යහ පාලන මූලධර්ම කවරේ ද..?

යහ පාලන මූලධර්ම ශ්‍රී ලංකාවට අකැප ද..? ශ්‍රී ලංකා ආණ්ඩුව IMF වෙත නොයන්නේ ඇයි..? (දේශප්‍රිය නානායක්කාර) සියලු ආකාරයේ දූෂණයට එරෙහිව සටන් කිරීම යහ පාලනකරණ සංකල්පයේ ධර්මතාවක් පමණක් නොවේ. සටන…
යහ පාලන මූලධර්ම ශ්‍රී ලංකාවට අකැප ද..?
ශ්‍රී ලංකා ආණ්ඩුව IMF වෙත නොයන්නේ ඇයි..?

(දේශප්‍රිය නානායක්කාර)
සියලු ආකාරයේ දූෂණයට එරෙහිව සටන් කිරීම යහ පාලනකරණ සංකල්පයේ ධර්මතාවක් පමණක් නොවේ. සටන ආත්මාරක්ෂාවකි. එමෙන්ම ජාතිකත්වයේද, සාංස්කෘතියේද, රාජ්‍යකරණයේද, පාලනකරණයේ ද ආරක්ෂාවයි. සැබැවින්ම එම සටන දේශප්‍රේමය වෙනුවෙන් පමණක් නොව ඔබේත් දු දරුවන්ගේත් යහපත් ආනාගතය වෙනුවෙන් කරන කැපවිමකි. ආයෝජනයකි.
ශක්තිමත් රටක් වීමට බලගතු ආර්ථිකයක් අත්‍යවශ්‍යය. සහයෝගීත්ව ජීවගුණයෙන් යුතුව ප්‍රීතිමත් සහ පොහොසත් ජන සමාජයකට පෙර මඟ පෙන්විම රාජ්‍යකරණයේ ඉලක්කය සහ සාංස්කෘතිය විය යුතුය. මානව සංහතිය සහ සොබා දහම සමඟින් වර්ධනය වන බහුවිධ නව්‍යකරණයේ පහන් එළිය යනු නව්‍ය විද්‍යා තක්ෂණයෙන් සපිරි යහපත් අවංක රාජ්‍යකරණයයි.
දැන්වීම
ගෝලීය සංකල්පයක් වශයෙන් යහ පාලනකරණය යනු පුද්ගල සහ මානව හිමිකම් සේම සිවිල් නිදහස ආරක්ෂා කරන යුක්තිය සහ සාමය ඇතුළත විධිමත්ව ස්ථාපිත වන රාජ්‍යකරණ පද්ධතියක් නිර්මාණය කිරීමට කැප වෙන දේශපාලන ප්‍රවේශයකි.
යහ පාලන කරණයේ මුලධර්ම සක්‍රියව විධිමත්ව අභ්‍යාස කිරිමෙන් ජන සමාජයේ විවිධාකාර අවදානම් අවම කර ගත හැකි වන අතර එමගින් සියලු ජන කොටස්වල ද, රාජ්‍යකරණයේ ද, ආර්ථික සංවර්ධනයේ ද, වේගවත් සහ ආරක්ෂිත වර්ධනයක් ලබා ගත හැකිය. ( යහ පාලනය යනු පසුගිය රජය නොවේ)
උක්ත තත්ත්වය රාජ්‍යකරණයේ (The Governance) කීර්තිය වැඩි දියුණු කිරීමට සහ පොදු විශ්වාසය වර්ධනය විමට ද හේතු වනු ඇති බව ගෝලීය ජන සමාජයේ දේශපාලන අත්දැකිම වී ඇත. එක්සත් ජාතීන්ගේ,සංවිධානයට අනුව, යහ පාලනය(Good Governance) මනිනු ලබන්නේ සහභාගීත්වය, නීතියේ ආධිපත්‍යය, විනිවිදභාවය, ප්‍රතිචාර දැක්වීම, සම්මුතියට නැඹුරු වීම, යුක්ති ධර්මතා නොහොත් සමානාත්මතාවය, අන්තර්ග්‍රහණය, සමාවේශණය, කාර්යක්ෂමතාව, පලදායිතාවය සහ වගවීම යන සාධක මගිනි.
පාලනකරණය, පෞද්ගලික අංශය සහ සිවිල් සමාජය යන අංශ ත්‍රීත්වයම යහ පාලන ධර්මතා ප්‍රවර්ධනයෙන් ප්‍රතිසංස්කරණය කළ හැකිය. මනුෂ්‍ය ජීවිතය වගේම ඔවුන්ගේ පෞද්ගලික සහ පොදු සමාජීය සතුට රැක ගැනීම යහපත් පාලනකරණ (Good Governance) මූලධර්මතාවන්හී පළමු සහ එකම අරමුණයි. යහ පාලනය (Good Governance) යනු ගෝලීය පාලකරණ මූලධර්මයක් වන අතර සංකල්පයක් ලෙස යහ පාලනයේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාව (Bad Governance) නරක පාලනයයි.
යහපත් පාලන ධර්මතා ආර්ථික වර්ධනයේ සහ සමාජ යහ පැවැත්මේ වැදගත්ම සාධකයකි. යහ පාලන ධර්මතාවන්හී හරය විශ්වාසයයි.(The essence of good government is trust) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ණය ලබා ගැනීමට නම් යහ පාලනකරණයේ ධර්මතා සහ ප්‍රතිපත්තීන් රටක ක්‍රියාත්මක කළ යුතුම වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යනු රටවල් 190 ක සාමාජිකත්වයෙන් සමන්විතව ඇති ඇමරිකාවේ වොෂිංටන් ඩීසී හි මූලස්ථානය පිහිටා ඇති ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකි. එම ආයතනය ගෝලීය මූල්‍ය සහයෝගීතාව පෝෂණය කිරීමට, මූල්‍ය ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට, ජාත්‍යන්තර වෙළඳාමට පහසුකම් සැලසීමට, ඉහළ රැකියා සේම තිරසාර ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට සහ ලොව පුරා දරිද්‍රතාවය අඩු කිරීමට කටයුතු කරමින් සිටින බව ගෝලීය අත්දැකීම වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හී සාමාජික රටවල් 190 ක් වන අතර එහි රටවල් 150ක් නියෝජනය වන කාර්ය මණ්ඩලයක් ඇත.
මහ ජන චීන සමූහාණ්ඩුව (People's Republic of China) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ 1950 අගෝස්තු මස 29 වෙනිදා වන අතර බෝලියාව 1945 දෙසැම්බර් 27 වැනිද සාමාජිකත්වය ලබා ගෙන ඇත. යුගෝස්ලියාව 1945 දෙසැම්බර් 27 ද, වෙනිසියුලාව 1946 දෙසැම්බර් 30 ද, කියුබාව 1947 මාර්තු 17 ද, රුසියාව 1992 ජුනි 01 වැනිදා ද, ශ්‍රී ලංකාව 1950 අගෝස්තු 29 දින ද සාමාජිකත්වය ලබා ගෙන ඇත.
චීනය, රුසියාව,යුගොස්ලියාව සහ කියුබාව වැනි රටවල් ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග කටයුතු කරද්දී, ශ්‍රී ලංකාවට පමණක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) බිල්ලේක් වි ඇත්තේ ඇයි..? ඉහත විස්තර කර ඇති ප්‍රතිපත්තීන් රටකට ජාතියකට දියුණුවිමට අයෝග්‍යය ප්‍රතිපත්තිද..?
අනෙක් අතට 1956 දී ප්‍රංශයේ දී ආරම්භ වී අද්‍යතනව ස්ථීර සාමාජිකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත ප්‍රංශයේ "පැරිස් සමාජය" (Club De Paris) ද ගෝලීය ණය හිමිකරුවන්ගේ නියෝජිතත්වයෙන් ක්‍රියාත්මක වන සංවිධානයකි.
උක්ත සංවිධානය ණය ගැති රටවල් අත්විඳින ගෙවීම් දුෂ්කරතා සඳහා සම්බන්ධීකරණය සහ තිරසාර විසඳුම් සෙවීමේ කාර්ය භාරයක නිරතව සිටියි. ණය ගැති රටවල් ඔවුන්ගේ සාර්ව ආර්ථික සහ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය මුල්‍ය,නෛතික සහ පරිපාලන ප්‍රතිසංස්කරණ සිදු කරන විට, ප්‍රංශයේ "පැරිස් සමාජය" ණය හිමියන්ට සුදුසු ණය ප්‍රතිකාරයන් යෝජනා කරමින් සහයෝගය දක්වනු ලබයි. 1956 වසරේ සිට "පැරිස් සමාජය" විවිධ රටවල් 90ක් සමඟ ගිවිසුම් 433ක් අත්සන් කර ඇති අතර එම සමාජය ඇමෙරිකානු ඩොලර් බිලියන 583කට වඩා වැඩි මුදලක් ආවරණය කර ඇත.
"පැරිස් සමාජයේ" ජාත්‍යන්තර ආයතනවල නිරික්ෂණ නියෝජිතයන් වනුයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, (IMF) ලෝක බැංකුව, (World Bank) ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය, (OECD) වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව, (UNCTAD) යුරෝපා කොමිසම, අප්‍රිකානු සංවර්ධන බැංකුව ආසියානු සංවර්ධන බැංකුව, ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා යුරෝපීය බැංකුව (EBRD) සහ අන්තර්-ඇමරිකානු සංවර්ධන බැංකුව (IADB) ය.
එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් සමාජයද (The London Club) ණය අර්බුද සම්බන්ධයෙන් උපදේශනය සහ මැදිහත්වීම කරනු ලබන කීර්තිමත් සංවිධානයකි. ශ්‍රී ලාංකේය අපි තව දුරටත් මෙවැනි දියුණු දැනුම් ජාලයන් සමග කටයුතු කිරිමට මැලිවන්නේ මන්ද..?
අයහපත් පාලනය (Bad Governance) යනු දූෂණය, වංචාව සහ අසාධාරණ ප්‍රතිපත්ති සම්මත කිරීම දක්වා විවිධ තත්ත්වයන් සහ ප්‍රජා මනෝ විද්‍යාවට(Community Psychology) එරෙහි පෞද්ගලික ලාලසාවන් වෙනුවෙන් අභ්‍යාස වන වත්මන් පරපුර ද, අනාගත පරපුර ද, පමණක් නොව ජාතික වටිනාකම් ද, පාරිසරික වටිනාකම් ද අභියෝගයට ලක් වන අයුරින් ක්‍රියාත්මක වන පාලන ක්‍රමයකි.
දුර්දාන්ත සහ දුෂ්ඨ ආණ්ඩු හැම විටම බොරු කියන්නේ සත්‍යය පැවසීමට ගෞරවය සහ ධෛර්යය අවශ්‍ය බැවිනි..! ඔබේත් දූ දරුවන්ගේත් අපේ ජන සමාජයේත් අනාගතය වෙනුවෙන් මොහොතක් සිතන්න.