මුහුදු සාදය මහා මෘග ක්‍රියාවක්..!

රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා මොහොතක ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් විස්කි බිබී මුහුද මැද නෞකාවක සුපිරි සාදයක් පැවැත් වීම මහා මෘග ක්‍රියාවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
රට බංකොලොත්වී දරුවන් කන්න නැතුව සිටිනා මොහොතක ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් විස්කි බිබී මුහුද මැද නෞකාවක සුපිරි සාදයක් පැවැත් වීම මහා මෘග ක්‍රියාවක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බ්‍රහස්පතින්දා (11) චෝදනා කළේය.
මෙම සාදය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගිවී ඇතැයි පැවසූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාසැල් දරු දැරියන්ට වාර ප්‍රවේශ පත්‍රය ලබා දීමට නොහැකි ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට මුහුද මැද සාද පැවැත් වීමට අවසර දීම අසාධාරණ බවද පෙන්වා දුන්නේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනාව එල්ල කළේ පාර්ලිමේන්තු සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් සිදු කරමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
දැන්වීම
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් කණ්ඩායමක් වරාය අධිකාරියට අයත් හංසකාවා සහ දියකොවුලා ආදි යාත්‍රා පාවිච්චි කර මහා මුහුද මැද සුපිරි සාදයක් පවත්වා තිබෙනවා. මේ කතාව බොරුවක් නොවේ.
පාසල් දූ දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කරනවා. එහෙම තිබිය දී මේ අය සාද පවත්වනවා. රටට අයිති යාත්‍රා පාවිච්චි කර මුහුද මැද සාද පවත් වන්නේ කෙසේ ද..? බංකොලොත් රටක විස්කි ගෙනල්ලා වරාය ආපන ශාලාවේ කෑම ගෙනල්ල සාද පවත්වනවා. බංකොලොත් රටක මෙහෙම සාද පවත් වනවා..? පෞද්ගලික මුදල්වලින් විසි හතර පැයේම වුණත් සාද පැවැත් වූවාට අපට ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලික මුදලින් මොනවා කළත් කමක් නෑ. වැලි හාරන යන්ත්‍ර උඩ නැගලා තමයි මේ සාදය පවත්වා තිබෙන්නේ...මේ අය පිළිගන්න රතු කාපට් එකකුත් එලලා තිබුණා. මේ මහ මෘග ක්‍රියාවක්..!
මම මේ කතා කරන්නේ රටට වැදගත් කරුණු. මගේ කට වහන්න එපා. මේ රටේ කුඩා දරුවාගේ සිට මව්වරුන් දක්වා සියලු දෙනා දුක් විඳිනවා. එසේ තිබිය දී හිටපු ජනාධිපතිවරයා නැව් දෙකක් ගෙන මුහුද මැද සාද පවත් වන්නේ කෙසේ ද..?