අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විනෝදාස්වාද

මේ වගේ තේමාවකින් චිත්‍රපටයක් කරපු පළමු වතාවයි මේ..!

මේ වගේ තේමාවකින් චිත්‍රපටයක් කරපු පළමු වතාවයි මේ..!

නළුවෙක් වීම පහසු වුවද ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් වීම පහසු නොවේ. එයිනුත් ඔබ්බට අධ්‍යක්ෂවරයෙක් වීමට නම් තව බොහෝ හැකියාවන් තිබිය යුතුය. සුජීව ප්‍රියාල් යනු එවැනි හැකියාවන් බොහෝමයක් සහිත රංගන…

නළුවෙක් වීම පහසු වුවද ප්‍රතිභා පූර්ණ රංගන ශිල්පියෙක් වීම පහසු නොවේ. එයිනුත් ඔබ්බට අධ්‍යක්ෂවරයෙක් වීමට නම් තව බොහෝ හැකියාවන් තිබිය යුතුය. සුජීව ප්‍රියාල් යනු එවැනි හැකියාවන් බොහෝමයක් සහිත රංගන ශිල්පියෙකි. අධ්‍යක්ෂවරයෙකි. ඔහු සම්බන්ධයෙන් මේ දිනවල වැඩි වශයෙන් කතා වන්නේ Hello from the other side චිත්‍රපටය හේතුවෙනුයි. Hello from the other side ගැන කියලම කතාව පටන් ගමු..?

Hello from the other side කියන්නේ විනෝශා කිරිවන්දෙණියගේ පළමු සිනමා නිර්මාණය. මේ චිත්‍රපටයේ කතා වෙන්නේ ලංකාවේ හා ලෝකයම මුල් කරගෙන තියෙන ඖෂධ මාෆියාව සම්බන්ධයෙන්. එතැනදි මම රංගනයෙන් දායක වෙන්නේ ලංකාවේ ඖෂධ මාෆියාව හැන්ඩ්ල් කරන කෙනෙක් විධියට. ඒක ඇත්තටම විලන් කැරැක්ටර් එකක්. මම හිතනවා මේ  තේමාව රැගත් චිත්‍රපට හරිම කාලෝචිතයි කියලා. මොකද ලංකාවේත් පහුගිය කාලවකවානුවේ මේ කාරණය සම්බන්ධයෙන් බොහෝ දේවල් කතා වුණා. අදටත් ඒක වෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙම බලද්දි මේ රට ඇතුළේ කතාබහට ලක් විය යුතු තේමාවක් රැගත් චිත්‍රපටක් විධියට තමයි මම දකින්නේ.

ශ්‍රී ලංකාවේ මේ වගේ තේමාවලින් සිනමාපට නිර්මාණය වෙන්නේම නැති තරම් කොහොමද ලැබෙන ප්‍රතිචාර..?

දැන්වීම

මම දන්න තරමින් ලංකාවේ පළමු වතාවට තමයි මෙවැනි තේමාවකින් චිත්‍රපටයක් නිර්මාණය වුණේ. ඒක විශේෂ කාරණයක්. චිත්‍රපටය සම්බන්ධයෙන් ගත්තම ඇත්තටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක සතුටක්.

විනෝශා සිනමාවට අලුත්. ඇය යටතේ අධ්‍යක්ෂණය වීම මොනවගේද..?

විනෝශා සිනමාවට නවකයෙක් වුණාට ඇය රූපවාහිනිය ඇතුළේ වැඩ කරපු අත්දැකීම් සහිත කෙනෙක්. මට ඇත්තටම රංගනයේ යෙදෙද්දි ඇය සිනමාවට අලුත් කියන දේ තේරුණේ නැහැ. ඇයට විෂය සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. ඇත්තටම වැඩකදි  මම   නවකයන්ද ප්‍රවීණයන්ද  කියන දේ අදාළ කරගන්නේ නැහැ. විශේෂයෙන්ම මම තරුණ පිරිස සමඟ ඔවුන්ගේ අලුත් අදහස් සමඟ වැඩ කරන්න බොහොම කැමැතියි. ඔවුන් සමඟ මගේ අත්දැකීම් බෙදා ගන්නත් මම කැමැතියි. මම ඒක දකින්නේ හොඳ අවස්ථාවක් විධියට. විනෝශාගේ අධ්‍යක්ෂණය ගැන කතා කරද්දි ඇය මාව අධ්‍යක්ෂණය කරද්දි වුණත් මට යම් විධියකින් නිදහසක් දුන්නා සහ ඇයත් සමඟ සාකච්ඡා කරලා යම් යම් දේවල් කරන්න පුළුවන් ෆෙල්සිබිලිටි එකක් තිබුණා.

සිංහල සිනමාවේ දුෂ්ටයන්ගේ අයිකනික් පෙනුමට වඩා හාත්පසින් වෙනස් පෙනුමක් සහිත දුෂ්ටයෙක් ඔබ. ඒ වෙනස ගැනත් කතා කරමු..?

සමහර අය නම් කිව්වේ සුන්දර දුශ්ටයෙක් කියලා. සමහර විට දුශ්ටයෙක් කිව්වම අපේ උස, මහත, කළු, සැර පරුෂ පෙනුමක් තිබෙන කෙනෙක් මැවුණත් මගේ පෙනුම ඊට හාත්පසින් වෙනස් නිසා එහෙම කිව්වා වෙන්නත් පුළුවන්. මම හිතනවා ඒක හොඳ දෙයක් කියලා. මොකද අපි හැමදාම එකම විධියට දේවල් දකින්න හොඳ නැහැ. දුෂ්ටයා හෝ වීරයා මෙන්න මේ වගේ විය යුතුයි කියලා හදාගෙන ඉන්න රාමු බිඳෙන්න අවශ්‍යයි.

Hello from the other side වලට මේ චිත්‍රපටයට ලැබුණු දර්ශන වාර ප්‍රමාණවත් නැති බවක් කියනවා. මේ ගැටළුව මොකක්ද..?

මම ඇත්තටම දන්නේ නැහැ මොකක්ද ඒකට හේතුව කියලා. සමහර වෙලාවට චිත්‍රපටයේ ට්‍රේලර් එක එහෙම දැකලා ඒක බලන්න තැනක් ගැන මගෙන් අහන අය ඉන්නවා. මම ඒ සම්බන්ධයෙන් විනෝශාගෙන් අහපු වෙලාවෙත් ඇය මට කිව්වේ මෙහෙම තමයි අපිට වෙලාව ලැබිලා තියෙන්නේ කියලා. නමුත් සිනමාකරුවෙක් විධියට මම මේකත් කියන්න ඕන. මෑත කාලයේ දි හවුස් ෆුල් වුණු ඉතාමත් හොඳ චිත්‍රපට කිහිපයක්ම ආවා. ඒත් එක්කම  අපේ සිනමාවේ තත්ත්වය වෙනදාට වඩා ඉතාමත් යහපත් වෙලා තියෙනවා. චිත්‍රපට දුවන්න ඕන. චිත්‍රපට දුවද්දි තමයි ඒකේ නියැළිලා ඉන්න අපිටත් හොඳ කාලයක් ලබන්නේ. මේ වෙද්දිත් ඉතාමත් හොඳට දුවන චිත්‍රපට කිහිපයක්ම තියෙනවා. නමුත් මේකට මෙහෙම වුණේ ඇයි කියන්න මම දන්නේ නැහැ.

සිනමා ශාලා ප්‍රමාණය සීමිත වීමත් මෙයට එක් හේතුවක් නේද..?

සමහර මාධ්‍ය ආයතනවලින් පවා ලංකාව පුරා චිත්‍රපට ශාලාවන් හදන්න ප්ලෑන් එකක් තිබුණා සහ ඔවුන් ඒ වෙනුවෙන් වැඩ කළා. නමුත් ලංකාවේ සිනමාව ඉතාමත් කෙටි කාලයක් තුළ ලබලා තියෙන මේ වර්ධනයට සාපේක්ෂව අනෙකුත් කාරණා සම්පූර්ණ කිරීමේ අපහසුවක් තිබෙන බවත් අපි වටහා ගන්න අවශ්‍යයි. ඒ කාලේ කොළඹ, නාරාහේන්පිට,  කිරුළපන, මහරගම අවට තිබුණු සිනමා ශාලා බොහෝමයක් අද වෙද්දි වැහිලා තියෙන්නේ. නමුත් අද වෙද්දි කොළඹ අවට සුපිරි වෙළෙඳ සංකීර්ණ පාදක කරගනිමින් සිනමා ශාලා කිහිපයක්ම බිහි වෙලා තියෙනවා. ඒකත් එක්ක චිත්‍රපට නරඹන අලුත් සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. කොහොම වුණත් මේ වෙද්දි සිංහල චිත්‍රපට බලන්න මිනිස්සු එකතු වෙන එකම සුබ කාරණාවක්. එතැනදි ඒ කාරණය සම්බන්ධයෙන් ව්‍යාපාරික මට්ටමින් හිතලා මිනිස්සුන්ට වාඩි වෙලා චිත්‍රපට නරඹන්න පුළුවන් ආකාරයේ සිනමා ශාලා නිර්මාණය වෙනවා නම් මේ කර්මාන්තය තුළ නියැළිලා ඉන්න සියල්ලටම ඉන් ප්‍රතිලාභ හිමි වේවි.

අවසන් වශයෙන් ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු..?

අලුත් ටෙලි නාට්‍යයක් වෙනුවෙන් මේ දිනවල වැඩකටයුතු සිදු කරමින් ඉන්නවා. ඒක කොටස් විස්සක් වගේ තිබෙන මිනි සීරීස් එකක්. එහි රූගත කිරීම් බොහෝ දුරට සැප්තැම්බර් මාසයේ ආරම්භ කරනවා. ඊට අමතරව රංගනයටත් ආරාධනා ලැබිලා තියෙනවා. මම කොච්චර රඟපෑවත් මට ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන පුංචි පුංචි දේවල් කිහිපයක් තිබෙනවා.  ඒ වෙනුවෙන් චිත්‍රපටයක් කිරීමේ අදහසකුත් තියෙනවා. ඔය දේවල් එක්ක තමයි මේ දවස්වල වැඩ කටයුතු සිද්ධ වෙන්නේ.

අක්ෂි මාපා වීරසිංහ

-මව්බිම-
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න