අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යුගදනවී බලාගාරය විකුණන හොර ගිවිසුම හෙළි කරනු

යුගදනවී බලාගාරය විකුණන හොර ගිවිසුම හෙළි කරනු

ආණ්ඩුව ජනතාව සතු පරමාධිපත්‍ය බලය හෑල්ලු කරලා "යුගදනවි" බලාගාරයට අදාළව ආණ්ඩුව "New Fortress" සමාගම සමග ඇති කර ගෙන තිබෙන රහස් ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට, රටට සහ ජනතාවට හෙළිදරව් කළ යුතු යැයි සාධාරණ…

ආණ්ඩුව ජනතාව සතු පරමාධිපත්‍ය බලය හෑල්ලු කරලා 

"යුගදනවි" බලාගාරයට අදාළව ආණ්ඩුව "New Fortress" සමාගම සමග ඇති කර ගෙන තිබෙන රහස් ගිවිසුම වහාම පාර්ලිමේන්තුවට, රටට සහ ජනතාවට හෙළිදරව් කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා ඉහළම ආයතනය සහ මුදල් පාලනය භාරව සිටින ආයතනය වන පාර්ලිමේන්තුවට පවා එම ගිවිසුමක් හෙළිදරව් නොකිරීම මගින් ආණ්ඩුව ජනතාව සතු පරමාධිපත්‍ය බලය බලවත් ලෙස හෑල්ලු කර තිබෙන්නේ යැයි ද චෝදනා කර සිටින කරු ජයසූරිය මහතා සිය නිවේදනය මගින් මෙසේ ද කියා සිටියි. 

ශ්‍රී ලංකාවේ බල ශක්ති ක්ෂේත්‍රයට අයත්, නිව් ප්‍රෝටන් සමාගමට අදාළව ඇති කර ගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය සහ මහජන විශ්වාසය රැක ගැනීම සඳහා වහාම රටට හෙළිදරව් කළ යුතුය.

දැන්වීම

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට අයත් ආයතන ගණනාවක් ද ඇතුළු කෙලවරපිටිය බලාගාරය විදේශීය සමාගමකට අළෙවි කිරීමට අදාළව ඇති කර ගෙන ඇතැයි කියන ගිවිසුම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදු කරන ලද හෙළිදරව්ව පිළිබඳව ජනතාව අතර විශාල ආන්දෝලනයක් ඇතිව තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා විසින් එම හෙළිදරව්ව සිදු කරන ලද්දේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටය. එබැවින්, ඒ ඉතා වගකීමකින් යුතුව සිදු කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකියි.

කැබිනට් පත්‍රිකාව මගින් ඇමරිකාවේ නිව් ප්‍රෝටන් සමාගමට පැවරීම සඳහා යෝජනා කළ ද වාර්තා වී ඇති පරිදි ගිවිසුම අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් නමැති සමාගම මගිනි. මෙම සමාගම නිව් ප්‍රෝටන් සමාගමට සම්පූර්ණයෙන් අයිති සමාගමක්ද (Subsidiary) නැත හොත් හවුල් සමාගමක් ද (Joint Venture) යන්න දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත. 

ගිවිසුමේ 13 (1) වගන්තියේ සදහන් කර ඇති පරිදි  අවුරුදු දෙකක් යන තෙක් දෙපාර්ශවය අතර එකඟත්වයක් නොමැතිව රටට හෝ ජනතාවට ගිවිසුමේ සඳහන් විස්තර ප්‍රකාශයට පත් නොකිරීමට එකඟ වී තිබීම විශ්වාස කළ නොහැක.  ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නිතරම හඬ නගන "සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය" ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් යටතේ මෙවැනි අස්වාභාවික ගිවිසුම් ගැන අසා නැත 

ඒ අනුව ශ්‍රී ලංකා රජය සතු වටිනා සහ වැදගත් දේපළ වෙනත් පාර්ශ්වයකට අළෙවි කිරීමට හෝ පැවරීමකට අත්සන් කරන ලද ගිවිසුමක අන්තර්ගතය පිළිබඳව සලකා බැලීමට නම් ප්‍රථමයෙන්ම එම ගිවිසුම පාර්ලිමේන්තුවට සහ ජනතාවට හෙළිදරව් කළ යුතුව තිබේ. එසේ කිරීමට රජය මේ දක්වාම අපොහොසත් වීම හෝ චේතනාන්විතව මඟ හැර සිටීම ජනතාව කෙරෙහි වගකීමක් ඇති කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් විසින් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. 

රටේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නා ඉහළම ආයතනය සහ මුදල් පාලනය භාරව සිටින ආයතනය වන පාර්ලිමේන්තුවට පවා එවැනි ගිවිසුමක් හෙළිදරව් නොකිරීම මගින් ජනතාව සතු පරමාධිපත්‍ය බලය බලවත් ලෙස හෑල්ලු කර තිබේ. ඒ අතිශයින්ම බරපතළ කරුණකි. පාර්ලිමේන්තුව බරපතළ ලෙස හෑල්ලු කිරීමකි. ජනතාවට අවමන් කරමින් සිදු කරන ලද පිටුපා යෑමකි. 

පාර්ලිමේන්තුවේ සියලුම මහජන නියෝජිතයන් සේම රටේ සමස්ත ජනතාවද මේ පිළිබඳව ඉතාමත්ම බැරෑරුම් ලෙස සලකන බව වාර්තා වේ. එබැවින්, රජය නොපමාවම මේ පිළිබඳව රටටත්, ජනතාවටත් නොවළහා කරුණු හෙළිදරව් කළ යුතුව ඇති බව අප සංවිධානය අවධාරණයෙන් යුතුව සඳහන් කරන්නෙමු. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
යුගදනවී බලාගාරය විකුණන හොර ගිවිසුම හෙළි කරනු | Lanka Newsweek