මිනිස්සුන්ට ඉන්න රටක් නැහැ-කන්න දෙයක් නැහැ

කාන්තාවන්ගේ මූලික බලාපොරොත්තුව තුන් වේල කාලා දරුවන් එක්ක සතුටින් ජීවත් වීම බවත් ඔවුන් ඡන්දය දුන්නේ මේ මූලිකම අරමුණු ඉටුකර ගැනීමට සිහින දකිමින් බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා…
කාන්තාවන්ගේ මූලික බලාපොරොත්තුව තුන් වේල කාලා දරුවන් එක්ක සතුටින් ජීවත් වීම බවත් ඔවුන් ඡන්දය දුන්නේ මේ මූලිකම අරමුණු ඉටුකර ගැනීමට සිහින දකිමින් බවත් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් පැවසුවාය.
අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මේ බව පැවසුවේ බ්‍රහස්පතින්දා(14) කොළඹ බත්තරමුල්ල ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී වන අතර එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඇය මෙසේද පැවසුවාය.
ජනාධිපතිවරණය එනකොට ජනතාව තුළ අසීමිත බයක් නිර්මාණය කරලා “කන්න නැතත් ඉන්න රටක් ඕනෑ” කියන ආදර්ශ පාඨය ප්‍රකාශ කළා. මේ ආණ්ඩුව එහෙම බලයට පත්වී ජාතික සම්පත් විකුණමින්, රට ණය කරමින් බදු වංචා කරමින් අසීමිත ධනයක් කොල්ලකමින් ජනතාවගේ බඩට ගහනවා. දැන් ඉන්න රටකුත් නැහැ - කන්න දේකුත් නැහැ.
දැන්වීම
එක වෙලාවක හාල් මිල ප්‍රකාශ කරන්නේ හාල් මෝල් හිමියෙක්. තව වෙලාවක ගෑස් මිල තීරණය කරන්නේ ඒ ඒ සමාගම්. ඒ වගේම පාන් පිටි, කිරිපිටි මිල වැඩි කරන්නේ ඒ ඒ සමාගම්. සමාගම් හිමියන්, මෝල් හිමියන් හසුරවන ආර්ථිකයක් බවට ලංකාව පත්වී තිබෙනවා.
මේ විදිහට ජනතාව හූරගෙන කන්න ඉඩ හරින්නනම් ආණ්ඩුවක් අවශ්‍ය නැහැ. පාරිභෝගික අධිකාරියක් ඕන නෑ. පාරිභෝගික අමාත්‍යංශයක්, ඇමතිවරයෙක් ඕන නෑ. නමුත් ඇමතිවරුන් ජනතාවට කියන්නේ තුන් වේල නැත්නම් වෙල් දෙකක් කාලා ඉන්න සූදානම් වෙන්න කියලා. ලසන්ත අලගියවන්න ඇමතිවරයා, සාගර කාරියවසම් මන්ත්‍රීවරයා මේ ආකාරයේ ප්‍රකාශ කරනවා.
මේ රට මෙතෙක් පාලනය කළ හැම පක්ෂයකම පාලකයන් සමාගම්කරුවන්, මෝල් හිමියන් එක්ක ඩීල් දාලා කොමිස් කුට්ටිය සාක්කුවේ දාගෙන ජනතාව පැදුරෙනුත් බිමට ඇදලා දැම්මා. වසංගතයක් නිසා ආර්ථික අවපාතයකට රට මුහුණ දෙනවා නම් ආණ්ඩුවක් අවශ්‍ය වෙන්නේ ජනතාවට යම්තාක් සහන ලබා දෙන්නයි.
හැබැයි මේ ආණ්ඩුව කරන්නේ ව්‍යාපාරිකයන්ගේ ලාභය පුරවන්න ජනතාවට කියන්නේ ඉවසා දරා ගන්න කියලා. ඒ නිසා මේක කිසිසේත් ම ජනතාවාදී ආණ්ඩුවක් නොවෙයි. රැකියාවල නියුතු කාන්තාවන් ආපසු පොල් කොළ, දර ඇහිඳින්න යන තත්වයකට පත්කරන්න මේ ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා.
පුරවැසියාගේ ජීවන තත්වය ඉදිරියට ගෙන යන්න අසමත් වන ආණ්ඩුවක් පිළිබඳව මේ කාල පරාසයේදී දැක ගන්න පුළුවන්. නාගරික කාන්තාවන් නොයෙක් අමතර ආදායම් ලබාගැනීමේ ක්‍රියාමාර්ගවල යෙදී සිටිනවා. නමුත් ගෑස් මිල වැඩිවීමෙන් ඒ සියල්ලම බිඳ වැටෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග මේ ආණ්ඩුවෙන් කිසිදු වැඩිවීමක් නොවී තිබෙන තත්වයක් තුළ බඩු මිල වේගයෙන් වැඩි වෙනවා.
වසංගත තත්වයක් තිබෙන බව අපි දන්නවා. නමුත් සාමාන්‍ය දැනුමවත් නැති ඇමති මණ්ඩලයක් පත් කර ගෙන ජාවාරම්කාර ව්‍යාපාරිකයන් හිතුමතේ කටයුතු කරන බව අපි දකිනවා. ජනතාවට බඩ ගැන නොසිතා වැඩි කරන්න කියන අතර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ මැති ඇමතිවරුන්ගේ පවුල්වල උදවිය රට ගැන හිතනවාද? නාස්තිකාර වියදම් මේ වන තුරු නවත්වා නැහැ. අසීරු අවස්ථාවක ඉන්න රටක් හැටියට ඔරොත්තු නොදෙන නාස්තිකාර වියදම් දිගටම කරගෙන යනවා.
පෞද්ගලික අංශයට, රාජ්‍ය ආංශයට වැටුප් වැඩිවී නැහැ. නිෂ්පාදකයන්ගේ භාණ්ඩ සඳහා හොඳ වෙළඳපොලක් නිර්මාණය වී නැහැ. මේ අතර රුපියල් මිලියන 71,000ක් සංවර්ධන කටයුතු කියන මුවාවෙන් ප්‍රාදේශීය දේශපාලඥයින්ට ඉදිරි ඡන්දය වෙනුවෙන් වියදම් කරන්න වෙන්කර තිබෙනවා.
යටිතල පහසුකම් සංවර්ධනය කරන්න කියලා යොදවන්නේ නොයෙක් ආකාරයෙන් ලබා ගත ණය. ඉදිරියේදී එන ඡන්දය මංකොල්ලකන්න මේ සල්ලි වෙන් කර තිබෙනවා. ප්‍රමුඛතාවයක් නැති ජනතාවට ප්‍රතිලාභ නොවෙන නාස්තිකාර ක්‍රියාමාර්ග අනුගමනය කරන ආණ්ඩුවට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ.
අධ්‍යාපන ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි ආණ්ඩුවට ඡන්දය මංකොල්ලකන්න සල්ලි තියෙනවා. ඉදිරි මැතිවරණයේදී තමන්ගේ බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. මේ නිසා ජනතාව තවදුරටත් ඉවසා ගෙන සිටිනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. කාබනික පොහොර යැයි කියාගත් රසායනික පොහොර ගෙන්වනවා.
පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර ගෙන්වලා කාබනික පොහොර කියලා නම් කරනවා. මේවා මොන විහිළුද? පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර කියලා නම් කරන කොට හෙට අනිද්දා අපි භාවිතා කරන ලුණු කාබනික ලුණු බවට පත් වෙන්න ඉඩ තියෙනවා. වගාවට අවශ්‍ය වන මූල ද්‍රව්‍ය ලබා දෙන්න ආණ්ඩුවට බෑ. මේ නිසා මායාවෙන් ප්‍රෝඩාවෙන් සහ වංචනිකව ජනතාව රවට්ටන්න විවිධ ක්‍රියාමාර්ග ගෙනෙනවා.
ලංකාවේ ජනගහනයෙන් 52%ක් වන කාන්තාවන් ඡන්දදායකයන්ගෙන් 58%ක් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රමුඛ මේ ආණ්ඩුව බලයට පත් කළේ බහුතර කාන්තාවන්ගේ ඡන්දයෙන්. වසර දෙකක් තුළ මේ ආණ්ඩුව කාන්තාවන්ටත් දරුවන්ටත් අත්කර දී තිබෙන අන්ත දුක්ඛිත තත්වය මත ඔවුන්ව බලයෙන් නෙරපන දවස වැඩි ඈතක නෙවෙයි කියලා අපි අවධාරණය කරනවා.
පිටි කිරි, ගෑස්, සහල්, පාන්පිටි, සීනි මිල ඉහළ දැමීම ජනතාව අසීමිතව පීඩනයකට ලක් කිරීමක්. විශේෂයෙන්ම වතුකරයේ ජනතාව ආහාර වේල්වලින් දෙකක්වත් පාන්පිටි නිෂ්පාදනවලින් යැපෙන්නේ. පාන් ගෙඩිය රුපියල් 65යි. බනිස් ගෙඩිය රුපියල් 50යි. ප්ලේන්ටියක් රුපියල් 30යි. ජනතාවට ජීවත් වෙන්න පුළුවන්ද?
ආහාර වෙනුවෙන් මේ තරම් වියදමක් දරන කොට දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්, නිවාස වෙනුවෙන්, එදිනෙදා අත්‍යාවශ්‍ය අනිකුත් කටයුතු වෙනුවෙන් වියදම් කරන්න මුදලක් නැහැ. මේ අතර කොරේ පිටට මරේ කියලා ඉන්ධන මිලත් වැඩි කරන්න කතා වෙනවා.
මේ නිසා ජනතාවට එල්ලෙන්න වැල් නැති වෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ දැන්වත් නාස්තිකාර, අනවශ්‍ය වියදම් විගඩම් නවත්වන්න කියලා. තමන්ගේ බලය පාවිච්චි කිරීම, බලය පවත්වාගෙන යාම වෙනුවෙන් මිනිස්සුන්ව තොරොම්බල් කිරීම නවත්වා ගන්න.
මිනිස්සුගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි අවධාරණය කරනවා. ඒ වගේම අපි අපේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙළගැසෙමු කියන ආරාධනය කරනවා. අපිම බලයට පත්කළ පාලකයන්ගෙන් මේ ආකාරයට පීඩා විඳිය යුතු නැහැ. බලයට පත් කළා වගේම කණින් ඇදලා එළියට දැමීමේ හැකියාව තිබෙන්නෙත් ජනතාවට. ඒ වෙනුවෙන්, විශේෂයෙන්ම කාන්තාවන් පෙරට එන්න ඕන කාලයයි මේ කියලා අවධාරණය කරනවා.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය මෙසේ ද පැවසුවාය.
වර්තමාන ආණ්ඩුවත් මීට කලින් බලයේ සිටි ආණ්ඩුත් සියල්ලන්ගේම ක්‍රියාකලාපය නිසා මේ තැනට ඇද වැටී තිබෙනවා. ආපහු වතාවක් මේ දෙගොල්ලොම උත්සාහ කරන්නේ බලය ගන්න. ඒ වෙනුවෙන් රටේ සම්පත් පාවිච්චි කරනවා.
අපි ජනතාවට කියන්නේ මේ දෙගොල්ලෝම එකයි. තමන් වෙනුවෙන් බලය පාවිච්චි කරන්න තීන්දු තීරණ ගන්නා පාලකයන් වෙනුවට ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා පිරිසක් බලයට පත් කර ගන්න ඕනෑ. ඒ වගේම තනි පුද්ගල වික්‍රමවලින් රටක් හදන්න බැහැ.
අපි සාමුහිකව එකතු වී නිවැරදි වැඩපිළිවෙලක් තෝරමු. නිවැරදි ක්‍රියාමාර්ග තෝරමු. එහෙම නැතිව තවත් සූරාකන කණ්ඩායමකට, හොර රැලකට නැවත බලය දීලා අවුරුදු 05ක් වේදනා විඳින්න ඕන නෑ කියලා අපි ජනතාවට කියනවා.
මිනිස්සු බලාපොරොත්තු වුණේ ‘කන්න නැතත් ඉන්න රටක් ඕනෑ’ කියලානේ. හැම තිස්සෙම ජනතාව ඡන්දය පාවිච්චි කළේ අතීතයේ තිබුණු පාලනය හොඳයි කියලා. නමුත් ඉස්සල්ලා පාලනයත් හොඳ නෑ. ඒ පාලනයේ නරක ප්‍රතිවිපාක නිසායි මේ තරම් දරුණු පාලනයක් ගොඩ නැගුණේ. මේ සමස්තය එකට දකින්න ඕනෑ.
කලින් තිබුණු හොර මැරකම් අල්ලනවා කියලා බලය අරගෙන ඇල්ලුවෙත් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුවේ වංචා දූෂණ හොරකම් මේ වර්ගමේ ඊළඟ ආණ්ඩුවකින් අල්ලන්නෙත් නැහැ. ඒ නිසා අපි කියන්නේ අතීතයට හැරෙන්න එපා. අනාගතය වෙනුවෙන් නිවැරදි තීරණයක් ගන්න කියලායි අපි කියන්නේ.