් දත්ත ඉදිරිපත් කිරීමේ දී කාලවකවානුවල සමානතාවක් ඒකාග්‍රතාවක් තිබිය යුතු බවත් එක් කාලයක දත්ත ගෙන එක් නිගමනයක් ඉදිරිපත් කිරීමත් පැරණි දත්ත ඉදිරිපත් කර සම්පූර්ණ ජන කොට්ඨාසයක්ම කොන් කරමින් වාර්තා ඉදිරිපත් කරන්න මහබැංකුවට හෝ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අයිතියක් නොමැති බවත් ඔවුන්ගේ අයිතිය වන්නේ නිවැරදි තොරතුරු ජනතාවට වාර්තා කිරීම බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මහබැංකුවයි ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවයි ජනතාව මෝඩයාට අන්දලා

මේ වාර්තාව ඉදිරිපත් කරන විට මහබැංකුව හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව රටේ ජනතාව මෝඩයෝ ගාණට දමා ඇති බවත් මේ විවේචන ඉදිරිපත් කරන්නේ ආර්ථික විද්‍යාව ගැන මනා අවබෝධයෙන් බවත් සාර්ව ආර්ථිකය සේම ක්ෂුද්‍ර ආර්ථිකය ගැනත් යම් අවබෝධයක් මත පදනම්ව මේ කරුණු ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ වාර්තාවේ සමාජ ආර්ථික තත්ත්වය ගැන දත්ත සියල්ල 2016-2019 කාලයේ ඒවා

මේ වාර්තාවේ මුල් පිටුවේ ඇති ප්‍රධාන ආර්ථික දර්ශක, සාර්ව ආර්ථික දර්ශක, ජන විකාශක සමාජ දර්ශක ගැන 2024 දත්ත, ආයු අපේක්ෂාව ගැන 2024 දත්ත, ප්‍රධාන ආර්ථික දත්තවලට 2025 දත්ත, සාක්ෂරතාවට හා ආයු අපේක්ෂාවට 2024 දර්ශක භාවිත කර ඇති බවත් බාහිර වෙළෙද මූල්‍ය පාරිභෝගික මිල දර්ශක, Real GDP, ආනයන අපනයන, සෞභාග්‍ය දර්ශක ආදිය සේම මානව සංවර්ධන දර්ශක ආසියානු රටවල්, සාර්ක් රටවල් හා සංසදනය කරන බවත් මේ ආකාරයට 18 වැනි පිටුව දක්වා 2023-2025 දත්ත භාවිත කළත් සමාජ ආර්ථික තත්ත්වය ගැන සඳහන් 19 පිටුවේ සිට 34 පිටුව දක්වා 2016 සහ 2019 දත්ත උපයෝගී කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම සහ දරිද්‍රතා රේඛාව ගැන රජය සතු දත්ත සියල්ල යල්පැනගිය ඒවා

සමාජ ආර්ථික තත්ත්ව ගැන කතා කරන විට ගෘහයක ආදායම් වියදම සම්බන්ධ සමික්ෂණ ගැන 2016-2019 දත්ත දැක්වුවත් ඉන් පසු දත්ත නොමැති බවත් පළාත් මට්ටමේ තත්ත්වය, නිවාස පහසුකම්, බලශක්ති පාරිභෝජනය, ආහාර පිසීම, ජනගහන ව්‍යාප්තිය, ගෘහයක ආදායම් වියදම්, ජනගහන ව්‍යාප්තිය ආදිය ගැන විශේෂයෙන් 33 වැනි පිටුවේ දුප්පත්කම ගැන සඳහන් වුවත් මේ සියලු දත්ත 2016 සහ 2019 දත්ත බවත් 34 පිටුවේ ඒක පුද්ගල දෛනික ආහාර ශක්‍ය පාරිභෝජනය ගැන සඳහන් දත්ත පවා 2016 සහ 2019 දත්ත බවත් මේ පැරණි දත්ත උපයෝගී කර ගෙන රජය 2026ට අදාළ වාර්තාවක් සකස් කිරීම රටත් ජනතාවත් නොමග යවන වාර්තාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇයි පැරණි දත්ත උපයෝගී කර ගෙන ජනතාව රවටන්නේ..?

දුප්පත්කම, නැතිබැරිකම ගැන මහා විශාල පීඩනය, ආදායම ගැන ගෙන ඇත්තේ පැරණි දත්ත බවත් 35 වැනි පිටුවේ සිට සෞභාග්‍ය, ජන විකාශනය, ශ්‍රම බලකාය, රැකියා නියුක්තිය ආදියට 2025 දත්ත ගෙන ඇති බවත් දළ ජාතික ආදායම කර්මාන්ත මූලාශ්‍ර අනුවත් 2025 දත්ත ඉදිරිපත් කරන බවත් වත්මන් වෙළෙදපොළ අනුව ආහාර මිල, ආනයන අපනයන, සංචාරක, රාජ්‍ය ආදායම, රාජ්‍ය ණය, පොලි අනුපාතය ආදී දත්ත ද මෑත කාලීන දත්ත ඉදිරිපත් කළත් මහබැංකුව හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දුප්පත්කම, නැතිබැරිකම අගහිගතාව, ප්‍රමාණවත් මුදල් නොමැති නිසා ජන ජීවිත විනාශ වීම ගැන පැරණි දත්ත උපයෝගී කර ගත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් දුප්පත්කමට අදාළ දත්ත පමණක් යාවත්කාලීන වී නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ ජනතාව නැවත වරක් ඓතිහාසික ලෙස රවට්ටන්න මේ රජය හදනවා

විදේශ ණය, මූල්‍ය ක්‍රියාකාරකම්, මූල්‍ය ක්ෂේත්‍රයේ නිර්මාණය වන ප්‍රවණතා, මුදල් සැපයුම ආදිය ගැන යාවත්කාලීන වූ 2023, 2024, 2025 මෑත කාලීන දත්ත ඉදිරිපත් කළ හැකි නම් දුප්පත්කමට 2016 හා 2019 දත්ත උපයෝගී කර ගෙන රට නොමග යවන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් වාර්තාව සේම වාර්තාවේ සාරාංශය ද දුප්පත්කම ගැන අසමානාත්මතාව, ආදායම් බෙදීයාම, ගෘහයක ආදායම් වියදම් බෙදීයාම, ජනතාවගේ පාරිභෝජන රටා ජීවත් වන මට්ටම, පෝෂණය ගැන වාර්තාවේ සහ සාරාංශයෙන් ද ඔප්පු වෙන්නේ රජය සාර්ව ආර්ථික කොටස් ගැන 2025, 2024 හා 2023 දත්තත් දුප්පත්කම ගැන යල්පැනගිය දත්තත් ඉදිරිපත් කර රටේ දුප්පත්කම ගැන ඓතිහාසික රැවටිල්ලක් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම ගැන අලුත් දත්ත හංගන්නේ ඇයි..?

දුප්පත්කම ගැන රජය ඉදිරිපත් කරන්නේ පැරණි දත්ත බවත් අලුත් දත්ත හංගා හෝ හිතාමතාම මගහරවා හෝ හිතාමතාව රට රවටන ව්‍යාපෘතියක නිරතව සිටින බවත් මේ දත්ත ජිල්මාට් එක කරන්නේ කාගේ වුවමනාවටද කියා ප්‍රශ්න කරන බවත් ජනතාවට ඇත්ත අනාවරණය කළ යුතු බවත් දුප්පත්කම ගැන ගණනය කරන්න මේ රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නොවැම්බර් 12 අයවැය ඉදිරිපත් කරන්නේ මේ බොරු දත්ත මත පදනම්වද

එක් පුද්ගලයකුට දින 30ක් ජිවත් වෙන්න රු. 17315කින් ජීවත් වෙන්න හැකි බවට රජය පැවසුවත් එයද බොරුවක් හා රැවටිල්ලක් බවත් මේ රජයට දුප්පත්කම ගැන යාවත්කාලීන වූ දත්ත හෝ නිර්වචන නොමැති බවත් රට බංකොලොත් වූ වෙලාවේ සිට මේ වන තුරු ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කිරීම හෝ දරිද්‍රතා රේඛාව නිශ්චිතව හඳුනාගෙන නොමැති බවත් නොවැම්බර් 12 අයවැයක් ඉදිරිපත් කරන විට පවා මේ බොරු වැරදි දත්ත උපයෝගී කර ගන්නේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මුද්‍රණ දෝෂ කියා මේ වංචාව යට ගහන්න හදන්න එපා

රජය මානව සංවර්ධන දර්ශක ලංකාව ආසියානු රටවල් ජී7 රටවල් හා සාර්ක් රටවලට සංසන්දනය කරන බවත් මේ සංසන්දනය කරන්නේ දුප්පත්කම ගැන නිවැරදි දත්ත මත පදනම්ව නොවන බවත් රජයේ මේ බොරුව අතේ මාට්ටු වී ඇති බවත් මුද්‍රණ දෝෂ කියා මේවා වහන්න උත්සාහ නොකරන ලෙසත් දුප්පත්කම ගැන ජිල්මට් දත්ත නොව නිවැරදි දත්ත අවශ්‍ය බවත් මේවා නොමැතිව අයවැයක් ඉදිරිපත් කළ නොහැකි බවත් මේ ගැන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව, මහබැංකුව, ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පිළිතුරු දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලෝක බැංකුවට අනුව අප රටේ දුප්පත්කම 65.4%ක්

ලෝක බැංකුවට අනුව අප රටේ දරිද්‍රතා රේඛාව දිනකට ඇ. ඩොලර් 8.3ක් හෙවත් රු. 2724ක් බවත් මහබැංකුව හා ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට මේ දත්ත ලෝක බැංකුවෙන් ගත හැකි බවත් ලංකාවේ යාවත්කාලීන සංවර්ධන දත්ත ගැන 2026 ලෝක බැංකු වාර්තාවට අනුව මේ වන විට රටේ දුප්පත්කම 65.4%ක් බවත් එසේම පසුගිය කාලයේ සිදුවූ සුබසාධන අහිමිවීම බරපතල බවත් අප රටේ ගෘහයන්ගෙන් 33%ක් බරපතළ ආහාර අනාරක්ෂිතභාවයට ලක්ව ඇති බවත් ලෝක බැංකුවේ සහකාර මහලේකම්වරයාට අනුව 2028 වන විට එය 63.4%කට අඩුවන බවට පුරෝකථනය කරන බවට ද මේ වාර්තාවේ සඳහන් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් නිවැරදි දත්ත මත පදනම් වූ වාර්තාවක් අයවැයට පෙර ඉදිරිපත් කරන්න

දිගින් දිගටම රටත් රටේ ජනතාවත් බොරුවෙන් අන්දවන්න එපා කියා ඉල්ලා සිටින බවත් මේ සංඛ්‍යා ලේඛන වාර්තා සමාජ ආර්ථික දත්ත ලෙස ඉදිරිපත් කරන විට දින වකවානුවල සාපේක්ෂ සමානාත්මතාව වැදගත් බවත් දුප්පත්කමේ දත්ත හංගා පැරණි දත්ත ඉදිරිපත් කර ලක්ෂ 220ක් ජනතාව රවටන්නේ නැතිව අසම්පූර්ණ අදක්ෂ අකාර්යක්ෂම ලෙස ඉදිරිපත් කළ වාර්තාවේ ඇති දුප්පත්කම දරිද්‍රතා රේඛාව ගැන ඇති වැරදි දත්ත නොමැතිව නිවැරදි දත්ත මත පදනම් වූ වාර්තාවක් අයවැයට පෙර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය

ලියන ලද්දේ Administratorයාවත්කාලීන කළේ කියවීමට මිනිත්තු 5
බෙදාගන්න
රටේ දුප්පත්කම ගැන ආණ්ඩුව හැදු බොරු දත්ත වාර්තාවේ ඇති කරුණු විපක්ෂ නායක හෙළි කරයි | Lanka Newsweek