අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

මාරපනගේ කැකිල්ලේ තීන්දුවත්-ජනපතිගේ ප්‍රකාශය වගේයි..!

ජනපති ප්‍රකාශය බැඳුම්කර වාර්තාව එක්ක පරස්පරයි..!

(සුජිත් මංගල ද සිල්වා) මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරනු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා තමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය වගේම එම නිර්දේශ උපුටා දක්වමින් තිලක් මාරපන…

(සුජිත් මංගල ද සිල්වා)

මහා බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරනු විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා තමා සම්බන්ධයෙන්  කළ ප්‍රකාශය වගේම එම නිර්දේශ උපුටා දක්වමින් තිලක් මාරපන කමිටුව තමා සම්බන්ධයෙන් දී තිබෙන කැකිල්ලේ තීන්දුව ද වැරදි යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ(06) පැවසීය.

පාර්ලිමේන්තුවේ ඊයේ (06) පැවති විවාදයට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කරුණානායක මහතා මෙසේ ද කීය.

දැන්වීම

ජනාධිපතිවරයා විසින් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසම පත් කරනු ලැබුවේ 2017 ජනවාරි 27 වනදා. එහි විමර්ශන කටයුතු එම වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ කෙරුණා. පසුව එම කොමිසම මාස 10 ක පමණ කාලයක් සිදු කළ විමර්ශන කටයුතුවලින් අනතුරුව සකස් කළ වාර්තාව, 2017 දෙසැම්බර් මස 30 වන දින ජනාධිපතිවරයා වෙත බාර දෙනු ලැබුවා.

එම වාර්තාව ඇසුරෙන් සකස් කළ කෙටි වාර්තාව, විශේෂයෙන් මා දේශපාලන වශයෙන් විනාශ කිරීමේ ඉලක්කය සහිතවූ මේ වාර්තාව   2018 ජනවාරි මස 3 වන දින ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා ප්‍රසිද්ධ මාධ්‍ය  ඔස්සේ විශේෂ ප්‍රකාශයක් ලෙස කියවනු ලැබුවා.මේ ප්‍රකාශය පිළිබඳව මමත්, මගේ පවුලත්, හිතවත් පාක්ෂකයිනුත් අතිශය විමතියට හා කම්පාවට පත් වුණා. ඒ සමගම අපිට මේ විකෘති කළ කරුණු පරදවලා සත්‍ය ජය ගැනීමට සටන් කරන්න පුදුම ශක්තියක් ලැබුණා.

මේ අනුව මේ වාර්තාවේ නිර්දේශ හා උක්ත ප්‍රකාශය අතර පරතරය පිළිබඳව අදාළ පාර්ශව දැනුවත් කළා. ඊළගට මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න උත්සහ කළා. එයත් කිසියම් නොපෙනෙන බලවේගයක් වැන්නක් හමුවේ වැළකී ගියා.

ජනාධිපතිතුමාගේ ප්‍රකාශය

ජනාධිපතිතුමා එම ජාතිය අමතා කළ ප්‍රකාශයෙහි මා සම්බන්ධව කරන ලද කොටසේ මෙසේ සදහන් වෙනවා."ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබු වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොමිෂන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත් මෙම වාර්තාවේ සදහන් වෙනවා."

තොරතුරු අයිතිය (RTI) යටතේ මෙම වාර්තාවේ පිටපතක්

ඒ හින්දා මා විසින් 2018 ජනවාරි මස 5 වන දින තොරතුරු අයිතිය (RTI) යටතේ මෙම කොමිසම් වාර්තාව ජනාධිපති කාර්යාලයෙන්ඉල්ලා සිටියා. ඒ අනුව 2018 ජනවාරි මස 17 වන දින මා හට ජනාධිපති කාර්යාලයෙන් මෙම වාර්තාවේ පිටපතක් ලබා ගන්නට හැකි වුණා.

මුදල් ඇමති ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් දීම

මුදල් ඇමති ලෙස රාජ්‍ය බැංකුවලට උපදෙස් දීමේදී කිසිදු වරදක් කර නොමැති බව බැඳුම්කර කොමිසම පිළිගෙන තිබෙනවා.බැදුම්කර ගනුදෙනුවලදී මා මුදල් ඇමති ලෙස කටයුතු කරමින් රාජ්‍ය බැංකුවලට උපදෙස් දීමෙන් රජයට විශාල පාඩුවක් කළ බවට සමහර දේශපාලකයින් හා මාධ්‍ය  විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියා.

මුදල් ඇමති ලෙස මම  අනුපාත අඩු කිරීම සාධාරණ සහ නීත්‍යානුකුල බවත් මිට පෙර තිබු රජයන්ද  ප්‍රතිපත්තිමය ලෙස මේ ක්‍රියාව සිදු කර ඇති බවත් ඒ අනුව  මගේ කිසිදු වරදක් නොමැති බවත් බැඳුම්කර විමර්ශන ජනාධිපති  කොමිසම තහවුරු කර තිබෙන අතර ඒ බව එම කොමිෂන් වාර්තාවේ අංක  838 පිටුවේ සඳහන් වෙනවා.

මුදල් ඇමති ලෙස මහ බැංකුවට උපදෙස් දීම

එමෙන්ම මා  හෝ මුදල් අමාත්‍යංශය   මේ ගනුදෙනුවලදී මහ බැංකුවට  උපදෙස් දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් කොමිසම පිළිගෙන තිබෙනවා.එම වාර්තාවේ  838 පිටුවල මහ බැංකුව සහ බැඳුම්කර ගනුදෙනුව මාගේ යටතේ ක්‍රියාත්මක වන හෝ මගේ බලපෑම යටතේ ඇති ආයතනයක් නොවන බව ද  පිළිගෙන තිබෙනවා.

නඩු පවරන්න කොමිසම නිර්දේශ කර නැහැ

එම වාර්තාවේ  33 වැනි පරිච්ඡේදය නිර්දේශවලට වෙන් කොට තිබෙනවා. එහි පිටු අංක 921 සිට 922 දක්වා, නිර්දේශ 30ක් දක්වා තිබෙනවා. ඉන් නිර්දේශ අංක 24 හා 25 (පිටු අංක 920 – 921) මා හා සම්බන්ධයි.පිටු අංක 902 සහ 921හි ඉංග්‍රීසි භෂාවෙන් දැක්වෙන නිර්දේශ 24 සහ  25හි සිංහල පරිවර්තනය මෙසේයි.

“24 වැනි පරිච්ඡේදයේ කළින්ප්‍රකාශකර ඇති පරිදි, ගරු මන්ත්‍රීරවී කරුණානායක මුදල් ඇමතිවරයාව සිටියදී, ඔහු සහ ඔහුගේ පවුල පදිංචිව සිටි නිවාසය සඳහා බදු මුදල් ගෙවීම පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගම හිමි සහ පාලනය කරන පුද්ගලයින්ටම අයත් අනුබද්ධිත සමාගමක් වන වෝල්ට් සහ රෝ ඇසෝෂියේට්ස් (පෞද්ගලික) සමාගම විසින් සිදු කිරීම මගින් ගරු රවී කරුණානායක මන්ත්‍රීවරයාටසැලකිය යුතු ප්‍රතිලාභයක් අත් වූයේ දැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විභාග කරන කොමිෂන් සභාව සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කර සිටින අතර, ගරු රවී කරුණානායක මන්ත්‍රීවරයාට එවැනි සැලකිය යුතු ප්‍රතිලාභයක් අත් වූයේ නම්, අල්ලස් පනත යටතේ ඔහුට එරෙහිව සුදුසු පියවර ගත යුතු දැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කර සිටිමු”.

“24 වැනි පරිච්ඡේදයේ කළින් ප්‍රකාශ කර ඇති පරිදි, ගරු රවී කරුණානායක මන්ත්‍රීවරයාඅප ඉදිරියේ ලබා දුන් සාක්ෂිවලින් සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ දැයි ගරු නීතිපතිවරයා සහ අනෙකුත් අදාළ බලධාරීන් සලකා බැලිය යුතු බවට අප නිර්දේශ කර සිටින අතර, එම සමහර සාක්ෂි සදොස් සහිත බවට පෙනී යන්නේ නම්, දණ්ඩ නීති සංග්‍රහයේ  179 සහ/හෝ 188 යන ඡේද අනුව හෝ අන් කිසියම් නීතිමය ප්‍රතිපාදන, සහ 1948 අංක 17 දරන විමර්ශන කොමිෂන් සභා පනතෙහි 9 වැනි ඡේදය හෝ යටතේ රවී කරුණානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගත යුතු දැයි තීරණය කරන ලෙසට ද නිර්දේශ කර සිටිමු”.

ඉහත අංක 1 ලෙස මේ ප්‍රකාශයේ මා  දක්වා ඇති  ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශයේ මා පිළිබඳව කරන ලද සිංහල භාෂාවෙන් සදහන් කිරීමට පදනම් විය යුත්තේ, කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අඩංගු ඉංග්‍රීසි භාෂාවෙන් වූ පරිච්ජේද 33  හා විශේෂයෙන් එහි අංක 24 හා 25 විය යුතුයි.

ඇත්ත වශයෙන්ම ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට පදනම්වූ කරුණු සම්බන්ධයෙන් කොමිෂන් වාර්තාවේ සඳහන් වන්නේ අංක 24 හා 25 අංක දරන ජේදයන් තුළ පමණයි. එම ජේදයන්හී  මා හට විරුද්ධව අල්ලස් හෝ දුෂණ කොමිසම යටතේ නඩු පැවරිය යුතු බව හෝ  අසත්‍ය සාක්කි දීමක් සම්බන්ධව නඩු පැවරිය යුතු බව කිසිම තැනක සදහන් වී නැහැ.

ඒ අනුව ඔප්පු වන්නේ කුමක්ද?

ඒ වගේම මං සඳහන් කරන්න කැමතියි ජනාධිපතිවරයා විසින් කොමිසම පත් කිරීමට අදාළව නිකුත් කළ (Mandate) අභි නියෝගයට අනුවත් මේ කාරණා කොහෙත්ම අදාළ නැති බව.නමුත් අපව කොමිසමෙන් කැඳවනු ලැබුවා. යහපාලන සම්මුති ආණ්ඩුවේ නියම උරුමක්කාරයන් ලෙස අපි ඊට සම්පුර්ණ සහය දැක් වුවා. අපි කිසි විටකත් කොමිසමට බලපෑම් කළේ නැහැ. සම්පුර්ණ සහය දුන්නා. ඒ අපි වැරදි කරලා නැති නිසා.

මේ අනුව ඔප්පු වන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ  “ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබු වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස් තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සදහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් හා දුෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත් දණ්ඩ නීති සංග්‍රහය යටතේකොමිෂන් සභාවට ඔහු අසත්‍යසාක්ෂි දීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවත්මෙම වාර්තාවේ සදහන් වෙනවා”. යනුවෙන් සඳහන් වූ කොටස සම්පුර්ණයෙන් සත්‍යයෙන් තොර බවයි.

වරදක්ද ? කුමන්ත්‍රණයක්ද ? ආණ්ඩු පෙරලීමේ කුමන්ත්‍රණයක්ද ?

ඒ වගේම පැහැදිළි කරුණක් තමයි මේ තරම් විශාල වාර්තාවක් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ හැදෑරීම සඳහා ජනාධිපතිවරයාට කාලයක් නොමැති බව. එවැනි පසුබිමක සත්‍යයෙන්  තොර විකෘති ප්‍රකාශ එතුමාගේ ප්‍රකාශයට ආවේ කොහොමද?  ජනාධිපති කියන්නෙ මේ රටේ රාජ්‍ය  නායකයා. ඒ රාජ්‍ය  නායකයා, ඔහු විසින්ම පත් කළ කොමිසමක නිර්දේශ ඇතුළත් වාර්තාවක කරුණු මේ ආකාරයට විකෘති කර ඉදිරිපත් කිරීමේ අපේක්ෂාව මොකක්ද?

ඒ කෙසේ වුවත්, මේ මොහොතේ මට කියන්න තිබෙන්නේ, ජනාධිපතිතුමා විසින් කරනු ලැබූ මෙම ප්‍රකාශය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස මාගේ කීර්ති නාමයට, දේශපාලනය ජීවිතයට, අතිශය හානි සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම මා කෙරේ විශ්වාසය තැබූ ජනතාවට, ඒ වෙනුවෙන් මට ඉඩ හසර විවර කළ ආදරණීය එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් සිදුව තිබෙනවා.

මා මේ අවධාරණය කරන්නේ හුදු හිතළුවක් නොවෙයි. හේතු ඇතුවයි මා මේ කාරණයත් මතු කරන්නේ. ඒ වෙනුවෙන්  බැඳුම්කර ගනුදෙනුව පිළිබඳවම මෙතෙක් සිදුවූ සාකච්ඡා පිළිබඳ ඔබේ අවධානය යොමුකරන්න.

මේ බැඳුම්කර ගනු දෙනුව පිළිබඳව අගමැතිතුමා විසින් පත් කරනු ලැබූ  පිටිපන කොමිසමත් ඩිව් ගුණසේකර මහතා යටතේ සහ පසුව සුනිල් හඳුනෙත්ති මහතා යටතේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාත් ශ්‍රේෂ්ඨාධිකරණයත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමත් කරුණු විභාග කළා.මේ එකඳු අවස්තාවක හෝ  මාගේ නම සම්බන්ධ වුයේ නැහැ.ඉන්පසුවයි  නැවතත් ජනාධිපති බැඳුම්කර කොමිසම හරහා මෙම ගනුදෙනුව ගැන විමර්ශන කටයුතු ආරම්භ කෙරුණේ.

කොමිසම කන්දක් විළිලා මීයෙක් වැදුවා

එතැන් සිට මෙම පරීක්ෂණවල තත්ත්වය වෙනස් වුණා. මේ සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කළ අවස්ථා පහේදීම නොතිබුණු මගේ නම මේ ප්‍රශ්නයට ඈදී ආවා. මීට ඉහත මේ සම්බන්ධ පරීක්ෂණ කළ ආයතන මා මේ ගැටලුවට සම්බන්ධ කර  නොගත්තේ  මහ බැංකුව මා යටතේ තිබු ආයතනයක් නොවූ බව පැහැදිලි ලෙස දෑන සිටීම නිසයි.

පසුගිය පරීක්ෂණ සිදු වුණු විවිධ ආයතන විවිධ පැතිවලින් මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවා. ඒ සියලුම ආයතන කිසිදු  අයුරකින් මගේ නම සම්බන්ධ කර නොගෙන තිබුණත් ජනාධිපති කොමිසම හමුවේ පැත්තක තිබු මගේ නම, මේ ගනුදෙනුවට සම්බන්ධ කර ගත්තා.

මං හිතනවා මාස දහයක් තිස්සේ මටත් පවුලේ උදවියටත්, එක්සත් ජාතික පක්ෂයටත් පව්කාරයා ලෙස සලකා ගල් ගැසුවේ මේ ටික කියන්නද? මාව පව්කාරයා කරලා, කුරුසිය කරේ තියලා, කල්වාරි කන්ද නග්ගන විදිහට මාධ්‍ය සංදර්ශන පැවැත් වුයේ මේ ටික කියන්නද? ඇත්තටම මේ තුළ සිදුව ඇත්තේ කන්දක් විළිලා මීයෙක් වැදුවා වැනි දෙයක් නොවේද?

අනෙක් අතට මං කොමිසමට සහය දැක්වීමට ස්වේච්ඡාවෙන් ගොස් පැය 2ක් පුරා සාක්ෂි ලබාදුන්නා.  නමුත් මා සාක්ෂි දුන් පසු චෝදනා ඉදිරිපත් කළ පාර්ශවයෙන්, කිසිදු හරස් ප්‍රශ්න ඇසිමකට ඉඩදුන්නේ නැහැ. එවැනි පසුබිමක මෙසේ අභූත චෝදනා කිරීම තේරුම් ගැනීමට අපහසුයි.

මේ තුළ තිබෙන  හාස්‍ය  ජනක කරුණක් වනුයේ මට එරෙහිව සාක්ෂියක් කර ගන්න ගෙන ආ  කාන්තාවට රජයේ ප්‍රභූ ආරක්ෂකයින් 6 දෙනෙකු සහ ඒ වගේම ඇයගේ සහෝදරයා වෙත ප්‍රභූ ආරක්ෂකයින් දෙදෙනකු ලබාදීම. ඒත් යහපාලනය ගෙන ඒම වෙනුවෙන් කැපවීම් කර  ඒ නිසාම බැට කමින් සිටින මේ කතා කරන මා හට කිසිඳු ආරක්ෂයෙකු ලබාදී නැහැ.

බොරු සාක්ෂි මොනවාද ?

ඒ වගේම මම කියපු බොරු සාක්ෂි මොනවාද කියා දැන ගන්න මට අයිතියක් තිබෙනවා.ගරු කතානායකතුමනි, මා බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ බොරු ප්‍රකාශයක් කළා නම් COMMISSION OF  INQURIES ACT  එකේ SECTION 10 යටතේ ඒ අවස්ථාවේදීම  මට එරෙහිව කටයුතු කිරීමට කොමසාරිස්වරුන්ට හැකියාවක් තිබුණා. ඒ සඳහා බලයක්ද ඔවුන් සතුව තිබුණා. නමුත්  මාස 5ක් ගත වී, ඊට අදාළව කිසිදු පියවරක් නොගෙන මෙසේ මා හට  චෝදනා නැගීම තේරුම් ගන්නේ කොහොමද? මා ඒ  පිළිබඳ නැවතත් අවධාරණය කරන්නේ මේ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.

ඇත්ත වශයෙන්ම මා දුන් සාක්ෂි හරිද වැරදිද තීරණය කරන බලයක් එම කොමිසමට තිබුණා. ඒවා නිවැරදිද සෙවීමට යාන්ත්‍රණයක් ඒ කොමිසමට තිබුණා. ඒ කිසිවක් සිදු නොකොට අද මෙවැනි තීරණයක් නැති ප්‍රකාශයක් වාර්තාවට ඇතුළත් කරන්නේ කාගේ උවමනාවටද? නමුත් මේ කටයුතු හරහා  මාව දේශපාලනිකව ඝාතනය කිරීමට කවරෙකුට හෝ තිබු උවමනාව ඉතා හොදින් පෙනී ගියා. එසේම එය අදටත් සිදු වන බව මේ සිදුවීම් පෙළ කියා පානවා.අන්තිමේදී මෙම කොමිසමේ ප්‍රශ්නයක්ව ඇත්තේ මගේ දියණිය කුලියක් ගෙවීම පිණිස ලබා ගෙන ආපසු ගෙවපු රුපියල් මිලියන 11 ගැන පමණයි. මං අද ඒ කුමන්ත්‍රණකාරයන්ගෙන් අහනවා, මේකද බැඳුම්කරයේ ලොකුම චෝදනාව?අන්තිමට ඒ චෝදනාවටත් මොකද වුණේ ?

මුදල් ප්‍රතිපුර්ණය

වෝල්ට් ඇන්ඩ්  රෝ අසොසියෙට් සමාගමට මාගේ පවුල විසින් මුදල් ප්‍රතිපුර්ණය ( reimbursement) කළ බව,  එනම්  ලබා ගත් මුදල් ආපසු ගෙවූ බව මා හට ඔප්පු කිරීමට නොහැකි වූ බව, එනම් කිසිදු සාක්ෂියක් පෙන්නීමට  නොහැකි වූ බව කොමිසම්  වාර්තාවේ පිටු අංක 827 හි දක්වා තිබෙනවා.

එහෙත් පිටු අංක 832 දී දක්වා ඇති පරිදි මගේ පිළිතුරේදී I got the receipt here that the reimbursement has taken place යනුවෙන් ප්‍රතිපුර්ණය සිදු වූ බව පෙන්වන, “රිසිට්පත් මෙන්න...” යනුවෙන් ප්‍රකාශ කළ බව වාර්තාවේ සදහන් වෙනවා.එම රිසිට්පත් එදා එලෙස ඉදිරිපත් කළත් එය බැලීමට හෝ ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලීමට කිසිඳු උත්සාහයක් එදා තිබුණේ නෑ. මං දන්නෙ නෑ ඒ ඇයි කියලා.

ඒ කොහොම වුණත් අදාළ රිසිට්පත් ඉදිරිපත් කරන විට ඒ ගැන නොසළකා සිට දැන්  මෙලෙස චෝදනා නැගීම  ඉතාම කණගාටුදායකයි.   මං දන්නෙ නෑ මේ ජනාධිපති කොමිසමක විදිහද කියලා. ඒත් කොමිසමේ විදිහ මේක නම් මගේ දියණිය විසින් ප්‍රතිපුර්ණය කළ මා විසින් කොමිසම හමුවට ඉදිරිපත් කළ  රිසිට් පත් පිළිබඳ  අවධානය යොමු නොකොට කටයුතු කිරීම නිසා මට අගතියක් වූ බව සඳහන් කරන්න ඕන.

එදා යහ පාලන සම්මුති ආණ්ඩුව වෙනුවෙන්  මං තීරණයක් ගත්තා. මං එවකට දරපු සියලු අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස් වුණා. මං එදා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළා ඉතිහාසය සහ කාලය මට හිමි තැන තීරණය කරනු ඇති බව.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු මේ වාර්තාව දිහා බලපුවහම එකක් ඉතා පැහැදිලියි. අපි 2015 දුන් පොරොන්දු  ඉටු වී නොමැති බව. අපි කිසිදාක හොරු අල්ලන්න බාධා කළේ නැහැ. කොහොම හරි තෝරා ගත්ත හොරු ටිකක් අලා ගෙන තියෙනවා. ඒ අය අතර  රජයේ නිලධාරීන් තමයි වැඩිපුර ඉන්නේ. ඒ වගේම තෝරා ගත්ත හොරු ටිකක් ප්‍රජාතන්ත්‍රවාදය  රිසි ලෙස නමන්න ආරක්ෂා කර ගෙන ඉන්න බවත් අපිට  දකින්නට පුළුවන්.

ඒ වගේම යහපාලනය යනු  සිය දේශපාලන බලය හා මාධ්‍ය  බලය පාවිච්චි කරලා බොරුව ඇත්ත කරලා දේශපාලන ඝාතන කිරීම නොවේ. දෛවයේ සරදමකට වගේ යහපාලනය වෙනුවෙන් සටන් කරපු අපිට මෙසේ සිදු වීම කණගාටුදායකයි. මම හිතනවා විරුද්ධ පක්ෂයේ අයටවත් මෙලෙස කටයුතු  නොකළ යුතුයි.  යහපාලනය කියන්නේ සාධාරණ දේශපාලනයක් කරන්න සමබිමක් නිර්මාණය කොට සැමට අවස්ථා ලබා දීමයි.

අර්බුදයට මුණ දෙන්න සුදානම්

එදා ප්‍රජාතන්ත්‍රවාදය  තුළ නිර්මාණය වුණේ නායකයින්, දක්ෂ නායකයින්. ඒත් මේ ජන මාධ්‍ය ක්ෂේත්‍රයේ  දියුණුවත් සමග අද බිහි වෙලා තිබෙන්නේ මාධ්‍ය  ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒ තුළ දක්ෂ නායකයෝ වෙනුවට ජනප්‍රිය  පුද්ගලයින්, රටේ නායකත්වයට, පාර්ලිමේන්තුවට එනවා. මේක යුරෝපයේත් අද සිදු වෙනවා..

ඒ එක්කම නව මාධ්‍ය  සංස්කෘතිය තුළ සමාජය තුළ   ලෝකයේ යථාර්තයන් යම් විකෘතියකට ලක් වෙලා සමාජගත වෙනවා.මේ මේ මාධ්‍ය ප්‍රජතන්ත්රවදයේත්  , නව මාධ්‍ය  භාවිතයේත් ගොදුරක් බවට මාව පත් කරන්න බලය වගේම මුදලුත් පසුගිය කාලේ යොදා ගත්ත බව මම මේ ගරු සභාවට කියන්න ඕන.

අතීතයේ ඉදලා අපේ නායකයෝ විනාශ කරන්න කටයුතු කළා. එදා තුවක්කුවෙන් සහ බෝම්බයෙන් අපේ නායකයෝ විනාශ කළා. ඒ හැම අවස්ථාවකම මඩ ගහන්න මාධ්‍යයත් යම් ප්‍රමාණයකට යොදා ගත්තා.එදා තුවක්කුවෙන් සහ බෝම්බයෙන් කළ දේට වඩා භයානක ලෙස දේශපාලකයින් විනාශ කරන්න අද  මාධ්‍ය  නිදහසත් , මාධ්‍ය  සංදර්ශනත් යොදා ගන්නවා..

මට මේ සියල්ලටම වඩා වෙනස් අභියෝගයකට මුහුණ දෙන්න සිදු වෙලා. බැදුම්කර කොමිසම් වාර්තාවේ මා සම්බන්ධයෙන් වූ  කරුණු පිළිබඳව සොයා බලා වාර්තාකිරීමට පත් කළ මාරපන කමිටුව  කැකිල්ලේ තීන්දුවක් ලබා දීලා. ඔවුන් බැදුම්කර වාර්තාවට අනුව එජාපයේ කිසිදු මන්ත්‍රීවරයකු වරදක් කර නැති බව පවසනවා. ඒ සමගම මා සම්බන්ධව කරුණු සොයා බලා කටයුතු කරන  ලෙස කියා ඇති නිර්දේශ උපුටා දක්වමින් එම පරීක්ෂණ කවදා හෝ අවසන් වන තුරු මාගේ දේශපාලන  කටයුතු අඩාල කරන්න යෝජනා කර තිබෙනවා. මෙය මොනතරම් විහිලුවක්ද ?

ගරු කතානායකතුමනි,ඉදිරියේදී  ඔබතුමාට,  අපේ පක්ෂයේ නායකයන්ට  කිසියම් හෝ කොමිසමකින් හෝ වෙනත් ආයතනයකින් චෝදනා එල්ල කළ හොත් ඒ අනුව මා සම්බන්ධයෙන් මාරපන කමිටුවේ  නිර්දේශ සියලු දෙනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු යැයි ඔබ සිතනවා ද ? එසේ  නම් අපේ පක්ෂයේ ඉදිරි ගමන නැවැත්වීමට විපක්ෂය කළ යුත්තේ ඉතා සුළු කටයුත්තයි.ඒ අපේ පක්ෂ නායකයින්ට එරෙහිව බොරු චෝදනා ඉදිරිපත් කිරීම පමණයි.මෙය කොතරම් යුක්ති සහගතද ? සාධාරණද ?

කළ යුත්තේ කුමක්ද ?

මේ රටේ දේශපාලනඥයන්ට නරක ජාතික පුරුද්දක් තියනවා. ඒ තමයි, තමන්ට එරෙහිව කිසියම් චෝදනාවක් එල්ල වුණාම, ජනාධිපති පස්සේ ගිහින් හෝ පක්ෂ නායකයා පස්සේ හැංගිලා ඒ චෝදනාවන්ගෙන් බේරෙන එක. ඒක රාජපක්ෂ පාලනය යටතේත් සිදු වුණා. අදත් සිදු වෙනවා. ඒකෙ හංගන්න දෙයක් නෑ. කොහොමටත් ඉවුර බිඳින්නෙ ගඟ නම්, අපිට වැලි කොට්ටවලින් ලොකු වැඩ කරන්න විදිහකුත් නෑ.

තවමත් කරන්න ආව දේ නොකර අපේ ඇඟේ එල්ලිලා ගොඩයන්න හදන අයට කියන්න දෙයක් තියනවා, අද මේ ජනාධිපති පස්සෙ හැංගීම නිසා නඩු නැතිව ඉන්න, ඒත්  දුෂණ වංචාවලට නම කියවුණ කීයක් ඉන්නවද? ශ්‍රීලනිපයේ නිසා නඩු නැති කීයක් ඉන්නවද? ඒකාබද්ධ විපක්ෂයේ හිටියත් පක්ෂය බැලන්ස් කරන වැඩේට මුවා වෙලා කී දෙනෙක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවද?

අද ඒ හැමෝම එක පෙළට තියලා මං මෙහෙම කියනවා.  රවී කරුණානායකගේ පොතේ ඔය ලොක්කෝ පස්සේ හැංගිලා බේරෙන තියරිය නෑ. ඒ තුට්ටු දෙකේ දේශපාලනය හරහා රටේ අධිකරණයට සමාජ යුක්තියට වෙට්ටු දාන වැඩ අපි ළඟ නෑ.  ඉස්සරහට කරන්නෙත් නෑ. මොකද හැංගෙන්න ඕන වැරදි කරපු අයයි. වැඩිය එපා ඔය අද කපුරුහාමිලා වගේ ඉන්න  සමහරු 2015 ජනාවාරි 08 රාජපක්ෂ වේදිකාවේ ඉඳ ගෙන කරපු කතා ටිකක් අහන්න. ඒ එක්ක අද කියන කතා ටිකක් අහන්න. ඔය කපුරු හාමිලගේ වචන විතරයි වැඩ අන්තිමයි.

යහපාලනය කියන්නේ සත්‍ය  කුමක්දැයි සෙවීම මිස බොරුව ඇත්ත කිරීම නොවන බව ජනතාව හොදින් දන්නවා. එයට ජනතාව නිසි පිළිතුරු ලබා දෙන බව අපේ විශ්වාසයයි.පාලනයක් සිදු කරන විට වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්. අපි ඒ වැරදි සහ අත්දැකීම් ගුරුවරුන් කර ගන්න ඕන. තවදුරටත් බාල ජනප්‍රිය  දේ සඳහා ජනතා ආකර්ෂණය ලැබෙයි කියලා හිතන්න නරකයි. මම  කියන දේ අපේ ආණ්ඩුව බරපතල විදිහට ගත යුතුයි. බොරු නම් ඒ ඇත්ත නැත්ත මැතිවරණ ප්‍රතිඵල හරහා ලැබෙයි.

ඒ නිසා ජන්ද ප්‍රතිපලයෙන් පසුවවත් අපි ආපහු හැරිලා බලමු. මේ ජනවරම තියෙන්නේ 2015 ජනවාරි 08 පොරොන්දු ඉටු කරන්න. ඒ සඳහාම පමණයි. බලගතු ශ්‍රී  ලංකාවක්, පොහොසත් රටක් හදන්න නොහැකි වුනොත් මේ බලය අපට නැති වෙනවා. ඒ නිසා දැන්වත් අපි වැඩ කරමු. මේ රට හදමු. රටේ සංවර්ධනයට, මුල්‍ය  ප්‍රතිපත්තියට අවශ්‍ය  නීති නැත්නම් අලුත් නීති ගේමු. එයයි කළ යුත්තේ. එයයි අපේ වගකීම, එයයි අපි ජනවරමට ලබාදෙන වගවීම.

මගේ දරුවන්ට පවුලට වගේම මම ආදරය කරන්නේ අපේ පක්ෂයට, මේ රටට බොහෝ යහපත් දේ දායාද කළ එක්සත් ජාතික පක්ෂයට. අපේ නායකයින්ට හැමවිටම මේ කුහක මිනිසුන් වැරදි චෝදනා කළා. ඩඩ්ලි  සේනානායක අගමැතිතුමාට,  ජේ ආර් ට, ආර් ප්‍රේමදාස  වැනි ජනපතිවරුන්ට, ලලිත් ගාමිණී වගේ නායකයින්ට, අපේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ  අගමැතිතුමාට.

එත් කවදාවත් ඒ චෝදනාවලින් ඒ ඇත්රාජයන්ට හානි කරන්න බැරි වුණා. අද මේ කරන්නේ  එදා කළ දේමයි. වෙනත් ස්වරූපයකින්. අද අපට අවශ්‍ය  වන්නේ නායකයින් විනාශ කිරිම  නොව බිහි කරන්නට බව අපේ පාක්ෂිකයින් තේරුම් ගෙන තිබෙනවා. අවසානයේදී මම රටේම ඉන්න අපේ UNP පාක්ෂිකයින්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ 2018 පෙබරවාරි 10 දින උදෙන්ම ජන්ද පොලට ගිහින් ඔබේ ගම , ප්‍රදේශය දියුණු කළ හැකි UNP ප්‍රාදේශීය සභාවක්, නගර සභාවක් පත් කරන්න , එමගින් එක්සත් ජාතික පක්ෂය දිනවන්න, යහපාලන ආණ්ඩුව ශක්තිමත් කරන්න ඔබේ වටිනා ජන්දය පාවිච්චි කරන්න කියලා.සත්‍ය  සැඟවිය හැක්කේත් , පරාජය කළ හැක්කේත් කෙටි කලකට පමණය.කවදාහෝ සත්‍ය  හෙළිදරව් වනු ඇත. ජය ගනු ඇත. අප සැම  උත්සහා  කළ යුතු වන්නේ  සත්‍ය  ඉක්මනින් ජයග්‍රහණය කරවීමටයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 13
බෙදාගන්න
මාරපනගේ කැකිල්ලේ තීන්දුවත්-ජනපතිගේ ප්‍රකාශය වගේයි..! | Lanka Newsweek