මුදල් ඇමතිට වඩා පිටකොටුවේ තොග මුදලාලි හොඳයි

"ජන පීඩක පාලකයන් පළවා හැරීමේ වෙඩි මුරය පත්තු කළා" නිල්-කොළ වෛරසය මර්දනය කළ යුතුයි මේ ආණ්ඩුව මව්වරුන්ගේ ඇකයේ සිටින දරුවන් පවා පීඩාවට පත් කළා "මුදල් ඇමති කසාය බිව්ව ගොළුවෙක් වගේ" මේ ආණ්ඩුව මව්වරුන්ගේ…
"ජන පීඩක පාලකයන් පළවා හැරීමේ වෙඩි මුරය පත්තු කළා"
නිල්-කොළ වෛරසය මර්දනය කළ යුතුයි
මේ ආණ්ඩුව මව්වරුන්ගේ ඇකයේ සිටින දරුවන් පවා පීඩාවට පත් කළා
"මුදල් ඇමති කසාය බිව්ව ගොළුවෙක් වගේ"
මේ ආණ්ඩුව මව්වරුන්ගේ ඇකයේ සිටින දරුවන් පවා පීඩාවට පත් කළ ආණ්ඩුවක් බවත් ආණ්ඩුව පළවා හැරීමට විශාල ජන ගඟක් නිර්මාණය කරන බවත් මේ එහි පළමු වෙඩි මුරය බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක තංගල්ලේ දී පැවැති ජන හමුවේදී අවධාරණය කළේය.
ඔහු කියා සිටියේ අපේ රටේ මුදල් ඇමැතිවරයාට වඩා පිටකොටුවේ තොග වෙළෙඳ මුදලාලි හොඳ බවත් ජනාධිපති ඊටත් එහා ගිය පුද්ගලයෙක් බැවින් තිබෙන ප්‍රශ්න ගැන කිසිවක් රටට නොකියන බවත්ය.
මෙම ජන හමුවට විශාල පිරිසක් එක්ව සිටී අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේද කීය.
දැන්වීම
"මේ ආණ්ඩුව අපේ රටේ සමස්ත ගොවි ජනතාවම මහත් විපතකට ඇද දමලා තිබෙනවා. තමන්ගේ කුඹුර දිහා බලා ගෙන හූල්ලන ගොවියෙක් අද ඉන්නේ. ඒ වගේම කිරිපිටි හිඟයත් මිල ඉහළ යෑමත් නිසා ඇකයේ ඉන්න දරුවාට කිරි ටිකක් දෙන්න බැරිව මවුපියන් පීඩාවට පත් වෙලා. කිරි ආනයනය කරන්න ඩොලර් නැති වෙන කොට පෝලිමේ ඉන්න වෙනවා. සමහර අම්මලා දරුවා දිහා බලා ගෙන අඬනවා. මේ ආණ්ඩුව ඇකයේ ඉන්න දරුවන් පවා පීඩාවට පත් කළ ආණ්ඩුවක්.
අපේ රටේ අපනයනකරුවන් අර්බුදයට ගිහිල්ලා. වරායේ කන්ටේනර් විශාල ප්‍රමාණයක් හිර වෙලා. ව්‍යපාරිකයන් අසරණ වෙලා. ධීවර කර්මාන්තයේ යෙදී සිටින ධීවර ප්‍රජාවගේ බහු දින යාත්‍රාවට තෙල් ටික ගහ ගන්න බැරි වෙලා. මෙවැනි ව්‍යසනයකට කිසිදාක පත්වී නැති බව ඔවුන් අපට කියනවා.
රටේ විශ්ව විද්‍යාල තවමත් ආරම්භ කරලා නැහැ. ආණ්ඩුව සංගීත සන්දර්ශන පවත්වන්න අවසර දුන්නා. හැබැයි විශ්ව විද්‍යාල දේශන කරන්නේ අවුරුදු දෙකක් පුරා ඔන්ලයින් ක්‍රමයට. එක දවසක්වත් විශ්ව විද්‍යාලයේ නොගිහින් දෙවැනි වසරේ අධ්‍යාපනය ලැබීමට සලස්වා මානසිකව කඩා වට්ටවා තිබෙනවා. ඒ පැත්තෙන් ගත්තාමත් මේ ජන පීඩක ආණ්ඩුවක්.
ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂේන්ද්‍ර රාජපක්ෂ සහ නිපුන රණවක කියන පිරිස හදා ගත් සත් කට්ටුවේ ආණ්ඩුව මේ රටේ ජනතාව හැම අතින්ම පීඩාවට පත් කර තිබෙනවා. රටේ ඇමැතිවරු ජනතාවට ප්‍රශ්නය ඉදිරිපත් කරන මට්ටමට වැටිලා. මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ආර්ථික අර්බුදය ගැන රටට කියන්න ඕනෑ. හැබැයි මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කසාය බීපු ගොළුවා වගේ ඉන්නවා.
මෙවැනි අර්බුදයක් වෙලාවකදී රටක පාලකයන් අර්බුදයේ ස්වභාවය පැහැදිලි කර විසඳුම් සැලැස්ම ඉදිරිපත් කරන්න ඕනෑ. හැබැයි මුදල් ඇමැති පාර්ලිමේන්තුවට එන්නෙත් නැහැ. මතුවී තිබෙන ප්‍රශ්න ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. හිරි වැටිලා ඉන්නේ. ජනාධිපතිවරයා ඉන්න මිරිහානේ ලයිට් කපන්නේ නැහැ. බල ශක්ති ඇමැතිගේ නිල නිවාසයට මහජන මුදලින් ජෙනරේටර් ගේනවා. වාහන දුවන්න තෙල් නැති අතරේ අගමැති ජෙට් අර ගෙන තිරුපති යනවා. මේ ආණ්ඩුව රට හෝ ජනතාව පිළිබඳව කිසිදු සංවේදීතාවක් නැති ආණ්ඩුවක්. ඒ නිසා මේ ආණ්ඩුව පලවා හැරිය යුතුමයි.
මේ රටේ ජනතාව පෙළ ගැසෙන්නේ ආණ්ඩුවක් පලවා හරින පළමු වැනි අවස්ථාවට නොවෙයි. මීට කලිනුත් ආණ්ඩු පලවා හැර තිබෙනවා. ඒ හැමදාමත් තිබුණු ආණ්ඩුවට වඩා අසාර්ථක එකක් පත් කර ගෙන තිබෙන්නේ. රනිල්-මෛත්‍රි ආණ්ඩුව පලවා හැරිය යුතුව තිබුණා. ඒ වෙනුවෙන් රටේ ජනතාව තීන්දු කළ එක හරි. නමුත් වැරදුණේ මොකක්ද..? ඊළඟට තෝරා ගත් කෙනා. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන වේදිකාවට ඇවිත් ඒ කාලේ නම් හොඳයි කියනවා. පරණ රංචුවම දෙපැත්තට චෝදනා කර ගන්නවා.
මීරිගම සිට රඹුක්කන දක්වා හයිවේ එක හැදීමෙන් හොරකම් කළා කියලා මේ පැත්තෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා. ඒකට උත්තර හැටියට ලක්ෂ්මන් කිරිඇල්ල කඩවත ඉඳලා මීරිගමට ගහපු හැටි කියනවා. චන්න ජයසුමන බෙහෙත් ගේන කොට හොරකම් කළා කියලා එක ඇමැතිවරයෙක් කියනවා. ආණ්ඩුව නාස්තිකාර වියදම් කරන බව විපක්ෂය පැත්තෙන් කියනවා. එතකොට සජිත් ප්‍රේමදාස නිවාස අධිකාරියෙන් කෝටි සියයක් ගහපු හැටි කියනවා. ඒ නිසා එකම ගමන්මඟ ගිය මේ කණ්ඩායම් දෙකම ප්‍රතික්ෂේප කරන නව ව්‍යාපාරයක් අතට බලය ලබාදිය යුතුයි.
මම පාර්ලිමේන්තුවේදී කියන කරන ප්‍රකාශ ගැන සමහර අය කියනවා නඩුවලින් බේරෙන්න පාර්ලිමේන්තුවේදී විතරක් කියන බව. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගෙදර ළඟටම ඇවිල්ලා මේ කතාව කියන්නේ, 2015දී මැතිවරණ ව්‍යාපාරයට චීන සමාගම්වලින් ඩොලර් මිලියන හය හමාරක් දුන්නා කියලා පාර්ලිමේන්තුවේදී මේ ගැන කීවාම ගොළු වෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු දවසක් නැඟිටලා මට දූෂිතයන්ට දඬුවම්දීමේ බලයක් තිබුණු බව කීවා. මම නැඟිටලා කීවේ මට එවැනි බලයක් තිබුණා නම්, ඉස්සරහ පේළියේ කවුරුත් නැහැ කියලා.
ඒ වගේ කියන්න පුළුවන් ජාතික ජන බලවේගයේ අයට විතරයි. ඒ වගේ දූෂණයෙන් තොර ආණ්ඩුවක් මේ රටට ඕනෑ. තංගල්ල නගරයට රැස්වෙලා ඉන්න දස දහස් සංඛ්‍යාත අම්මලා, තාත්තලාට අපි ආරාධනා කරන්නේ වංචාවෙන් සහ දූෂණයෙන් තොර පාලනයක් ගොඩනැඟීමට තව තවත් කැප වෙන්න කියලයි.
හම්බන්තොට සමහර පාසල්වලට වැසිකිළියක්, පිට්ටනියක්, පුස්තකාලයක් නැහැ. විදුලිය-වතුර නැහැ කියලා වාර්තාවක් තිබුණා. මහජනයාගේ ධනය යොදවන්න ඕනෑ මේ වගේ පහසුකම් සලසන්නයි. ජනතාවගේ ජීවිත උසස් කරවන්න යොදවන්න තිබුණු ධනය මජර පවුල් කිහිපයක් හොරකම් කළා. මේවා නැවත අත්පත් කර ගත යුතුයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ වගේම සජිත් ප්‍රේමදාසත් කලබල වෙන්න ඕනෑ. හැබැයි අපි පියවරෙන් පියවර ක්‍රමානුකූලව මේ රට අලුත් පරිවර්තනයකට ගෙන යන්න ජනතා බලය පෙළ ගස්වමින් තිබෙනවා. අද තංගල්ල නගරයේ රැව්දෙන්නේ ඒ මහා ජනතා බලයයි.
අද අපේ රටේ දේශපාලනය සම්බන්ධ නඩු පිළිබඳව විශාල සැකයක් ඇති වී තිබෙනවා. බැසිල් රාජපක්ෂගේ මල්වානේ නඩුව ගම්පහ අධිකරණයේ තිබෙනවා. ඒ ගැන සැකයක් තිබෙනවා. අද අපේ රටට ඕනෑ තමන්ගේ තනතුරේ ගරුත්වයත් එක්ක නීතිය ඉටු කරන්න පුළුවන් රටක්. අපේ පොලිසියේ මහත්වරුන්ට තමන්ගේ හැකියාව, දැනුම අනුව උසස්වීම් ලබා දෙන ක්‍රියාමාර්ගයක් තහවුරු කරන්න ඕනෑ.
මේ ප්‍රදේශය භාර එච්.කියු.අයි. මහත්තයා අපේ ස්පීකර් කිහිපයක වයර් කපන්න නියෝග කරලා. හැබැයි අපේ පාලනයක් යටතේ තමන්ගේත් අනුන්ගේත් ගරුත්වය, තනතුරේ ගරුත්වය ආරක්ෂා කරන්න පුළුවන් සාධාරණව නීතිය ක්‍රියාත්මක වන රටක් ගොඩනඟනවා. මේ ගොල්ලන්ට ඒක කරන්න බැහැ. ගම්පහ අපේ රැස්වීමකට පසුගියදා බිත්තර ගැහුවා. ගෝඨාභය රාජපක්ෂ පව්. ඒකට ආපු දෙන්නෙක් අල්ලා ගෙන පොලිසියට භාර දුන්නා. පොලිසියෙන් ඒ අය ඉස්පිරිතාලයට දාලා ගෙදර යැව්වා. ඒ පොලිසියේම අය අපිට කතා කරලා ඒ බව දැනුම් දුන්නා. නීතියේ සාධාරණය ඉටු කරන්න බලයක් පොලිස් දෙපාර්තමේන්තුවට අද නැහැ. චමුදිත සමරවික්‍රමගේ ගෙදරට අසූචි ප්‍රහාර, ගල් ප්‍රහාර එල්ල කරල බිය වැද්දීමකට ලක් කළා. කැමරා 21කින් ගත්ත වීඩියෝ දර්ශන ලබාදුන් බව චමුදිත සමරවික්‍රම කියනවා. වාහන අංකයත් තියෙනවා. ඒත් ගහපු කෙනෙක් නැහැ.
පාස්කු ප්‍රහාරය පිළිබඳව අලගිය මුලගිය තැන් ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් හිටපු පොලිස් අධිකාරි ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගත් තොරතුරු ඒවා. අපේ රටේ විශාල අපරාධකරුවන් පිරිසක් දේශපාලන ශක්තිය මත සැඟවී සිටිනවා. අපි ඉස්සරහා තිබෙන මේ රට වෙනස් කර නීතියේ විධානය, ආධිපත්‍යය සහිත රටක් ගොඩනැඟීමටයි අපි ආණ්ඩුවක් හදන්න ඕනෑ.
මේ අපරාධ පසුබිම යටතේ අපේ රටේ ආර්ථිකයේ මුදුනටම හෙණ ගහලා තිබෙන්නේ. අද අපේ රටේ ආර්ථික ප්‍රශ්නයට හේතුව කොරෝනා බව කියනවා. හැබැයි ඉන්දියාවට, වියට්නාමයට, මැලේසියාවට කොරෝනා බලපෑවේ නැද්ද..? ඒ රටවල්වල විදෙස් සංචිත වැඩි වුණා. හේතුව කොරෝනාද..? කොරෝනා වයිරසය අවුරුදු දෙකයි. හැබැයි නිල් පාට, කොළ පාට අවුරුදු 73ක වයිරසයක් තිබෙනවා. අපේ රට හපයක් බවට පත් කළේ මේ වයිරස් දෙක විසින්. රට මේ තත්ත්වයට පත් කර හම්බ කළ ධනය ඒ ගොල්ලෝ ළඟ තිබෙනවා. කළු ධනය එක් රැස් කර ගත් ව්‍යාපාරිකයින්ට මාධ්‍ය බලය තිබෙනවා. අපි සතුරාව අවතක්සේරු කරන්නේ නැහැ.
ඇතැම් මාධ්‍ය පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ මොනවද නොකළේ. කැලණි විහාරයෙන් නයි මතු කරපු මාධ්‍ය ආයතන තිබුණා. ජනතාව ඕනෑම මොහොතක රැවටිය හැකි බවට මාන්නයක් ඒගොල්ලන්ට තිබෙනවා. සතුරා බලවත් බව අපි දන්නවා. ධනය, බලය, මාධ්‍යය සහ ජනතාව රවටන්න පුළුවන් කියන මතය ඒගොල්ලන්ට තිබෙනවා. ඒ සියල්ලට වඩා ප්‍රබල මහජන බලය අපි පෙළ ගස්වමින් ඉන්නවා. අපි ගැන අපි අධි තක්සේරුවක නැහැ. ඒ වගේම සතුරා ගැන අව තක්සේරුවකත් නැහැ.
ජනතා විමුක්ති පෙරමුණ අධි තක්සේරුවක ඉන්න බව සමහර අය කියන්න හදනවා. අපි ගැන වගේම සතුරා ගැනත් අපිට නිවැරදි තක්සේරුවක් තිබෙනවා. අපි මේ වැඩේට අත ගැහුවේ ආගමික නායකයන්, වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව, විශ්ව විද්‍යාල ආචාර්යවරු, නීතිඥවරුන් ඇතුළුව ශ්‍රී ලංකාවේ මෙතෙක් ගොඩනැඟී තිබෙන විශාලතම ජනතා ව්‍යාපාරය ගොඩනඟලයි.
ඕනෑම සතුරෙක් එක්ක සටන් කරන්න පුළුවන් මහා ජන බලවේගයක් ගොඩනඟන්න ඕනෑ. අදූෂිත සියලු දෙනාට තම තමන් ඉන්න පක්ෂවලට ආයුබෝවන් කියලා එන්න අපි ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙනවා. අපි යන මාවත තේරුම් ගෙන දස දහස් සංඛ්‍යාත ජනතාවක් තංගල්ල නගරයට එකතුවී තිබෙනවා. ඔබලා අපිට ශක්තිය, ධෛර්යය ගෙන ඒම ගැන ස්තුතියි.
හම්බන්තොට කියන්නේ රාජපක්ෂලාගේ නිජබිම නම්, මේක අපෙත් නිජබිම බව ඔවුන් මතක තබා ගන්න ඕනෑ. ඔවුන් පටන් ගත්තේ මෙතැනින් නම්, රටේ අනික් පුරවැසියන්ට වඩා ඔවුන් පරාජය කරවීමේ වගකීම තිබෙන්නෙත් මේ පුරවැසියන්ට බව අපි විශ්වාස කරනවා. මේ ගමන ජයග්‍රහණයෙන් කෙළවර කරන්න, මේ රටේ ජනතාවට සතුටින් සැනසුමෙන් ජීවත්වීමේ රටක් ගොඩනැඟීමට මහා ජන ගඟක් සේ එකතුවන සේ හැමදෙනාටම ආරාධනා කරනවා."