අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රටේ දැවෙන ප්‍රශ්න නොතකා රජය බල අරගලයක යෙදිලා

රටේ දැවෙන ප්‍රශ්න නොතකා රජය බල අරගලයක යෙදිලා

තුවක්කුවෙන්-බයිනෙත්තුවෙන් අරගලය මර්දනය කරනු බැහැ තරුණ තරුණියන් ඉල්ලන්නේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් දූෂිතයන්ට දඬුවම් නොදෙන විට තරුණයින් කුපිත වීම ස්වාභාවිකයි රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට පියවර…

තුවක්කුවෙන්-බයිනෙත්තුවෙන් අරගලය මර්දනය කරනු බැහැ 

තරුණ තරුණියන් ඉල්ලන්නේ පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් 

දූෂිතයන්ට දඬුවම් නොදෙන විට තරුණයින් කුපිත වීම ස්වාභාවිකයි

රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට පියවර ගන්නවා වෙනුවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ප්‍රධාන රජය කරමින් සිටින්නේ බල අරගලයක යෙදී සිටීම යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා චෝදනා කර සිටියි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් සිකුරාදා (29) කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ චෝදනාව එල්ල කළ කරු ජයසූරිය මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.

අපි අද ඔබ අමතා කතා කරන්නේ, රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට පියවර ගන්නවා වෙනුවට රජය බල අරගලයකට යොමු වී ඇති අවස්ථාවකයි. රාජ්‍යකරණය බිඳ වැටී ඇති ඉතා අවාසනාවන්ත අවස්ථාවකයි.

දැන්වීම

විදුලි කප්පාදුව නිසාත්, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නිසාත්, ජීවන වියදම ඉහළ යාම නිසාත්, විදේශ සම්පත් නොමැති නිසාත්, ජනතාව විශාල පීඩනයකට ලක්ව තිබෙනවා. ඒ ගැන පුන පුනා කතා කිරීමෙන් වැඩක් නැහැ.

රජය නියමිත වේලාවට තීරණ ගත්තේ නැහැ. අවුරුදු ගණන් එම තීරණ ගැනීම ප්‍රමාද කළා. රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා ගොවිතැන විනාශ වුණා. ගොවියන්ට වන්දි දීමට පොරොන්දු වුවත්, එම පොරොන්දුව කඩ කළා. මහා මාර්ග සහ මංතීරු සදහා අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කළා. විදුලි කප්පාදුව නිසා කර්මාන්ත ක්ෂේත්‍රය එහෙම් පිටින් ම බිඳ වැටුණා. රුපියලට නියම වටිනාකමක් නොදීම නිසා විදේශ මුදල් නීත්‍යානුකූලව රටට ගලා ඒම නැවතුණා. 

මේ සියල්ල සිදු වූයේ කළමණාකාරීත්වයේ වරදින් බව පැහැදිලියි. මේ වැරදිවලට වන්දි ගෙවන්නේ අසරණ ජනතාව යි.
මීට අමතරව ගෝල්ෆේස් පිටියේ දී සහ රට පුරා විවිධ ස්ථානවල රජයටත්, ජනාධිපති සහ අගමැතිවරයාටත්, දැඩිව දෝෂාරෝපණය කරනවා. මොවුන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී, විනිවිද පෙනෙන, පිරිසිදු පාලනයක් බව කවුරුත් දන්නවා.

මහ ජන මුදල් නාස්ති කළ සහ කොල්ල කෑ ආකාරය ගැන විවිධ වාර්තා දැන් එළිදැක්වෙනවා. රුපියල් බිලියන 36ක සීනි මංකොල්ලය රජයේ බලවතුන්ගේ අනුදැනුම පිට සිදු වූ බවට පාරලිමේන්තුවට විගණන කොමිසම වාර්තා කරන විට ඇඟ කිලිපොලා යනවා. 

මේ දූෂිතයන්ට තවම කිසිම දඬුවමක් නොලැබෙන විට තරුණයින් කුපිත වීම ස්වාභාවිකයි. දේශපාලනයෙන් බැහැර ව විරෝධතාවල යෙදෙන විවිධ තරුණ කණ්ඩායම් අප හමුවීමට පැමිණියා. ඔවුන් අදහස් ප්‍රකාශ කරන්නේ දැඩි වේදනාවෙනුයි. සමහර දේශපාලකයින් මේ තරුණයින්ගේ අනාගතය විනාශ කළ බවට සහ කොල්ල කා ඇති බවට ඔවුන් චෝදනා කරනවා. මේ තරුණ පරම්පරාව අනාගත බලාපොරොත්තු සුන් කර ගෙන සිටිනවා. එම නිසා මේ රට ඔවුන්ගේ අසහනය තේරුම් ගත යුතුයි. ඔවුනට අනුකම්පා කළ යුතුයි.

ජනාධිපතිතුමන් විසින් ආණ්ඩු පක්ෂයේ වෙන් වුණු විවිධ කොටස් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡාවකට කැඳවා තිබුණා. ගෙවුණු දින කිහිපයේ දී අප දුටුවේ රජය විසින් බලය රැක ගැනීම සඳහා දරන උත්සාහයක් විනා දැවෙන ප්‍රශ්න විසඳීමට අවධානය යොමු නොකළ බවයි. එම තත්ත්වය රජය සිය වගකීම පැහැර හැරීමක් වනවා. අප රජයට කියන්නේ වහාම මේ ගැන ක්‍රියාත්මක වන ලෙසයි.

ජනතාවගේ ඉවසීමේ සීමාව දෙදරීමට ඉඩ තිබෙනවා. තුවක්කුවෙන් බයිනෙත්තුවෙන් විරෝධතා පාලනය කිරීමට බැහැ.
ජනාධිපතිතුමාගේ සාකච්ඡා සාර්ථක වුව හොත් ජාතික සමගි රජයක් පිහිටු වීමට රජය ඉක්මනින් ක්‍රියා කළ යුතුයි. මෙහිදී මිත්‍රත්වයේ හස්තය විපක්ෂයට දිගු කිරීම වහා සිදු විය යුතුයි. උපාලි අබේරත්න කොමිසමේ පළි ගැනීම් පරීක්ෂණ දිනපතා කර ගෙන යමින්, රන්ජන් රාමනායකව අසාධාරණව හිර කර තබා ගෙන විපක්ෂයේ සහාය බලාපොරොත්තු වෙන්න එපා.

මේ කරුණු අපි සදහන් කරන්නේ ඉතා යහපත් චේතනාවෙනුයි. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දාට පසු දින සිටම අප ඊට විරුද්ධ වුණා. 19 ව්‍යවස්ථාව වහා බලගන්වන ලෙස අප හඬ නැගුවා. මේ හඬ ගෝල්ෆේස් පිටියෙන් සහ දිවයිනේ සතර දිග් භාගයෙන් දැන් ඇසෙනවා. විපක්ෂය කැඳවීමට පෙර මේ කරුණු පිළිබඳව  ජනාධිපතිතුමාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස අප කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

ව්‍යවස්ථා සංශෝධන සදහා විවිධ යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස මාස ගණනාවකට පෙර අප ඒ පිළිබඳ අදහස් එළිදැක්වූවා. සමගි ජන බලවේගය, චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද ඉතා වටිනා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සමහර යෝජනා ක්‍රියාත්මක කිරීමට මාස ගණන් ගත වනවා.

නීතිඥ සංගමයේ යෝජනා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කළ හැකියි. රජයට ඕනෑකමක් තිබෙනවා නම් ඊළඟ පාර්ලිමේන්තු සතියේදී ම මෙහි වැඩි කොටසක් ක්‍රියාත්මක කළ හැකියි. ජනතා විශ්වාසය උපයා ගැනීමට මේ කරුණු අවධානයට යොමු කළ යුතුයි. අප මේ තරම් වේදනාවෙන් කතා කරන්නේ ජනතාව ගැන හැඟීමක් ඇතිවයි. මේ අවසාන මොහොතේ හෝ රජය මේ කරුණු කෙරෙහි අවධානය යොමු කිරීම ජනතා යුතුකමක් ලෙස අප දකිනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රටේ දැවෙන ප්‍රශ්න නොතකා රජය බල අරගලයක යෙදිලා | Lanka Newsweek