අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

යාචකයින් කොල්ල කෑ හොරුන්ට සිඞ්නි ද සොයිසා දුන්ද ඬුවම

ඉන්න හිටින්නට හරි හැටි තැනක් නැති තංගල්ල ප්‍රදේශයේ එදා සිටි හිඟන්නන් දහවල් කාලයේ දී හිඟමනේ ගොස් රාත්‍රිය ගත කරන්නේ අම්බලමක ය. හිඟන්නන් හත් අට දෙනෙකුගේ ස්ථිර වාසස්ථානය වූ නගර මධ්‍යයේ පිහිටි මෙම…

යාචකයින් කොල්ල කෑ හොරුන්ට සිඞ්නි ද සොයිසා දුන්ද ඬුවම

ඉන්න හිටින්නට හරි හැටි තැනක් නැති තංගල්ල ප්‍රදේශයේ  එදා සිටි හිඟන්නන් දහවල් කාලයේ දී හිඟමනේ ගොස් රාත්‍රිය ගත කරන්නේ අම්බලමක ය. හිඟන්නන් හත් අට දෙනෙකුගේ ස්ථිර වාසස්ථානය වූ නගර මධ්‍යයේ  පිහිටි මෙම අම්බලම් ඔවුන්ගේ නිජ බිමක් බවට පත්කර ගෙන තිබිණි. කොතරම් හිඟා කෑවත්, ඔවුන් රාත්‍රියේදී  මත් වතුර පානය කිරීම පුරුද්දක් කරගෙන තිබිණි.

කැමට දෙයක් ගන්න යැයි අනුන්ට අත පා බැගෑපත් කමින් ඉල්ලා ගන්නා සුළු මුදලෙන් ඔවුන් කෑම නොකෑවත් මත් වතුර බීම අත්හැරියේ නැත. පදමට වෙරි වී නින්දට යන හිඟන්නන්ට පසුදා පහන් වනතුරු අවදි වන්නේ නැත. මෙය ප්‍රදේශයේ  සන්නද්ධ වී සිටි සොරු කණ්ඩායමකට ඉල්ලමක් පෑදුණා වැනි විය. දහවල් කාලයේ දී හිඟා ගෙන ගෙනෙන හිඟන්නන්ගේ පොට්ටනි අඩක්කු සොරකම් කිරීම පුරුද්දක් කර ගත්තේ ය. මේ පිළිබඳව දිනපතාම පොලිසියට පැමිණිලි ගලා එන්නට විය. පොලිසිය ද නොයෙකුත් උත්සාහ දැරුවත් ඒ එකම  හොරකමක්වත් අල්ලා ගැනිමට සමත් නොවී ය.

දැන්වීම

පසුකලෙක නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ සිඞ්නි ද සොයිසා මහතා තංගල්ල පොලිස් අධිකාරීවරයා වශයෙන් වැඩ බාරගත්තේ මේ වකවානුවේදී ය. ප්‍රදේශයේ  ඉකුත් කාලවල දී සිදු වූ දෑ පිළිබඳව පරීක්‍ෂණයක් කළ සොයිසා මහතාට හිඟන්නන්ගේ පොට්ටනි සොරකම් කිරීම පිළිබඳව දැනගන්නට ලැබිණි. හිඟන්නන්ගේ දේවල් සොරකම් කරන හිඟන හොරු රැළ පිළිබඳව දැනගත් විට සොයිසා මහතාට මහත් කලකිරීමක් මෙන්ම දැඩි කෝපයක් ද ඇති වන්නට වැඩි වෙලාවක් ගත නොවුණි. එය මතක් වෙන මතක් වෙන මොහොතක් පාසාම කෝපය ද තව තවත් වැඩිවූවා මිස අඩු නොවීය. වහා ක්‍රියාත්මක  වූ පොලිස් අධිකාරීවරයා මේ පිළිබඳව සියුම් පරීක්‍ෂණයක් පැවැත්විය.

කාටත් හොරා දිනෙක සැන්දෑවක හිඟන්නෙකු මෙන් වෙස් වලාගෙන ගියේ රාත්‍රිය  ගත කිරීමට සොරකම සිදු කෙරෙන අම්බලමට ය. ඒ වන විට දරුණු උණ රෝගයක් පැතිර ගිය හෙයින් හිඟමනේ යන උණ රෝගියෙකු ලෙස කල්වේලා ඇතුව ගොස් අම්බලමේ මුල්ලකට වී කෙඳිරිගාමින් නිදා සිටියේ ය. ටිකෙන් ටික ඇඳිරි වැටෙත්ම හිඟන්නන් එකා දෙන්නා  සුපුරුදු වාසස්ථානයට පැමිණියේ වෙනදා මෙන් පදමට වෙරි වෙමිනි. අලුතෙන් පැමිණ සිටි හිගන්නා දුටු ඔවුන්ට මහත් ප්‍රස්නයක් විය. නොයෙකුත් අඩම්තේට්ටම් කර කොහේ සිට පැමිණියේ දැයි දහසකුත් ප්‍රශ්න කරමින් වද දෙන්නට වූහ. සියලූ වද වේදනා විඳ දරාගනිමින් උණ රෝගියෙක් බවට ඇඟවීමට කෙදිරි ගෑ විට ‘‘කොහේවත් නැති හිඟන්නෙක් මෙහි ආවද? අපට නිදාගන්නවත් ඉඩක් නැතැයි’’ යනුවෙන් බැන වදිමින් සිටියදීම නින්දට වැටුණහ.

හිඟන්නන් පිරිස ගොරව ගොරවා නිදාගනිද්දී සොයිසා මහතාට නින්දක් නොවීය. මධයම රාත්‍රිය  ගතවෙද්දී සංවිධානය වූ සොරු කල්ලිය පැමිණ සුපුරුදු ලෙස හිඟන්නන්ගේ පොට්ටනි සොරකම් කරන්නට වූහ. වෙනදා මෙන් හිඟන්නන් නිදා සිටි හෙයින් කරදරයක් නොමැතිව රිසිසේ සොරකම් කිරීමට හැකි වෙතැයි සිතූ සොරු පිරිස පොට්ටනි එකින් එක කොල්ල කන්නට වූහ.

එක හොරෙක සොයිසා මහතා ළඟටද පැමිණ පොට්ටනියේ  තිබෙන්නේ මොනවාදැයි පරීක්‍ෂා කරන විටම වහා ක්‍රියාත්මක වී පයින් පහරක් ගැසී ය. මොන යම් අන්දමකින්වත් බලාපොරොත්තු නොවූ පහරක් වැදුණු හෙයින් හොරා එකවරම ‘‘බුදු අම්මෝ’’ යැයි මරහඬ දෙමින් ඇද වැටුණේ ය. කිසිවක් නොදත් අනෙක් හොරු පිරිස හිඟන්නන්ට පහර දෙන්නට සූදානම් වෙද්දී ඔවුන්ට ද පහර දී මෙල්ල කර ගැනීමට සිඞ්නි ද සොයිසා මහතා සමත් විය.

ඉනේ සඟවා ගෙන තිබූ වේවැලක් ගෙන ගොරව ගොරවා සිදා සිටි හිඟන්නන්ට පහර දී අවදි කරවා ගත්තේ ය. ‘‘තමා පොලිස් අධිකාරී සිඞ්නි ද සොයිසා’’ බව හඳුන්වා දෙමින් ‘‘උඹලගේ පොට්ටනි සොරකම් කළ හොරු අල්ලා ගත්තා’’ යැයි කියා හොඳ හැටි දැක බලාගන්නා ලෙස කීය. මේ දුටු හිඟන්නන් අන්දමන්ද විය. තවමත් සිටින්නේ නින්දේ ද? මේ දකින්නේ සිහිනයක් දැයි එකවර වටහා ගන්නට නොහැකි විය.

මීට පැය කිහිපයකට පෙර දී තමන් අඩම්තේට්ටම් කළ හිඟන්නා පොලිස් අධිකාරී වුණේ කෙසේදැ යි පුදුමයක් විය. බියටත්, පුදුමයටත් පත් හිඟන්නන් පොරකමින්  සොයිසා මහතා ළඟ වැද වැටී සමාව අයදින්න වූහ. හිඟන්නන් ලවාම ලණු කැබලි සොයා ගෙන හොරුන්ගේ අත් එකිනෙකට තබා ගැට ගැසුවේ ය. ඒ මොහොතේම නගරයේ තිබූ සියලූ වෙළෙඳසැල් විවෘත කරවා පහන් දල්වන ලෙස සොයිසා මහතා නියෝග කළේ ය. වෙළෙන්දෝ ද ඒ අණ අකුරටම පිළිපදිමින් වෙළෙඳසැල් විවෘත කොට පහන් දැල්වී ය.

අත් ගැට ගැසූ හොරු පිරිස ඉදිරියෙන් යන විට ‘‘කළ වරද කුමක්දැයි’’ අසන ලෙසට හිඟන්නන්ට අණ කළේ ය. හඟිනන්න  එලෙස අසන  විට හොරු පරිස ‘‘අපි හිගන්නන්ගේ  පොට්ටනි සොරකම් කළා’’ යැයි ශබ්ද නඟා කිය යුතු විය. එසේ  නොකියන විට හිඟන්නන් ලවාම වේවැලෙන් පහර දීමට නියම කළේය. සොරු කණ්ඩායම මෙසේ පසුදා පහන් වනතුරු නරගය පුරාම ඇවිද්දවා පොලිසියට ගෙනැවිත් උසාවියට ඉදිරිපත් කළේය. අනතුරුව දඬුවම් දීමෙන් පසු හිඟන්නන්ගේ පොට්ටනි සොරකමක් පමණක් නොව වෙනත් සොරකම් ද නතර වුණි.

- අනුර යසමිත්-

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
යාචකයින් කොල්ල කෑ හොරුන්ට සිඞ්නි ද සොයිසා දුන්ද ඬුවම | Lanka Newsweek